ආගම අබිංද?

 ඡායාරූපය:

ආගම අබිංද?

කාල් මාක්ස් ආගම අබිං කියල කිව්වෙ 1867 විතර. ඒ කතාව කාල් මාක්ස් නිකන් කියපු කතාවක් නෙවෙයි. අබිං කියන්නෙ වේදනා නාශකයක්.  ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය වෙලාවට, මැහුම් දාන්න අවශ්‍ය වෙලාවට වෛද්‍යවරු රෝගියාට අබිං දෙනවා. ඒ දෙන්නෙ රෝගියාගෙ වේදනාව අඩු වෙන්නෙ. රෝගියාට දැන වේදනාව අඩු නිසා වෛද්‍යවරයට තමන්ගෙ ශල්‍යකර්මය කරගන්න පහසු වෙනවා. අබිං කියන්නෙ වෛද්‍ය විද්‍යාව වැඩිය දියුණු නැති සමාජයක තිබුණු හොඳම වේදනා නාශකය.  
කාල් මාක්ස් ආගම අබිං කියන්නෙ ආගම කියන එකත් පීඩිතයගෙ වේදනා නාශකයක් වෙච්ච නිසා. පීඩිතයාගෙ සැබෑ පීඩනය ආගම විසින් තනුක කරනව. ඒ පීඩනය පීඩකයාට එල්ල වෙන්නෙ නෑ. පීඩිතය හැම වෙලාවකම තමන්ගෙ පීඩනය තනුක කරගන්න ආගම යොදාගන්නවා.  ‘ඒක කර්මය නිසා සිද්ද වෙච්ච දෙයක්... මම දුප්පත් වුණේ ගිය ආත්මෙ කරපු අකුසල කර්මෙ නිසා, මට මේක වුණේ ගිය ආත්මෙ කරපු අකුසල කර්මයක් නිසා වගේ කාරනා ආගම තුළින් මිනිස්සුන්ගෙ හිත්වල ගානට පැළ කරල තියෙනව. මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත, මේක තමයි අල්ලා දෙවියන්ගේ කැමැත්ත වගේ හේතු හදාගෙන තමන්ට එල්ල වෙන ඕනම පීඩනයක් හිතින් දරාගෙන දියාරු කරගන්න පීඩිතයා සමත් වෙනව.
කොයි තරම් පීඩනයට පත් වුණත් ඒ වෙනුවෙන් සටන් කරන්නවත් ඒ වෙනුවෙන් හඬ නගන්නවත් තමන්ගෙ ඇඟට පැටවෙන පීඩනය පීඩකයා වෙත මුදාහරින්නවත් පෙලඹෙන්නෙ නැත්තෙ මේ ආගම් වලින් පීඩනය තනුක කරල පීඩකයට ගැළපෙන මිනිස්සු කොටසක් හදල දෙන එකේ වගකීම අරගෙන තියෙන නිසා. ආගම කියන්නෙ තාවකාලික වේදනා නාශයක් නිසා තමයි මාක්ස් 1867 දී විතර ආගම අබිං කියල කිව්වෙ. දැන් එමු ලංකාව පැත්තට... අපිට ආගම අබිං වෙන්නෙ කොහොමද එහෙම නැති නම් ආගම වේදනා නාශකයක් වෙන්නෙ කොහොමද?
ජනවාරි පළවෙනිදා අරගෙන බලන්න... ලංකාවෙ හතර දිග්බාගෙන් කතරගමට දළදා මාලිගාවට සෙනඟ පිරෙනව දැකලා ඇති. ඒ මොකක් වෙනුවෙන් කියලද හිතන්නෙ ? මේ අවුරුද්ද සාර්ථක කරල දෙන්න කියල දෙවියන්ගෙන් ඉල්ලන්න තමන්ගෙ දුක් ගැනවිලි දෙවියන්ට කියන. ඇත්තටම නොපෙනෙන දෙවියෙක්ට පුළුවන්ද අපේ දුක් නැති කරන්න. අපේ ජීවිත සාර්ථක කරන්න. අවුරුද්දෙම තිබ්බ පීඩනය ගිහින් දෙවියන්ට බාර කරල හිත සැහැල්ලු කරගෙන ඇවිල්ලා ආයෙත් සුපුරුදු පරිදි පරණ තැටියම වාදනය කරගෙන ජීවිතය ගෙවනව. මොන බාධකය ආවත් රජයෙන් මොන බද්ද ගැහුවත් කාර්යාලයෙන් මොන ප්‍රශ්න ආවත් හිතන්නෙ ගිය ආත්මෙ කරපු කරුමයක් නිසා මට මෙහෙම වෙනව ඇති. දෙවියන් වහන්සේගෙ කැමැත්ත ඒක වෙන්න ඇති කියන සුන්දර කතා විතරයි. කවදාවත් ඒ ප්‍රශ්නවලට විසඳුම් හියන්නවත් තමන්ව පීඩනයට පත් කරන පාලකයන්ට පෙරළා පීඩනය එල්ල කරන්නවත් පෙළඹෙන්නෙ නෑ.
ආගම් පවතින එකේ ප්‍රධානම වාසිය එන්නෙ පාලකයට. හැම තිස්සෙම ආගම්වලට රාජ්‍යය අනුග්‍රහය ලබා දෙන්න පාලකයා ක්‍රියා කරන්නෙත් ඒක නිසා. ඔනම අවස්ථාවක තමන් කරන ඕනම දේකට ජනතාව විරුද්ධ නොවී තියෙන්න නම් කරන්න පුළුවන් එකම දේ ජනතාවගෙ පීඩනය අඩු කරන එක කියල පාලකයො දන්නවා. ඔය පීඩකයා සහ ජනතාව අතර ඉන්න සම්බන්ධකයා තමයි ආගමික නායකයා. එයාලත් පාලකයන්ගෙන් තමන්ට ලැබෙන ලාභ සත්කාර දිගටම ලැබෙන්න ඕන නිසා හැම තිස්සෙම ජනතාව සැනසවීම කරනව. ඉතිහාසයේ සිටම ආගම්වලට රාජ්‍යය අනුග්‍රහය ලැබෙන්නෙ ඔය කියන කාරණය හේතුවෙන්. වර්තමානයෙත් එසේමයි අනාගතයෙත් එය එසෙම වෙලා පවතීවි. 
ආගම නම් අබිං වැනිය කියල ඒ කාලෙ මාක්ස් කියපු කතාව එදාටත් අදටත් හෙටටත් වලංගු කතාවක්. මිනිස්සු ආගම් ප්‍රතික්ෂේප කරල තමන්ට එල්ල වෙන පීඩනය පාලකයා වෙත පෙරළා එල්ල කරන දවසක් වෙනකම් හැමදාම පාලකයො තමන්ට ඕනි විදියට තමන්ගෙ වැඩ කටයුතු ටික කරගනිමින් ජනතාව පීඩනයට පත් කරාවි.

මාතෘකා