ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට පැමිණි තේ දල්ලේ කඳුළ

 ඡායාරූපය:

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට පැමිණි තේ දල්ලේ කඳුළ

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසුව පැවැති මුල්ම සභා වාරයේදී ඉඹුල්පෙ ප්‍රාදේශීය සභා ඉතිහාසයේ මුල්වරට විවිධ ජාතීන් නියෝජනය කරමින් කාන්තා මන්ත්‍රීවරියන් කීපදෙනෙකු තේරී පත්වී ඇත. එම මන්ත්‍රීවරියන් අතර විශේෂත්වයක් වූයේ වතුකරයේ තේ දළු නෙළන්නියක වූ ඉඹුල්පේ මාරතැන්න සිසිල්ටන් වතුයායේ සේවය කරන මුණියන්ඩි මල්ලිකාදේවි මන්ත්‍රීවරියයි. සිසිල්ටන් වතු යායේම පදිංචි ඇය තිදරු මවකි. වැඩිමහල් දරුවා එම වතුයායේම සේවය කරන අතර දෙවැනි දරුවා පොලිස් නිලධාරියකු ලෙස වව්නියාව ප්‍රදේශයේ සේවය කරයි. එකම දියණිය උසස් පෙළ සමත්ව රැකියාවක් අපේක්ෂාවෙන් සිටියි. ඇයගේ ස්වාමිපුරුෂයාද සිසිල්ටන් වතුයායේම මුරකරුවෙකු ලෙස සේවය කරයි.   
මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමේ ප්‍රතිඵලයක් වූයේ ගැමි ජනතාවගේ දුක හඳුනන, ගමේ ප්‍රශ්න හඳුනන මනිත්‍රිවරියන් බිහිවීමය. වතුකරයේ දෙමළ ජනතාවගේ දුක හඳුනන මල්ලිකාදේවී මන්ත්‍රිවරිය මෙයට කදිම නිදසුනකි. මේ ඇය ආ ගමන්මගයි.  
“මම 1991 ඉඳලා සිසිල්ටන් වතුයායේ තේ දළු කැඩීමේ වෘත්තියේ යෙදුණා, අපේ පවුලේ මමයි මහත්තයයි දරුවො තුන්දෙනයි හිටියේ. අපි ගොඩක් දුක් වින්දා ඒ කාලේ. වතුකරයේ ජනතාවට ලැබෙන පහසුකම් අඩුයි. ජනතාවට ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න මම දැක්කා. මගේ උපන් ගම බලන්ගොඩ හිටුවල. පින්නවල දෙමළ විදුහලින් 10 පංතියට යනකම් ඉගෙන ගත්තා. එදා ඉඳල වත්තේ වැඩ කිරීම තමයි මගේ රැකියාව. ඒ නිසා වතුකරයේ දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගන්න ඕනෑකමක් මට ඒ කාලෙ ඉඳලම තිබුණා.  
2004 දි මම සේවය කළ වතුයායේ 40 දෙනෙකුගේ පමණ වැඩ බැලීමේ රාජකාරිය මට පැවරුණා. මම ඒ රාජකාරිය අකුරටම කළා. 2010 මුළු වත්කර ප්‍රදේශයේ සංවිධායක වරයා වීමට අවස්ථාව හිමිවුණා.   
2014 ලංකා කම්කරු කොන්ග්‍රසයේ රතනපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ධුරය ආරුමුගම් තොන්ඩමන් මහත්තයා මට දුන්නා. ඒකට දෙමළ භාෂාවෙන් කියන්නේ වතු තලවි කෙනෙකු කියලායි. තොන්ඩමන් මහත්තයා සමඟ එකතුවී විශාල වැඩ කොටසක් වතුකරයේ ජනතාව වෙනුවෙන් කළා. 2018 පළාත් පාළන ජන්දෙන් ඉඹුල්පෙ මැදගම ප්‍රාදේශීය සභාව සඳහා ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් තරඟ කළා. ජන්ද 277 ලබාගත්තා. ඒ නිසා තොන්ඩමන් මැතිතුමා මාව මැදගම ප්‍රාදේශීය සභාවට තොරගත්තා. මම කවදාවත් හිතුවෙනෑ වතුකරයේ ජනතා නියෝජිතයෙකු වශයෙන් මට මගේ ජනතාවට සේවය කරන්න පුළුවන් වෙයි කියා.  
මේ ආසනයේ දෙමළ ජනතාව විශාල පිරිසක් ඉන්නවා. මගේ පවුලේ අය වගේම විශේෂයෙන් සිංහල අයත් මගේ ජයග්‍රහනය සඳහා උදව් කළා. ඒ සැමෝම පක්ෂය, ජාතිය බැලුවේ නෑ ඒ නිසා මම ඒ අයට විශේෂ ස්තූතිය පුදකරනවා. දේශපාලන ජීවිතයට අවතීර්ණ වූ දා සිටම මම සිංහල, ද්‍රවිඩ කියා බැලුවේ නෑ. ඒ එකතුකරගත් ජනවරම තමයි මට ලැබිල තියෙන්නේ.
ලංකාවේ වතුකරයේ ජනතාවට අතිතයේ ඉඳලම ප්‍රශ්න ගොඩක් තියෙනවා. වතුර නෑ, විදුලිය නෑ, සෟඛ්‍ය පහසුකම් නෑ, හොඳින් අධ්‍යාපනය ලැබූ දරුවන් අද කොළඹ ගාමන්ට් වල වැඩට යනවා ඒ අයට රජයේ රැකියා ලැබුණේ නෑ. අද වන විට මත්ද්‍රව්‍ය වතුකරයට ඇවිල්ලා නීතිමය වශයෙන් ප්‍රදේශයේ ඉඩම් අයිතිය පිළිබඳව වසර කීපයක සිට පවතින ප්‍රශ්න,  මේ ප්‍රශ්නවලට අදටත් විසඳුම් ලැබුණේ නෑ. වතුකරයේ ජනතාව වෙනුවෙන් වැඩකරන්න මට ජනවරම හමුවුණා, මගේ ප්‍රදේශයේ ජනතාව ගොඩක් සතුටුවුණා ප්‍රාදේශීය සභාවට තේරුණු නිසා.   
වතුකරයේ උපන් දරුවාට වතු රැකියාවම උරුම වුණු යුගය අවසන් කරන්න දැන් කාලය ඇවිත් තිබෙනවා. අපේ පක්ෂ නායක තුමාද වතුකරයේ ජනතාවගේ ගැටළු සඳහා පෙනී සිටිනවා. එතුමාට සහයවෙමින් නව දේශපාලන ගමන ආරම්භ කරනවා.  මොන දේ වුණත් මම මගේ තේ දළු නෙළන රැකියාව අත අරින්නේ නෑ. මට පුළුවන් තරම් කල් ජනතාවත් එක්ක ඉඳල මේ රැකියාවත් මම කරනවා. ඒ වගේම ප්‍රදේශයේ මන්ත්‍රිවරියක් ලෙස කළයුතු සේවය අකුරටම කිරීමට බලාපොරොත්තු වෙනවා” ඇය පැවැසුවාය.  

 

[අසේල ලියනගේ]

මාතෘකා