දැන් ඉතින් විසිකරන්න යෑ !

 ඡායාරූපය:

දැන් ඉතින් විසිකරන්න යෑ !

දහවල් එකොළහට පමණ ප්‍රසූතිකාගාරයෙන් මට ලැබෙන දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ දිනයක් හෝ වයසක් නොදන්නා දරුගැබක් සහිත කාන්තාවක් ඇතුළු වූ බවත් ඇය දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බවත් ය. මාස අටක පමණ ගැබිණියක් වන මම හනි හනික එදෙසට දිව ගියෙමි.

දරුවා ලැබෙන්නට ඔන්න මෙන්න නිසා දරුවාගේ ප්‍රමාණය ස්කෑන් කර බලා සති ගණන නිර්ණය කිරීමටද නොහැක. නොමේරූ දරුවෙක් බිහි වුණෝතින්, නොමේරූ ළදරු ඒකකයකට හෙවත් PBU / NICU එකක දරුවා ඇතුල් කළ යුතුය. එවැනි ඒකකයක් අප මූලික රෝහලේ නොමැත. දැන් ඉතින් කරන්නට තියෙන්නේ මේ අවදානම් තත්ත්වයෙන් මව වෙනත් රෝහලකට යැවිය නොහැකි නිසා දරුවා ඉපදුණු පසු තත්වය අනුව ක්‍රියා කිරීමය යන්න විශේෂඥවරයාගේ මතය විය.

මහ රෝහල් කිහිපයක නොමේරූ ළදරු ඒකක හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වී මෙවැනි තත්වයක් ඇති නිසා අවශ්‍ය වුවහොත් එන බව පවසා දැනුවත් කර තැබුවෙමි. හදිසි තත්වයකට අවැසි උපකරණ, මෙවලම් ලැහැස්ති කර ගත්තෙමි. කෘත්‍රිම ස්වසනය දීමට අවශ්‍ය දෑ මෙන්ම උණුසුම ලබාදෙන විශේෂ ළදරු ‘වෝමර් එක’ද ලැහැස්තිය. දැන් ඇත්තේ, මවට සහ දරුවාට කිසි කරදරයක් නොවේවා යැයි සිතමින් බලා සිටීමය.

මේ අම්මා කිසිම දිනක සායනයකට හෝ වෛද්‍යවරයෙකු හමුවට ගොස් නැත. කොටින්ම දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටි කෙනෙකු ද නොවේ. ඇය පදිංචි වී සිටින්නේද මහා දුරකින් නොවේ.

මෙවැනි කතන්දර ඇසෙන පළමු අවස්ථාව මෙය නොවේ. ඕනෑ තරම් ස්ත්‍රීහු බඩේ කැක්කුමට බෙහෙත් ගන්නට බාහිර රෝගී අංශය වෙත පැමිණ, එසැනින් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෝ, අප වාට්ටුවට ගෙන එද්දී ට්‍රොලිය මත හෝ, ත්‍රීවීල්වල දරුවන් ප්‍රසූත කරති. ඔවුන් හැමෝටම ඇත්තේ එකම එක කතාවකි. දරුවෙක් ලැබෙන්න සිටි බවක් දන්නේ නැත! යන්නයි.

මේ කියවන ඔබට ද, අපට ද එය විශ්වාස නොකළ හැකි බව මම දනිමි. සමහරු අවිවාහක තරුණියෝය. අම්මලා තම දියණියන් රැගෙන එන්නේ ඉවසාගත නොහැකි බඩේ කැක්කුමට බෙහෙත් අරන් දෙන්නය. නමුත් කැඳවීමක් ලැබෙන්නේ ප්‍රසව හා නාරි අංශයේ වෛද්‍යවරුන් වන අපට ය. බොහෝ විට පරීක්ෂා කිරීමේදී දරුවාගේ හිස පිටතට පැමිණීමට ආසන්නය. එවිට, මේ බව පැවසූ විගස අර දියණියන්ගේ අම්මාවරු හදිසි ඒකකය හෝ අප වාට්ටුව දෙවනත් වෙන්නට කෑ කෝ ගසයි, බැණ වදියි. එක්කෝ අර දරුවා ලැබෙන්න ඔන්න මෙන්න අමාරුවෙන් සිටින තම දුවට ගුටි පූජාවක් කරයි. ඒවා බේරන්න වන්නේද අපටමය. සමහරු කලාන්ත වෙති. ඔවුන් සියල්ලෝම මාස 8 ක් හෝ 9 ක් ගෙදර සිටින දරුවා ගැබ්බර බව නොදැන සිටි බව අපට කියති.

ඉතින් අර මා මුලින් සඳහන් කළ අම්මා! ඇය තව මිනිත්තු දහයකින් පමණ‍ දරුවා ප්‍රසූත කළාය... වේගයෙන් ගැහෙන හදවත්වලින් සහ බලාපොරොත්තු සහගත හිතින් සිටි අප සැම සනසමින් ඒ දරුවා ඉපදුණේ දෙවනත් වෙන්න අඬමිනි, නිසි ප්‍රමාණයට වැඩී තිබුණි. වෙනත් සංකූලතා නොතිබිණි.

"දරුවා නිරෝගීයි, හොඳින් රැක බලා ගන්න අම්මේ, ප්‍රශ්නයක් තියෙනවා නම් අපට කියන්න අපි උදව් කරන්නම් " යැයි පවසා ඉවත ගියේ, දරුවන් නැතිව කොතරම් ස්ත්‍රීන් ප්‍රමාණයක් දුක්වෙනවාද යන්න සිහිපත් කරමිනි.

මට තවත් සිදුවීමක් මතක් වේ. ඇයද සායනයකට හෝ වෛද්‍යවරයෙක් හමුවට ගොස් තිබුණේ නැත. දරුවා උපන්නේ බොහෝ සංකූලතා සහිතවය. උපන් වෙලේ සිට වෙහෙසුණේ, වෛද්‍යවරුන් සහ හෙදියන් ය.

ඔක්සිජන් නළ සම්බන්ධ කර, විවිධ පරීක්ෂණ, ඖෂධ දෙමින්, මොනිටර් දිහා දින ගණනක් බලාගෙන සිටියේ , වෙහෙසුණේ අප ය. අවසන අපට ඇය පවසන්නේ "දැන් ඉතින් හදා ගන්නට එපැයි, විසිකරන්න යෑ" යනුවෙනි.

අවධානම් තත්වයෙන් මිදුණු දරුවාට, හරියට කිරි ටිකක් දෙන්නේ නැත. දරුවා තුරුළු කරගන්නේම නැත. ඒ සඳහා නිතර විමසා බලන්නේ ඇතැම් විට, මළපහ කරගත් දරුවා සෝදා පිරිසිඳු කර දෙන්නේද අප හෙද සොයුරියන් ය.

ඇතැම් විට තවත් බරක් වෙන මේ දරුවන් අනවශ්‍ය නම් ඔවුන් කරන්නට තිබුණේ, අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන පවුල් සැලසුම් ක්‍රමවේදයක් අනුගමනය කිරීමය. ඒවා ගැන සමාජයේ දැනුවත් කිරීමද දැනුවත් වීමද අඩුය.

මේ දරුවන් හැදෙන්නේ, ඔවුන්ව ඕනෑ නැති වුණු පරිසරයක. ඔවුන් බරක් යැයි සිතූ දෙමාපියන් හෝ මවෙක් පියෙක් සමග ය. ඒ පුංචි හිත් ඉන්පසු හැදෙන හැටි සහ විඳින දෑ ගැන සිතා මම කම්පා වෙමි. බොහෝමයක් අය දැඩි ආර්ථික අපහසුතා ඇති පවුල් ය. දැන් මේ දරුවන්ගේ අනාගතය කෙසේ වේදැයි අපට අනුමාන කළ හැක. නමුත් මේ දරුවන් රැක ගැනීමට ක්‍රමවේදයක් අප රට තුළ ක්‍රියාත්මක නැත. අනෙක් අතට දරුවෝ නැති අම්මාවරු, දරු සුරතල් දකින්නට සිහින දකිමින් බලාපොරොත්තුවෙන් සිටිති.

මාතෘකා