ඔබේ අයිතිවාසිකම් සුුරක්ෂිතද?

 ඡායාරූපය:

ඔබේ අයිතිවාසිකම් සුුරක්ෂිතද?

වෙළඳපොළ ආර්ථික රටාවක ජීවත්වෙන අප සැමට අනන්‍ය වූ මූල්‍යය වටිනාකමක් වෙළඳපොළ ක්‍රමය විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ මූල්‍යයමය වටිනාකම ඇතුළෙ අපට නිර්මාණය වෙච්ච නම තමයි ‘පාරිභෝගිකයා’ කියන්නෙ. භාණ්ඩයක් මිලදී ගන්නා පාරිභෝගිකයන් විදියට අපිට වෙන් වෙච්ච අයිතිවාසිකම් කිහිපයක් තියෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්න එකක් තමයි "ඇහුම්කම් ලබාගැනීමේ අයිතිවාසිකම" කියන්නෙ. යම් භාණ්ඩයක් මිල දී ගැනීමේදී එහි ගුණාත්මකභාවය පිළිබඳව හෝ භාණ්ඩය ගැන යම් කිසි ප්‍රශ්නයක් ඇත්නම් ඒ පිළිබඳව අදාළ නිෂ්පාදකයා දැනුවත් කිරීමේ අයිතිය, එනම් අදාළ නිෂ්පාදකයා ඒ පිළිබඳව ඇහුම්කම් ලබාගැනීමට බැඳී සිටිය යුතුයි.
රටක ජනතාව ලෙස ඔබ ඔබේ බදු මුදලින් වැටුප් ගෙවා දේශපාලකයන්ගෙන් ලබා ගන්නා සේවයේදී ඔබේ ඇහුම්කම් ලබාගැනීමෙ අයිතිය කෙතරම් දුරට සුරක්ෂිත වෙනවාද යන්න පිළිබඳව ඔබේ අවබෝධය කෙසේදැයි තම තමන්ගෙන්ම ප්‍රශ්න කරගත යුතුයි. ඔබ ගෙවන බදු මුදල්වලට සරිලන සේවාවක් ඔබට ලැබෙනවාදැයි ඔබ කිසි දිනක දේශපාලකයන්ගෙන් විමසා තිබේද? එසේ විමසා තිබුණත් ඔවුන් එයට ඇහුම්කම් දී ඔබේ අයිතිවාසිකම සුරක්ෂිත කර තිබේද? අපි ඔබ සැම ගෙවන සෑම රුපියලකටම ඔවුන් ඔබේ අපේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බැඳී ඇත. නමුත් එසේ වෙනවාදැයි සිතීම ඔබටත් මටත් ඇති වගකීමක් නෙවෙයිද?
ඔබෙත් මගෙත් බදු මුදලින් වැටුප් ලබන දේශපාලකයින් ඔබෙත් මගෙත් ඇහුම්කම් ලැබීමේ අයිතියට ගරු කරන පිරිසක් බවට පත් කරවා ගැනීම හෝ එලෙස ගරු කරන පිරිසක් දේශපාලකයින් බවට පත් කරගැනීම අපසතු වගකීමක් නොවේද...?
තම අයිතිවාසිකම් සුරක්ෂිත කරන මෙන් ඉල්ලා හඬ නැගූ විට, ජල ප්‍රහාරයට, බැටන් ප්‍රහරයට, කඳුළු ගෑස් ප්‍රහාරයට හෝ වෙඩි උණ්ඩ ප්‍රහාරයට ලක් වේ නම් ඔවුන් ඔබේ අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කරාවියැයි ඔබ සිතනවාද..? අයිතින් වෙනුවෙන් හඬ නගන මිනිසුන් ත්‍රස්තවාදී ලේබල් අලවා අතුරුදන් කරවන පාලකයින් ඔබ වෙනුවෙන් සේවය සලසයි කියා ඔබ හිතනවාද ?
අවුරුදු හැත්තෑවක් තිස්සේ ඔබේ ඇහුම්කම් ලබාගැනීමේ අයිතිවාසිකමට කෙතරම් සාධාරණයක් ඔවුන් ඉටු කර ඇත්ද..? මේ අවුරුදු හැත්තෑවටම තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් ඉල්ලීම් කරපු කීදෙනෙක් ජීවිතවලින් වන්දි ගෙවන්න ඇත්ද ? පොඩ්ඩක් හිතන්න, රටක ජනතාව විදියට අපිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නවත් බැරි වාතාවරණයක් තියෙනව නම් අපි අපේ අයිතිවාසිකම් මොනවද කියලවත් හරියටම දන්නෙ නැත්තම් අපි කොයිතරම් අසරණ ජන කොටසක්ද? එහෙම තියෙද්දිත් තමන්ගෙ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරන පාලකයින් පත් කරගන්නෙ අපිම නෙවෙයිද ? ඔබේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන දේශපාලකයින් ඔබේ වටිනා ඡන්දයෙන් පත්කරගැනීමට උත්සාහ කිරීම ඔබේ වගකීමක් නෙවෙයිද?
ඇහුම්කම් ලබාගැනීමේ අයිතිය කියල කියන්නෙ රැකියාව බලාපොරොත්තුවෙන් ඡන්දය කාලයට පෝස්ටර් ගහල පස්සෙ අඬාගෙන යන එක වත්, ගෙදර ඉස්සරහ අඩි විස්සෙ තිහේ කටවුට් එකක ගහල ඒ ගැන කිය කියා පස්සෙන් අඬාගෙන ගිහින් රැකියාවක් ලබාගන්න එකවත්, දරුවා පාසලට දාගන්න එකවත් නොවන බවත් සිහි තබාගත යුතු වෙනවා. ඔබත් මාත් සියලු දෙනාම මේ රටේ පුරවැසියන් ලෙස ජීවත් වන, රජයට බදු ගෙවන වැසියන් බැවින් කිසිම අයිතිවාසිකමක් ලබාගැනීම උදෙසා දේශපාලකයන්ට කත් ඇදීම හෝ වහල් සේවයේ නිරත විය යුතු නැති බවත් හිතට ගන්න වෙනවා. හැම තිස්සෙම පාලකයන්ට වුවමනා අයිතිවාසිකම් ගැන නොදන්න පිරිසක්. නිසා තමන්ට හිමි අයිතිවාසිකම් මොනවද කියල කවදාවත් කියල දෙන්න පාලකයන්ට උවමනාවක් නෑ.
ජීවිතේ කවදාවත් මේ දේවල් ගැන හිතුවෙ නැතිනම් දැන් ඉඳන්වත් හිතන්න පෙළඹෙමුද?

මාතෘකා

ජනප්‍රිය ලිපි