කොමිසමට බය කව්ද?

 ඡායාරූපය:

කොමිසමට බය කව්ද?

දිනවල හැම අතින්ම පෙනෙනුයේ අවිනිශ්චිත මුහුණුය."මොකද වෙන්නේ?" බොහෝ අය අසති. කාටත් හරි උත්තරයක් නැත."සත්‍ය කොමිසමට මොකද වුණේ?" අයෙක් අසයි."ආණ්ඩුව දාපු එකද?  මම අසමි. ඔව් ඒකටත් චෝදනා එනව නේද?" තවත් ගැටලුවකි. සත්‍යයේ කොමිසම පිහිටුවා ටික දිනකි. මුලින්ම ආවේ ප්‍රමාදය පිළිබඳ විවේචනයයි. ඊළඟට එහි නියෝජනය ප්‍රහාරයට ලක්විය. මෙවැනි කොමිසමක් පිහිටුවීම තම පැවැත්මට තර්ජනයක් වේ යැයි සිතූ පාර්ශ්වය කොමිසමේ නියෝජනයට තඩි බෑවේය. එහිදී චෝදනාව වූයේ එය පක්ෂපාත එකක් බවය.
එය හුඹස් බියක් බව ඔප්පු විය.දැන් පෙනෙන්නට තිබෙන්නේ තිරයෙන් පිටුපස ජවනිකාය. ඒවා බිහිසුණුය. මන්ද යත් ජනමතය විකෘති කිරීමේ හැකියාවක් ඊට ඇති බැවිනි. වැලිකඩ ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මිග් යානා ගනුදෙනුව යනාදී සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි. විශේෂ මහාධිකරණ පිහිටුවීම මේවා කඩිනම් කිරීමට බලපායි. මෙය අපරාධවලට සම්බන්ධ පාශ්වවලට තර්ජනයකි. එනිසා එම කණ්ඩායම් රණවිරු දඩයම පිළිබඳ ප්‍රවාදය සමාජගත කරමින් සිටිති.
ඒ අනුව සත්‍යයේ කොමිසම පිහිටුවීමද කුමන්ත්‍රන ලැයිස්තුවට පහසුවෙන් ඇතුළු කරගෙන තිබේ. ටෙලි නාට්‍ය සහ කේන්දරකරුවන් ගැන දන්නා ප්‍රමාණයටවත් සංහිඳියාව සහ සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය නොදන්නා මහජනතාවට මෙය ගෝනිබිල්ලකු ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇති බව ගිනි පත්තු කරන්නෝ දනිති. මේ නිසා හැකි ඉක්මනින් රට අරාජික තත්වයකට පත් කර දේශපාලන තීන්දු ගැනීමේ හැකියාව තමන් අතට ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
රණවිරුවන් හිරේ දැමීම සඳහා කොමිසමක් පත් කර ඇතැයි මර හඬ නගන්නේ එනිසාය.
රැස පුවත්පතෙන් සත්‍යයේ කොමිසම නමින් විශේෂාංගයක් ආරම්භ කරන ලද්දේ එබඳු කොමිසමක් කඩිනමින් පිහිටුවීම සඳහා අනුබලයක් වනු පිණිසය.
එයට මේ වන විට අතුරුදන් හෝ ඝාතනය කරන ලද පුද්ලයන් පිළිබඳ ඔවුන්ගේ ඥාතීහු කරුණු දක්වමින් සිටිති."ඔව්වා පත්තරේට කියල වැඩක් නෑ මහත්තයො" තොරතුරු ලබාදෙන අයම කියති.
ඊට හේතුව මීට පෙර අපේ රටේ ක්‍රියාත්මක වූ විවිධ කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කරවීම කොමිසම පත්කළ අය විසින්ම මග හැරීමය. එවැනි තත්වයක් තිබියදී පුවත්පතකට කරුණු කීම තුවාලය පෑරීමෙන් ඔබ්බට නොයන දෙයක් බව ඔවුන්ගේ අදහසයි.
එහි සාධාරණ පදනමක් තිබේ. තරුණ අසහන කොමිෂන් සභවේ නිර්දේශ 90 දශකයේදී ක්‍රියාත්මක කළා නම් ඊළාම් යුද්ධය එතරම් දරුණු අන්තයකට නොයනු ඇති බව ලියුම්කරුගේ විශ්වාසයයි. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළා නම් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මීට වඩා සැනසිලිදායක වාතාවරණයක් බිහිවීමට ඉඩ තිබිණ. දරුස්මාන් වාර්තාවට එරෙහිව හිටපු ජනපති උගත් පාඩම් කොමිසම පත් කළේය.
එහෙත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම මන්දගාමී විය.සිදුවූයේ සිවිල් ජන දිවියට මිලිටරිය තවදුරටත් කාවැදීමය. උතුරේ පැවතුණේ රාජ්‍යයේ පාලනයෙන් ඔබ්බට ගිය අර්ධ මිලිටරි පාලනයකි.
කැරළිකරුවන්ගෙන් තමන් නිදහස් කරගත් භූමිය තමන් යටතේ තිබිය යුතුය යන හැඟීමක් පාලකයන්ට විය. මේ නිසා මානුෂීය නීතිය හා සිවිල් අයිතිවාසිකම් නීතියට බැඳුණු රටක් වශයෙන් ජාත්‍යන්තරයෙන් කොන් කිරීමට ලක් විය. මේ තත්වය වෙනස් වූයේ යහපාලන රජය බලයට පත්වීමෙන් පසුවය.
යුද්ධයකදී එයට සම්බන්ධ හැම පාර්ශ්වයකටම හානි සිදුවෙයි. සම්බන්ධ නොවන පාර්ශ්වද ගොදුරුවෙයි. ඝාතන, පැහැරගැනීම්, ශාරීරික හානි සිදුවෙයි. කුඩා දරුවෝද බිළිවෙති. යුද්ධයකදී පිළිගත් නීතියකට අනුව කටයුතු කරන්නේ මානුෂික අයිතීන් කඩවීම අවම කරනු පිණිසය. හිතාමතා, දැනුවත්ව හා පලි ගැනීමේ චේතනාවෙන් ද යුද්ධයෙන් බැහැර පුදේශවලද ආරක්ෂක අංශ සාමාජිකයන් බලය පාවිච්චි කර තිබේ නම් ඒ පිළිබඳ කරුණු සෙවීම රජයේ වගකීමය.
දේශීය හා විදේශීය වශයෙන් එබඳු අත්දැකීම් ඕනෑතරම් ඇත.එනිසා මෙහි කලබලයට හේතුවක් නැත. කලබල වන්නෝ කලබල ඇතිකිරීමට මුල් වූවෝය. ඊනියා රණවිරු දඩයමක් ගැන මරහඬ දෙන්නෝ ඔවුහුමය. අනෙක් අතට පුද්ගල අතුරුදන් කිරීම් ආරක්ෂක අංශ අතින් මෙන්ම කැරළිකරුවන් අතින්ද සිදුවෙයි.
තම ඥාතියාට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීම හා ඒ වෙනුවෙන් සාධාරණ වදියක් ලබා ගැනීම ජීවත්ව සිටින්නාගේ අයිතියකි. ජීවත්වීමට කාටත් ඇති අයිතිය උදුරාගත නොහැක. වෛරී පාර්ශ්ව අතර සාමාදානය ඇති කිරීමටද සත්‍යයේ කොමිසමක් වැදගත් වෙයි.
නැවත ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහාද එය අවශ්‍ය වෙයි. දකුණු අප්‍රිකාව ඒ පිළිබඳ පුර්වාදර්ශයකි. රජය විසින් පිහිටුවන ලද සත්‍යයේ කොමිසම තවත් උගත් පාඩම් කොමිසමක් නොවිය යුතුය. ජාත්‍යන්තරය තාවකාලිකව රැවටීමේ උපක්‍රමයක් ලෙස කොමි‍ෂන් සභා පිහිටුවීම පැස්බරා වැල්ලේ හිස සඟවා ගැනීමට සමානය.
කොමිෂන් සභාව ක්‍රියාත්මක විය යුත්තේ රටවැසියාගේ අනාගත හිතසුව පිණිසය.

 

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා