දවසක් පැල නැති හේනේ පැළක් තැනූ කලු මහත්තයා

 ඡායාරූපය:

දවසක් පැල නැති හේනේ පැළක් තැනූ කලු මහත්තයා


මුලු මහත් ජන සමාජයම බියෙන් තැති  ගත්  කාලයක් විය. මිනිසුන් ජීවත් වනවාට වඩා මියෙන්නේ කවදා දැයි සොයමින්, ඇඟිලි  ගනිමින් සිටි යුගයක ඒ බියෙන් තැති ගත් මියෙන, පණ අදින මිනිසුන් වෙනුවෙන්  අවසන් හුස්ම පොද දුන් පොදු ජනතාවගේ මිනිසා ඔබය.  
ඔබ බොහෝ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මරණය තුරුලට ගෙන ආදරය පරිත්‍යාග කළේය. "කාලයේ රාවය"  සහ "කම්පන" ප්‍රසංගයෙන් පොදු ජනතාවගේ ආරක්ෂකයා වූයේ ඔබය. තල් වැට අයිනට වී වැලි බංකරයේ සිරව ගිනි අවි අතට ගත් උතුරේ නඩරාජලාත්, දකුනේ සුමනසිරිලාත්, එකම පන්තියක මිනිසුන් බව කියාදී, යුද්ධයෙන් රට ගිගුම් දෙන විට යුද්ධයෙන් තොර වූ ලෝකය පැතුවේ ඔබය.
දේශපාලන දර්ශනය ආදරණීය කිරීම උදෙසා දෘෂ්ඨිමය හඬ අවදි කළ ඔබ කලාකරුවන්ගේ ලෝකයට මිනිස් දේශපාලනය රැගෙන විත් යුගයේ අවශ්‍යතාවය හඳුනාගත් කලාකරුවා වූයේද ඔබම ය.වරෙක පීඩිත ජනතාව වෙනුවෙන්ද, තවත් වරෙක වැඩ කරන ජනතාව වෙනුවෙන්ද, ඔවුන්ගේ කම්කරු අරගලයට නව පණක් දී තනිව ම සටන් වැදුණි. ඒ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනි. ඇතැම් විට තනිවම සටන් තනිවම  වැද ඇද වැටුණි.  ලැබූ කටුක පරාජයත්, ජයග්‍රහනයක් සේ සළකා යළි යළිත් නැගිට වෙල්ලස්ස ගොවීන්ගේත්, කණේරු ඇටකා මිය යන පුලතිසි ගොවීන්ගේත් හඬ ඔබේ හඬ තර ගත්තේ ය. සදාකාලික මිනිස් දේශපාලනයක් ගොඩ නැගීමට වෙර දුන් මිනිසුන්ට එදා  ඔබේ හඬ ශක්තියක් විය.
හෘද සාක්ෂියක් නොමැති  ජන සමාජයක ඒ හෘද සාක්ෂිය රැක ගැනීම උදෙසා ඇවිලෙන කුසගින්නට වඩා හොඳින් ඔබ ජීවිතය  හඳුනාගෙන තිබුණි. විදුලි මිණි පහන් මැද ඇතැමෙක් සතුටු සාදවල කකා බිබී හිඳිද්දී ඒ මැදුරු දොර අභියස සිට දුගී බවේ හංස ගී ගයනා දරුවන්ගේ ලෝකය දුටුවේය. විවාහය කල් දමා ලෙළි තළන දෝණිටත්, ඉරුණු ඇඳුම් ඇඳ අඩු කුලියට සළු මසන නැගණියටත් ඔබ එකසේ ආදරය කළේය. සැලුන් දොරකඩ හිඳින බාබර්ටත් හිස නමන හැටි ජනතාවට කියා දුන්නේ ඔබය. ඔබේ කට හඬ ඒ අසරණ ජනතාවගේම හඬ බවට පත් කළේ ය. කුරා කුහුඹු මිනිසුන් ඔබේ ලෝකයේ කිරුළු පැළඳුවේ ඒ නිසාය.
ඒත් ඔබ කියාදුන් මග ඔබ පසු පස ජනතාවාදී ලේබලය පැළඳ පැමිණි ඇතැමුන්  ඒ ජනතාවාදී ලේබලය ජනතාව අත  තබා ඔබ නියෝජනය කළ පීඩිත පන්තියෙන් පැන ගොස්ය. එදා මෙන්ම අද ද ඔබේ ඒ ගී මගෙහි වූ අසරණ ජනතාව වෙනුවෙන් ඔබ පසු පස ඔබේ සෙවනැල්ලේ සැඟව පැමිණ  ඔබ තනිකර අන් මගක යද්දී සතුටු සාදයක ඇසෙන වියරු ගෝෂාව අතරින් ඔබේ කට හඬ මතුව අවුදින්,  ඔබේ ගී කැට මුගුරු ලෙස ඒ සමාජය වෙත දමා ගසනු ඇත. ඔබ නියෝජනය කළ ඒ මානුෂීය දේශපාලනය ඒ සමාජයට එරෙහිව නැගී සිටිනු ඇත.  
පෙර දවසක, දවසක් පැල නැති හේනේ පැලක් තැනූ ඒ කලුමහත්තයා. අද හෝ හෙට  යළිත් ඒ දැයි ඒ අම්මාත්, ඇගේ දරුවන් සමග ඒ පැළට වී මග බලනු ඇත. අපිද ඒ රුව යළිත් එනතුරු මග බලන්නෙමු.
මේ තියෙන්නෙ කපුගේගේ සැබෑ මානව දෘෂ්ඨිය පිරුණු ගීයක්. ඔහු සැබෑ ජීවිතය තුළත් නියෝජනය කලේ මේ පිඩීත දරුවන්ගේත්, ජනතාවගේත් ලෝකයයි. ඔබ කවදා හරි දවසක ජී.බී. සේනානායකගේ “දුප්පතුන් නැති ලෝකය” කෙටිකතාව කියවල තියනවනම් මේ ගියත් ඒ කෙටි කතාවත් සසඳා බලන්න ගද්‍ය සාහිත්‍යය සහ ගීත සාහිත්‍යය ජනතාව වෙනුවෙන් කොයිතරම් සේවයක් කරනවද කියලා.

විදුලි මිණි පහන් නිවී බොළඳ ගී සිනා රැළි
නිලංකාර අඳුරේ සිරවී සාදයේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ
එන්න කන්න බොන්න මිහිරේ
දෙනෙතින් ආරාධානා
ඔබේ හඬ කිඳී සිඳී යයි කතා සරිත් සාගරේ
පුරාගෙන පිරූ විතේ විසුලු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් සොඳුරේ මැඳුරු දොර දිහා

ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳීපළා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදීමට කපුගේ හමුවෙන්නෙ රජරට දී  ඒ අසූව දශකය මැද හරියේ දි  විතර, කපුගේ රජරට සේවයට ආවෙ  1981 දි විතර එතකොට මා පුංචි පන්තිවල ඉගන ගත්ත කුඩා සිසුවෙක්. සාමාන්‍ය පෙළ කරපු කාලෙ කපුගේ ඉදිරිපත් කළ නිර්මාණාත්මක වැඩසටහන්වල ගුණ සුවඳ මට දැනෙන්න පටන් අරන් තිබුණෙ ඒ කාලෙ. ඒ දවස්වල කපුගේ රජරට සේවයේදි සෙනසුරදා උදේ “මන්දාකිණිය” නමින් වැඩසටහනකුත් ඉරිදා දවස්වල “රස දහර” නමින් වැඩසටහනකුත් රසවින්දන වැඩසටහන් වශයෙන් කපුගේ ඉදිරිපත් කළා. ඒ දෙකම ඉතා අපූර්ව රසවත් වැඩසටහන්. එතකොට රජරට හිටපු මට "ඔසිබිසා" "යාල්ලා" ෆ්‍රැන්ක් සිනෙට්‍රා, බොබ් මාලේ  වගේ අයගේ ගීත ගැන එතරම් දැනුමක් තිබුණෙ නෑ. ඒත් කපුගේ ගේ ඒ වැඩසටහනෙන් පස්සෙ අපි ඒ ගීත ගැන හෙව්වා. ඒ වැඩ සටහන්වලට නිරන්තයෙන් ලිව්වා. කපුගේ මගේ නමින් ම මං  ඒ ලියපු ඒවා ආයෙමත් කපල කොටල රසට හදල  ප්‍රචාරය කළා.  ඒ නිසාම පාසල් සිසුවෙකුව සිටිය දීම මට කපුගේ අඳුනගන්න ලැබුණෙ රජරට සේවයෙන්. එදා පළමු වරට දැන හඳුනාගෙන  රජරට දී ඇරඹුන කපුගේ සමග පැවති සුහද මිතුදම ඔහු මිය යන තෙක්ම පැවතුණු සදාකාලික මතකයක්. ඔහු මට පසු කාලීනව නිර්මාණාත්මක අත්වැලක් වූවා වගේම  අදටත් ඔහු මට ආලෝකයක්.

මාතෘකා