දශක තුනකට ආසන්න කාලයකට පසු ධම්මිකා මැණිකේ යළි සිහිවීම | ඇස පාදන රැස


දශක තුනකට ආසන්න කාලයකට පසු ධම්මිකා මැණිකේ යළි සිහිවීම

 ඡායාරූපය:

දශක තුනකට ආසන්න කාලයකට පසු ධම්මිකා මැණිකේ යළි සිහිවීම

ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූයේ පසුගිය සඳුදාය. සුගතාද ක්‍රීඩාංගණයේ අලුතින් එලන ලද කෘත්‍රිම ධාවන පථයේ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේය. අලුත් ධාවන පථයක වේගවත් භාවය, එසේත් නැතහොත් ප්‍රතිරෝධී ඝර්ෂණය අවම බව සනාථ කරමින් එහි වාර්තා කීපයක් පළමු දිනය අවසන් වන විටම අලුත් කිරීම සිදුවිය. ඒ අතරින් නව ජාතික කනිෂ්ඨ පාසල් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හැකිවීම විශේෂත්වයක් විය. එහිදී අපට සිහිපත් කෙරුණේ වසර 29ක අතීතයකි. හරියටම කියන්නේ නම් 1989 වසරේ ජාතික පාසල් කනිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලය. එහිදී මෙරට බිහිකළ විශිෂ්ට මැදිදුර ධාවිකාවක වන  ධම්මිකා මැණිකේ සිහිපත් කෙරුණේය. කනිෂ්ඨ පාසල් මළල ක්‍රීඩා උළෙලකදී ඇය මෙලෙස මීටර් 800 ඉසව්වේ අවුරුදු 20න් පහළ නව තරග වාර්තාවක් පිහිටුවා තිබුණේ එම ඉසව්ව  විනාඩි 2. 10.50ක් ලෙස නිම කරමිනි. ඇය පිහිටුවා තිබූ එකී වාර්තාව වලල ඒ රත්නායක විදුහලේ කේ.ජී.ඩී.එම්. සාමලී කුමාරසිංහ විසින් මෙවර අලුත් කරනු ලැබුවාය. එය විනාඩි 2.09.13කින් අවසන් කරමින් ඇය නව වාර්තාව පිහිටුවනු ලැබිණි. එය සතුටට කරුණකි. වාර්තා බිඳ වැටෙනවා යනු ක්‍රීඩාව දියුණු වනවා, ඉදිරියට ගමන් කරනවා යන හැඟීම ඇති කරවන්නකි. එහෙත් අප කියන මෙම මීටර් 800 වයස් කාණ්ඩ වාර්තාව බිඳ දැමීමට වසර 29ක් ගතව තිබීම ගැන මෙහිදී සැලකිලිමත් විය යුතුය. 
ලෝකය ගමනේ අපි ගොලුබෙලි ගමනේ
මේ වනවිට ධම්මිකා මැණිකේගේ වාර්තාවක් පසුකිරීමට අපට වසර විසිනවයක් බලා සිටින්නට සිදුවිය. එහෙත් එම කාල පරාසය තුළ ධම්මිකා මැණිකේටද ඇල්ලිය නොහැකිව තිබූ ලෝකයේ මළල ක්‍රීඩාව බොහෝ දුර ගොස් තිබේ. එය තත්පර ගණනාවකින් ඉදිරියට යද්දී අපි යන්තමින් ධම්මිකා මැණිකේව අල්ලාගෙන තිබේ. එහෙත් එතැන සිට ලෝකයේ ක්‍රීඩාව දැන් ඇති තැනට යන්නට අපට අසීරුය. අවශ්‍ය වනුයේ ධම්මිකා ඇල්ලුවායැයි සතුටු වීම නොව අපට ඉදිරියෙන් දුවන ලෝකයේ හොඳම ධාවිකාවන් ආසන්නයට හෝ පැමිණීමය. 
ඊට වැඩපිළිවෙලක්
ඉපැදුණාට වැනෙනවා වැනිය යැයි කතාවක් තිබේ. එසේනම් ඉපැදුණු නිසා හුස්ම ගනියි. ඉපැදුණු නිසා පාසල් යයි. ඉපැදුණු නිසා විවාහයකට එළඹෙයි. ඉපැදුණු නිසා රැකියාවක නිරත වෙයි යැයි සැලකිය හැකි ජීවීන්ගෙන් පිරුණු සමාජයක ක්‍රීඩාව කළ යුත්තේ කළ යුතු නිසා නොවේ. එහි ප්‍රගතියක් සොයාගත හැකි ආකාරයෙනි. නිලවරණයෙන් බලයට පත්වන, තරගයකින් වයස් කාණ්ඩ අනුව ඉදිරියට පැමිණෙන ක්‍රීඩකයන්ගේ හා ක්‍රීඩිකාවන්ගේ මෙන්ම නිලධාරීන් තුළද අභිමතාර්ථයක් තිබිය යුතුය. ඒ තම කාලය තුළ නව වාර්තා, ලෝකයේ ජයග්‍රාහකයන්ගේ ස්ථානය ආසන්නයට හෝ ඔවුන් ඉක්මවා යාමට කටයුතු කළ යුතුය යන්නය. මෙය ලෙහෙසි පහසු නැත. එහෙත් සිත ඇත්නම් පත කුඩාද කියනවාක් මෙන් අසීරුද නැත. අවශ්‍ය වන්නේ නිසි සැලැස්මකින් යුතුව මේ වෙනුවෙන් උත්සහ ගැනීමය. 
විදේශිකයාගේ පුහුණුව - විදේශ පුහුණුව
මෙහිදී අප විදේශීය පුහුණුව ගැන කතාකරයි. වැඩි වශයෙන් කතාකරන්නේ ඒ සම්බන්ධයෙනි. ක්‍රීඩකයකු යන්තමින් අළුගසා දමා රට තුළ යමක් සිදුකළ හැකි තැනට පැමිණි සැණින් විදේශ සංචාරක අවස්ථාවන්, පුහුණු අවස්ථාවන්, ශිෂ්‍යත්ව, මිල මුදල් ගැන කතාකරයි. බලධාරීන්ද සිටිනුයේ එම ස්ථාවරයේමය. ඔවුහුද කොහෙන්හෝ ක්‍රීඩකයන් රොත්තක් අටවා ගනිමින් රටේ මුදල් විදේශ සංචාර වෙනුවෙන් විය පැහැදම් කරති. ඉදිරි තරග වෙනුවෙන් ක්‍රීඩකයන් සූදානම් කරවන්නට යැයි කියමින් විවිධ රටවල පුහුණුව කරා මෙහෙයවති. නමුත් අවසානයේ සිදුවන්නේ කුමක්ද? එලෙස ලබාදුන් විදේශ පුහුණුවලින් බහුතරයකදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් උදුරාගෙන ඇති ජයග්‍රහණයන් රටක් වශයෙන් සැලකිය හැක්කේ කොයි අයුරින්ද? ඒ කිසිවක් අපට සහතිකයක් ලබාදිය නොහැකිය. මෙහෙයින් අප කියන්නේ විදේශීය පුහුණුවට වඩා විදේශයකින් ගෙන්වන පුහුණුකරුවන් මගින් කිසියම් දැනුම් පථයක් සමස්ත ක්‍රීඩකයන් අතර දීප ව්‍යාප්තව ඇතිරිය යුතු බවය. ක්‍රීඩා පාසල් වලට, පරිවර්තකයන් මාර්ගයෙන් පුහුණුකරුවා කියාදෙන විෂය කරුණු ගෝචර වන ආකාරයෙන් ප්‍රදානය කළ යුතුය. එවිට අපට දැනට වඩා ප්‍රතිඵල උකහා ගැනීමට හැකිවනු නිසැකය. එසේ නොමැතිව තරගාවලියක් සමීප කරවමින් ලබාදෙන විදේශ අධ්‍යාපනය පෞද්ගලිකය. එය ඇතැම් විට රහසිගත වන්නට හැක්කේ කෙටි කලෙකින්ම සියලු පෞද්ගලික අධ්‍යාපනයන් සමඟ ඔහු හෝ ඇය ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති හෙයිනි. එහෙයින් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා උත්සුක විය යුතුය. රටක ක්‍රීඩාව නගා ලිය හැක්කේ එලෙසිනි. එසේ නැතහොත් දශක දෙක තුනකට වරක් මෙලෙසින් ධම්මිකා මැණිකේව සිහිවී තවත් දශක තුනකින් අපට සාමලී කුමාරසිංහවත් සිහිපත් කරන්නට සිදුවනු ඇත. එවැනි අවාසනාවකට රටේ ක්‍රීඩාව පත්වන්නේ නම් අපි රටක් වශයෙන් ක්‍රීඩා කිරීමෙන් පලක් ඇත්තේද යන්න ගැන සලකා බැලිය යුතුය.

මාතෘකා