සරත්චන්ද්‍රගෙන් යැපුණා ඇති නැද්ද?

 ඡායාරූපය:

සරත්චන්ද්‍රගෙන් යැපුණා ඇති නැද්ද?

ලොව විශිෂ්ටත ම ප්‍රේමවන්තයා කවුදැ යි කවුරුන් හෝ විමසුවහොත් මා අත උස්සා පවසන්නේ ඒ එදිරිවීර සරත්චන්ද්‍රයන් බව ය. නෙළා ගත නොහැකි ව අනේකවර  බලා වැළපුණු හන්තාන සිහිනය වනාහි සරත්චන්ද්‍රයෝ ය. තරුණ හදවත්හි හද ගැස්ම සරත්චන්ද්‍රයන්ගේ නිර්මාණ තුළ ස්පන්දනය වීම ඊට හේතුව විය යුතු ය. තාරුණ්‍යය සරාට කෙතරම් ආදරේ දැයි හෙළි වන්නේත් මළගිය ඇත්තෝ නවකතාව ඉගෙනගත් කාලයේ දී ය. උගන් වන කල්හි ය. සරත්චන්ද්‍රයන් වනාහි ප්‍රේමණීය ලෝකය නියෝජනයක් මෙන් ම ශාස්ත්‍රීය ලෝකය අනාවරණය කිරීමේ කැඩපතක් බව අවිවාදයෙන් පිළිගත යුතු කරුණකි.
දේශීය අනන්‍යතාවකින් යුතු ලාංකේය සාහිත්‍යට උරුමකම් කියන නාට්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ පුරෝගාමියා වනාහි එදිරිවීර සරත්චන්ද්‍රයෝ ය. බටහිර නාට්‍ය සම්ප්‍රදාය පෙරදිග නාට්‍යකරුවන් අතින් ලාංකේය වේදිකාව මත ප්‍රතිනිර්මාණය වූ මොහොතක සරත්චන්ද්‍රයෝ පෙරදිග නාට්‍ය සම්ප්‍රදායක් බිහි කිරීම වෙනුවෙන් හුදෙකලා අරගලයක නියුතු වූහ. ඊ.එෆ්.සී.ලුඩොව්යික් සහ නියුමාන් ජුබාල් යන බටහිර නාට්‍ය සම්ප්‍රදාය මෙරට තුළ ස්ථාපිත කිරීමෙහි පෙර ගමන්කරුවන් පිටුපස සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන වැනි නාට්‍යකරුවන් ගමන් කළ මොහොතක සරච්චන්ද්‍රයන් ලාංකේය අනන්‍යතාව වෙනුවෙන් පරීක්ෂණ කළේය.
විශ්ව විද්‍යාල නාට්‍ය රඟදැක්වීම් ක්‍රියාවලිය තුළ මෙකී ගැටලුව පැන නඟින්නේ නියුමාන් ජුබාල් සහ සරත්චන්ද්‍ර එකතු වී වෙද හටන නාට්‍ය නිෂ්පාදනය කිරීමට දරනා උත්සාහයේදී ය. එහිදී සරත්චන්ද්‍රයෝ තාත්වික නාට්‍ය (Method Action) සහ සමඟ මතමය වශයෙන් ගැටෙන්නාහ. එහි ප්‍රතිඵලයක් ලෙස නියුමාන් ජුබාල්ගෙන් වියුක්ත වූ සරත්චන්ද්‍රයෝ දේශීය නාට්‍ය කලාවක අංකුර සොයා ඉන්දියාව, ජපානය ආදී රටවල පර්යේෂණ සඳහා ගමන් ගත්තාහ. ඉන්දියානු නාට්‍ය සම්ප්‍රදාය තුළ සරත්චන්ද්‍ර සෙවූ ලෝකය නොමැති වුව ද ජපානය තුළ වූ නෝ, කබුකි, ඔපෙරා ආදී නාට්‍ය කලාවන් ඔස්සේ සැළකිය යුතු තොරතුරු ලබා ගත් හෙතෙම ඇමරිකාවට සංක්‍රමණය වන්නේය. එහීදී ද සාධනීය මට්ටමේ තොරතුරු සහ ලේඛක ගත්කතුවරුන් හඳුනා ගන්නා සරත්චන්ද්‍රයෝ යළි පේරාදෙණියට පැමිණ මනමේ නිර්මාණය කිරීමට පෙළෙඹෙති.
රියනොසුකෙ අකුතගාවාගේ රෂෝමොන් කතා පුවත අකිර කුරසෝවා විසින් චිත්‍රපටයක් ලෙස අධ්‍යයනය කළ අතර මනමේ බිහි කිරීමට සරත්චන්ද්‍රයෝ එකී කතාව මනා රුකුලක් කර ගත්හ. 1956 දී මනමේ බිහි කළ අතර නොබෝ කලකින් නාට්‍ය ධර්මී සම්ප්‍රදායෙන් බිහි වූ මනමේ ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගත්හ.
එකල සුගතපාල ද සිල්වා ඇතුළු ජුබල්වාදී නාට්‍යකරුවන් ප්‍රකාශ කළේ නාට්‍ය ධර්මී ශෛලිය ඔස්සේ කුටුම්බ පවුල් සංස්ථාවෙහි වන ගැටුම සහ ප්‍රේමය විවරණයට බඳුන් කළ නොහැකි බවයි. සිංහබාහු බිහි වීමට මොවුන්ගේ මති මතාන්තර සරත්චන්ද්‍රයන්ට ප්‍රබලව බලපෑ බව බොහෝ දෙනෙකු නොදන්නා සත්‍යයකි.
සරත් කල්හි සඳ එලෙස ගොඩ නැඟෙනා සඳ වත්මන් ලාංකේය නාට්‍ය වේදිකාවට තවත් තරු ලකුණක් එකතු වන්නේය. සුවිශේෂීත්වය වූ කලි ඔහු සරත්චන්ද්‍ර අත ප්‍රතික්ෂේප වූ කොන්ස්ටාන්ටික් ස්ටැනිස් ලවුස්කිගේ නව රූපණ විධික්‍රමය අනුගමනය කරන්නෙකු වීමයි. වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස සිය රංගන ජීවිතය ගොඩ නඟාගත් ඔහු වඩාත් ප්‍රේක්ෂකාදරයට පාත්‍ර වන්නේ " කූඹියෝ " ටෙලිනාට්‍ය ඔස්සේ ය. ඒ නමින් තුමිඳු දොඩන්තැන්න ය. ඔහුගේ රංගනයේ ප්‍රකට වන ලවුස්කි න්‍යාය ලාංකේය ප්‍රේක්ෂකයාගේ සිත් ඇද බැඳ තබා ගැනීමට චිත්ත අභ්‍යන්තරික හේතුව විය. කාලයක දී මහ ඇඳුරන් අත ප්‍රතික්ෂේප වූ න්‍යායක් තවත් කලෙක ජනප්‍රියතම නළුවා බිහි කරන්නට රසික හදවත් පොරකන තැනට පත් කිරීමට තරම් ප්‍රබල එකක් විය. 21 වන සියවසේ ලංකාව බඳු විශ්වීය අත්දැකීම් සීමිතඋ දූපතක තරු ලකුණක් බිහි ව ඒමේ ප්‍රවණතාව මට නම් ආශ්චර්යයකි.
ඉතින් තවදුරටත් අප සරත්චන්ද්‍ර මත ම යැපිය යුතු ද? පේරාදෙණි වළේ නාට්‍යයක් කළ සැණින් එය සරත්චන්ද්‍ර සමඟ සැසඳිය යුතු ද? ලසන්ත කුමාර විසින් අධ්‍යක්ෂණය කළ බ්ලැක් ටවුන් වේදිකා නාට්‍ය සරත්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේ රඟ දැක් වූ අවස්ථාවේ මහාචාර්ය ලියනගේ අමරකීර්තින් ඊට අදහස් එකතු කරමින් ප්‍රකාශ කළේ නාට්‍යයක් රඟ දැක් වූ පසු එය සරත්චන්ද්‍ර සමඟ සැසඳීමට වඩා නූතන නාට්‍ය කලාවේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් එකී නාට්‍යයෙන් සිදු කළ මෙහෙය ඇගයීමට බඳුන් කළ යුතු ය යන්න යි. සරත්චන්ද්‍රයන්ගේ දෘශ්‍ය කාව්‍යාවලියේ ආත්මය වනාහී සංස්කෘත විඥානය විනා අනෙකක් නොවේ. ඉන්දියාව බඳු කුල ස්ථරායනයෙන් සහ මිථ්‍යා විස්වාසයන්හි එල්බගෙන සිටිනා රටක් යටින් ලංකාව පිහිටා ඇති නිසා ම සරත්චන්ද්‍ර මඟ අලුත් කිරීමට කාලය එලඹ ඇත. සිංහල හෝ නාට්‍ය හා රංග කලාව පාසල් විෂය නිර්දේශයේ පතාක යෝධයා ලෙස උලුප්පා දක්වනුයේ සරත්චන්ද්‍රයන් ය. එය සත්‍යකි. පරම සත්‍යයකි. නමුත් ඊට එහා ලෝකයක් ඇති බවත් ඒවා ස්පර්ශ කිරීමට ඉඩ සලසනා තාක් කල් සරත්චන්ද්‍ර කලාවේ රස සොය සොයා පොත් පීරන්නට සිදු වීම ලංකාව බඳු ගෝත්‍රිකත්වය කරා ගමන් කරනා රටක එක් අතකින් අභාග්‍යයකි. තවමත්, සාහිත්‍ය යනු එළුසඳැස් ලකුණ, ධර්මප්‍රදීපිකාව, සද්ධර්මරත්නාකරය, කව්සිළුමිණ යැයි සිතා සිටිනා සාහිත්‍ය ගුරුවරුන් ශිෂ්‍යයන්ට සාහිත්‍ය හා කලාව උගන්වනා මොහොතක එය ඛේදවාචකයක් කරා ගමන් කරනු නියත ය.

මාතෘකා