කොවුල් හඬක් තවත් මොටද මුවන්පැලැස්සට

 ඡායාරූපය:

කොවුල් හඬක් තවත් මොටද මුවන්පැලැස්සට

සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය ඔස්සේ  රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වූවා. කෙටි කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය.

විවාහයෙන් පසු ඇය රත්නාවලී කැකුණවලය. 1931 ජනවාර් 20 වන දින උපත ලැබූ රත්නාවලී ගේ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය වූයේ ටී.ජී. ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවක් ඇසුරෙන් 1951 දෙසැම්බර් 21 වන දින පී. වැලිකල නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයකි. පසුව ගුවන් විදුලියේ මාලා නාටකයන් වූ මහ රෑ හමුවූ ස්ත්‍රිය ගුවන්විදුලි නාට්‍යයට 1952 දී සම්බන්ධ වූ ඇය 1953 දී කුරුළු බැද්ද ගුවන්විදුලි නාට්‍යයට සම්බන්ධ වුවාය. ආසියාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යය වූ මුවන් පැලැස්ස ට ඇය සම්බන්ධ වන්නේ 1964 දී වන අතර රෝගී තත්වය නිසා මුවන් පැලැස්සෙන් සමුගන්නා විට ඇය වසර 50 ක් එහි එතනාහාමි හා මැණිකේ යන චරිත වෙනුවෙන් හඬ කවා තිබුණි.

'අනේ මස්සිනේ' , 'උතුරේ රාහුල' , 'බොරැල්ලේ ගෙදර' , ඇතුළු වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ රත්නාවලී කැකුණවෙල, සත් සමුදුර, මුවන් පැලැස්ස 1 , මුවන්පැලැස්ස 2, මුවන් පැලැස්ස 3, මරුවා සමග වාසේ, බට්ටි ඇතුළු සිනමා පට 40 කට පමණ රංගන දායකත්වය ලබා දී ඇත. ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත රගපෑ ඇය අවසන් වරට රංගනයෙන් දායක වූයේ මුවන්පැලැස්ස කතාව තේමා කර ගත් 'කෝරළේ මහත්තයා' ටෙලි වෘතාන්තයට ය.

"මැණිකේ නොමැති මුවන්පැලැස්ස සඳ නැතිදා අහස වැන්න." රත්නාවලී කැකුණ‍වෙල මහත්මියගේ අභාවය සමග ක්ෂණිකව උපන් සිතුවිල්ලකි ඒ. එය රටටම දැනුණු සමුගැනීමකි.ශ්‍රී ලංකාවේ  දීර්ඝතම ඉතිහාසයක් හිමි ගුවන් විදුලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයක් වූ මැණිකේ චරිතයට පණ දුන්නේ ඇය බව නොදන්නා කෙනෙකු නැති තරම්ය. මුවන්පැලැස්ස ගුවන් විදුලියෙන් විකාශය වීම ඇරඹුණේ 1964 මාර්තු 12 දාය.එය රචනා කළේ මුදලිනායක සෝමරත්නය. එය බෙහෙවින් ජනප්‍රිය විය. ශ්‍රාවකයෝ මුවන්පැලැස්ස නමැති  නමැති ගම්මානය සිතින් මවාගත්හ.

එහි වෙසෙන මිනිසුන්ගේ හඬ ඔස්සේ මුලු පරිසරයම මනස් සිතුවමෙහි ඇඳුණේය.60 දශකයේ අග වන විට එය එය ජනප්‍රියත්වයේ මුදුන් තලයටම නැගුණේය. 1970 දී නාට්‍යයේ රචකයා වූ මුදලිනායක විදෙස්ගත විය. රචකයා නොමැතිවීමෙන් නාට්‍ය ඇණ හිටියේය.ශ්‍රාවකයෝ නොසන්සුන් වූහ. ලියුම් දහස් ගණන් ලැබෙන්නට විය. එහි ප්‍රතිපලය මුවපැලැස්ස නැවත ආරම්භ වීමය.පිටපත් රචනය වික්ටර් මිගෙල්ට පැවරිණ. ඔහු එවක ප්‍රකට වේදිකා නාට්‍ය ශිල්පියෙකි. මුවන්පැලැස්සේ කදිරා ද ඔහුය.  රත්නාවලී කැකුණවෙල ඔහුගේ නැගණිය වූවාය.මේ දෙදෙනා මුවන් පැලැස්සට නැතිවම බැරි චරිත බවට පත්ව තිබිණ.ඉන්පසු බොහෝ කලක් යන තුරු මුවන්පැලැස්ස ලියැවුණේ වික්ටර් මිගෙල් අතිනි. මීට අමතරව විජේරත්න වරකාගොඩ, නෙතලී නානායක්කාර, වොලී නානායක්කාර, ගැමුණු විජේසූරිය, යනාදී ශිල්පියෝ ද ශිල්පිනියෝද මුවන්පැලැස්සට ජීවය දුන්හ. මෙය ගැඹුරු ජීවන අත්දැකීම් විදාරණය කළ නාට්‍යයක් නොවීය. එය සරල වින්දනයකට සීමා විය. එහෙත් තමන්ට සමීප ගැමි චරිත ගුවන්විදුලියෙන් ළංවීම ගුවන් විදුලි ශ්‍රාවකයන්ට විස්මයජනක අත්දැකීමක් විය.අනෙක එකල ප්‍රධානතම සන්නිවේදන මාධ්‍යය වූයේ ද ගුවන් විදුලියයි.

පුවත්පතද ඊට දෙවැනි වූ බව ආචාර්ය නන්දන කරුණානායකගේ ශ්‍රවන සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වේ. ඒ අනුව පුවත් දැනගැනීම, විනෝදය හා රසවින්දනය අතින් ගුවන් විදුලිය වැඩි ආකර්ෂණයක් දිනාගත්තේය. එම වාසියද මුවපැලැස්සට තිබිණ. ඒ සියල්ලටම වඩා වැදගත් වූයේ ඔවුන් අතිදක්ෂ ශිල්පීන් වීමය. ගුවන්විදුලි මාධ්‍යයට අමතරව සාහිත්‍ය කලා ෂේත්‍රවල පරිචයක් ලබා තිබීමද ඔවුගේ විශේෂත්වයකි. එය හුදු හඬ කැවීමක් පමණක්ම නොවීය.චරිතවල හැඟීම්, ප්‍රතිවිරෝධතා මෙන්ම ජීවත්වන පරිසරයද පිළිබඳ හැඟීමක් ඇතිවන පරිදි දෙබස් උච්චාරණය කිරීම සියුම් කලාවකි.එය රූප මාධ්‍යක් නොවේ.හඬ මාධ්‍යයෙන් රූපය මැවීමකි.මේ අනුව වසර පනස් ගණනක කාලයක් ඔවුන් ලැබූ පරිචය මෙන්ම ඔවුන්ගෙන් පෝෂණය වූ කලාවද සුවිශේෂය.

මෙහිදී රත්නාවලී කැකුණවෙල ශිල්පිනියට පැවරී තිබුණේ තරමක් සංකීර්ණ චරිතයකි.ගමේ නිලලත් ප්‍රධානියාගේ ළාමකකම්, ඔලමොට්ටලකම් හා මිනිස්කම් ද ගම්වැසියන්ගේ දුක්ගැනවිලිද යන මේ සියල්ලට මැදිවෙමින් ගැටුම් නිරාකරණය කිරීමේ මැදහත් භූමිකාව ඇගෙන් ඉටු විය.ඇගේ මුදු මොලොක් බව හැම විටම ඉස්මතු විය. ඇගේ හඬ ඒ සංකීර්ණත්වය මතු කිරීමට සමත් විය. ඇය ගුවන් විදුලියට සීමා නොවූවාය. වෙදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය ඔස්සේ ඇගේ ප්‍රතිභාව හඳුනාගත හැකිවිය. විසි වන සියවසේ සංස්කෘතික පරිවර්තනය පිටුපස තිබූ  ප්‍රධාන බලවේග අතර සර්වජන ඡන්ද බලය, නිදහස් අධ්‍යාපනය හා ගුවන් විදුලිය ප්‍රමුඛ වේ. ඒ අරුතින් ගත් කල රත්නාවලී කැකුණවෙල  රටට අහිමිවූ විශිෂ්ට සංස්කෘතික දායාදයකි.

[තිඹිරියාගම බණ්ඩාර] [මංජුල සමරසේකර]


ජනප්‍රිය ලිපි