ලෝක කුසලානයේ සත්කාරකත්වය යුරෝපයෙන් හා ඇමරිකාවෙන් පිටතට

 ඡායාරූපය:

ලෝක කුසලානයේ සත්කාරකත්වය යුරෝපයෙන් හා ඇමරිකාවෙන් පිටතට

ලෝක ශූරතා පාපන්දු තරගාවලිය පළමු වරට යුරෝපයෙන් සහ දකුණු ඇමරිකාවෙන් පිටත රටක පැවතුණේ 1994 පැවති පහළොස්වැනි ලෝක ශූරතාවෙනි. ඒ ඇමරිකා එක්සත් ජනපදයේදීය. ඊට පසුව යුරෝපයෙන් සහ ලතින් ඇමරිකාවෙන් පිටත ලෝක ශූරතා පාපන්දු තරගාවලිය පැවතුණේ 2002 පැවති දාහත්වැනි ලෝක ශූරතාවෙනි. එවර සත්කාරකත්වය හිමිවූයේ ආසියාවටය. ඒ ආසියාවට සත්කාරකත්වය හිමිවූ පළමු අවස්ථාවයි. ආසියාවේ පාපන්දු යෝධයන් වන ජපානය සහ දකුණු කොරියාව සම සත්කාරකත්වය ලබා ගැනීමට සමත්විය. රටවල් දෙකක සත්කාරකත්වය ලැබූ පළමු සහ එකම ලෝක ශූරතා පාපන්දු තරගාවලියට එයයි.
යුරෝපයෙන් රටවල්  15ක්ද, ඇමරිකානු කලාපයෙන් රටවල් 7ක්ද, ආප්‍රිකාවෙන් රටවල් 5ක්ද තරගාවලියට එක්විය. සත්කාරක ආසියාවෙන්ද රටවල් 5ක් දාහත්වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා පොරබැදීමට එක්විය. සත්කාරක රටවල් දෙකම දෙවන වටය දක්වා පැමිණීමට සමත්වුවත් ජපානයේ ගමන එතනැනින් නැවැත්වීමට තුර්කිය සමත් විය. දකුණු කොරියාව අවසාන පූර්ව තරගය දක්වා පැමිණ තරගාවලියේ සිව්වෙනි ස්ථානයට පත්විය. අවසන් තරගයේදී ජරමනිය පරාජයට පත්කරමින් බ්‍රසීලය කුසලානය ජයගත්තේ පස්වැනි වතාවට ලෝක ශූරතා පාපන්දු කුසලානය දිනූ පළමු රට බවට පත්වෙමිණි. එසේම ආසියාවේ ලෝක ශූරතා පාපන්දු තරගාවලිය පැවති පළමු අවස්ථාවෙදීම එහි ශූරතාව හිමිකර ගත් රට බවට පත්වූයේද බ්‍රසීලයයි.
2006 වසරේ පැවති දහඅටවැනි පාපන්දු ලෝක ශූරතාව පැවතියේ ජර්මනියේදීය. ඒ ජර්මනිය ලෝක ශූරතාවයේ සත්කාරකත්වය ලැබූ දෙවන අවස්ථාවයි. එසේම දෙවරක් සත්කාරකත්වය දැක්වූ තෙවන රට බවට පත්වීමටද ජර්මනිය සමත් විය. යුරෝපයෙන් රටවල් 14ක් උතුරු සහ කැරිබියන් කලාපයෙන් රටවල් 4ක් සහ දකුණු ඇමරිකානු කලාපයෙන් රටවල් 4ක් තරගාවලිට එක්විය. ආසියා-ඔස්ට්‍රේලියා කලාපයෙන් සහ අප්‍රිකානු කලාපයෙන් රටවල් 5 බැගින් එක්වීමත් සමගම තරගාවලියට සහභාගිවන රටවල් සංඛ්‍යාව 32 බවට පත්විය.
සත්කාරක ජර්මනිය අවසාන පූර්ව වටය දක්වා පැමිණි අතර ඉතාලිය හමුවේ ඔවුන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටුණි. ප්‍රංශය පරාජයට පත්කළ ඉතාලිය සිව්වෙනි වතාවටත් ලෝක පාපන්දු කිරුළ හිමිකර ගැනීමට සමත්විය. මෙයට පෙර එම දස්කම කිරීමට සමත්ව තිබුණේ බ්‍රසීලය පමණි.
ප්‍රධාන පාපන්දු කලාප දෙකෙන් පිටතට ලෝක පාපන්දු ශූරතාවයේ සත්කාරකත්වය තුන්වැනි වතාවටත් රැගෙන යමින් 2010 ලෝක ශූරතා පාපන්දු තරගාවලිය අප්‍රිකාවට ලබාදී තිබුණි. ඒ පාපන්දු ක්‍රීඩාව ලොව පුරා ජනප්‍රිය කිරීමේ සැලැස්මේ තවත් පියවරක් වශයෙණි. අප්‍රිකා මහද්වීයට සත්කාරකත්වය ලැබුණේ පළමු වතාවටය. දකුණු අප්‍රිකාව එම අවස්ථාවට හිමිකම් කීමට සමත් විය. ඔවුන් එවකට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පසුවූයේ 77වැනි ස්ථානයේය.
යුෙරා්පයෙන් රටවල් 13ක්, උතුරු ඇමරිකානු සහ කැරිබියානු කලාපයෙන් රටවල් 3ක් සහ දක්‍රණු ඇමරිකානු කලාපයෙන් රටවල් 5ක් තරගාවලියට එක්විය. ආසියා-ඔස්ට්‍රේලියා කලාපයෙන් රටවල් 5ක්ද සත්කාරක අප්‍රිකානු කලාපයෙන් රටවල් 6ක්ද 19වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලිය සඳහා සහභාගිවිය.
සත්කාරක දකුණු අප්‍රිකාවට තරගාවලියේ දෙවැනි වටයට හෝ එක්වීමට නොහැකි විය. ඔවුන් තරගවැදුණු කාණ්ඩයේ කණ්ඩායම් 4 අතරින් ඔවුන්ට හිමිවූයේ තුන්වැනි ස්ථානයයි. අප්‍රිකානු කලාපය නියෝජනය කළ රටවල් 6 අතරින් දෙවැනි වටයට පිවිසීමට සමත් වූයේ ඝානාව පමණි. ඔවුන්ගේ ගමනද අර්ධ අවසන් පූර්ව වටයේදී උරුගුවේ කණ්ඩායම හමුවේ නතරවිණි. ලෝක පාපන්දු ඉතිහාසයේ පළමු වතාවට අවසන් තරගයකට එක්වූ ස්පාඤ්ඤය විසින් අවසන් තරගයේදී නෙදර්ලන්තය පරාජයට පත්කරමින් පළමු වතාවට ලෝක පාපන්දු ශූරයෝ බවට පත්වූහ. ඒ අනුව අප්‍රිකාවේදී ලෝක පාපන්දු ශූරයන් බවට පත්වූ පළමු රට වූයේද ස්පාඤ්ඤයයි.
අවසාන වත්වට 2014දී පැවති විසිවැනි  ලෝක ශූරතා පාපන්දු තරගාවලිය පැවතියේ බ්‍රසීලයේදීය. බ්‍රසීලය පාපන්දු ලෝක ශූරතාවයට සත්කාරකත්වය දැක්වී දෙවැනි අවස්ථාව එයයි. දෙවතාවක් සත්කාරකත්වය දැක්වූ සිව්වෙනි රටද බ්‍රසීලයයි. සුපුරුදු පරිදි යුරොපයෙන් රටවල් 13ක්, දකුණු ඇමරිකානු කලාපයෙන් රටවල් 6ක් සහ උතුරු ඇමරිකානු සහ කැරිබියන් කලාපයෙන් රටවල් 4ක් තරගාවලියට එක්ව සිටියහ. අප්‍රිකානු කලාපයෙන් රටවල් 5ක් තරගාවලිය එක්වන විට ආසියානු කලාපයෙන්ද රටවල් 4ක් ලෝක පාපන්දු ශූරතාව සඳහා එක්විය. 
සත්කාරක බ්‍රසීලය අවසාන පූර්ව තරගය දක්වා පැමිණීමට සමත් විය. අවසාන පූර්ව වටයේ තරගයේදී නොසිතූ ලෙස ජර්මනිය හමුවේ ගෝල 7-1ක් ලෙස දරණු පරාජයක් ලැබූ බ්‍රසීලය තම රටේදී ලෝක පාපන්දු ශූරතාව ජයගැනීමේ සිහිනය බොඳකර ගත්හ. තෙවැනි සුථානය සඳහා පැවති තරගයෙන්ද නෙදර්ලන්තය හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය ලබා තරගාවලියේ සිව්වෙනි ස්ථානයට පත්විය. අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කළ ජර්මනිය සිව්වෙන් වතාවටත් ලෝක පාපන්දු ශූරයන් බවට පත් විය. ඒ එවැනි දසකමක් කළ තෙවැනි රට බවට පත්වෙමිනි.

මාතෘකා