ලෝකෙ උතුම්ම රට

 ඡායාරූපය:

ලෝකෙ උතුම්ම රට

මේ ළඟදි මට කාලෙකින් හම්බවුණ යාලුවෙක් හරි අපූරු බොරුවක් කිවුවා.
"මචං උඹ දන්නවද ලෝකෙ උතුම්ම රටේ තමයි අපි ඉපදිලා ඉන්නෙ, මේ රටේ තියෙන සම්පත් වෙන කොහේවත් නෑ"
අද කියන්න යන්නෙ මෙන්න මේ බොරුව අපේ ඔළුවල පැළ කරපු එකෙන් ඇති වෙලා තියෙන විනාශය ගැන. මනුස්සයෙක් වුණාම රටට ආදරය කරන්න ඕන. ඒ ගැන විවාදයක් නෑ. ආදරය කිරීම සහ ලෝකෙ හොඳම එක උතුම්ම එක වගේ ගොං පාට් ඔළුවලට කා වද්දල තියෙන නිසා තමයි ඔය ජාතියේ නාමයෙන් අනිකා මරන්න ජාතියේ නාමයෙන් අනිකා කොටන්න වගේ බහුබූත අදහස් සමාජගත කරන්න පහසු වෙන්නෙ. නිකමට හිතන්න මට පොඩි කාලෙ ඉඳලම මේක උතුම්, මේක පට්ට, මේක තමා හොඳම එක කියල කියන්න කියන්න අතිශය බලවත් විදියට අපි ඒ දේ වෙනුවෙන් බැඳෙනව. ඒ බැඳීම නිසාම අනිසි බයක් ඇති වෙනවා.  මේ උතුම් කම කවුරු හරි කෙලසයිද, මේ හොඳම එක නරක් කරයිද, මේ පිවිතුරු බවට හානියක් කරයිද වගේ සිතුවිලි නිකම්ම හිතට එනවා. එතකොට හැම තිස්සෙම අනිත් එකා දිහා බලන්න ගන්නෙ සැකෙන්. ඒ සැකය නිසාම ගැටුම් ඇති වෙනවා. නුවර සිද්දිය මතක් කරගන්නකො, 83 සිද්දි මතක් කරගන්නකො, ඔය ඔක්කොම සිද්දිවලට බලපාන්නෙ තමන්ගෙ එක තමා ලෝකෙන්ම උතුම් කියන ආකල්පය ඇති කරපු එක.
පොඩි කාලෙ ඉඳලම ළමයින්ට පුරුදු කරන්නෙ ජාතිය උතුම්, ආගම උතුම්, ඒ නිසා රට උතුම් කියන බහුබූත කතා. ඒ මිසක කවරදාකවත් රටේ තියෙන සැබෑ හොඳ උගන්වන්නෙ නෑ. රටේ තියෙන නව නිපැයුම් ගැන අගය කරන්න, ඒවා අධ්‍යයනය කරන්න පුළුවන් විදියක් ඒ නිපැයුම් ගැන ආඩම්බර වෙන විදියක් උගන්වන්නෙ නෑ. අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙනව කියල ඒක ගැන ආඩම්බර වෙන්න කියල දෙනව මිසක ඒ 2500 ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඕන පාඩම් ටික ඒවා වර්තමානයට ගළපගන්න විදිය උගන්නන්නෙ නෑ. හැමදාම අතීතය ගැනයි භූමිය ගැනයි ජාතිය ආගම ගැනයි ආඩම්බර වෙනව මිසක සැබෑවට රටට වෙච්ච හොඳක් නම් නෑ. උතුම්ම එක හොඳම එක කියන්නෙ අපිට නොතේරෙන්න ගිල්ලවපු ටොපියක් කියල හිතෙන්නෙ නැති තරමටම ඒක රස වැටිලා ඉන්නෙ. ඕන දෙයක අවසාන කෙළවරට ගියාට පස්සෙ ඉන් එහාට යන්න තැනක් නෑනෙ. හොඳම එක වෙලා තියෙනකොට තවත් හොඳ වෙන්න දෙයක් නැහැනෙ. සමහර විට ඒ නිසාම අලුත් දෙයක් කරන්න අලුත් දෙයක් හොයන්න උවමනාවක් නැතුවදෝ කියලත් හිතෙනව වෙලාවකට.
ලොකෙන්ම උතුම් රට ලංකාව කියල කිව්වට මේ රටේ තාම හුළඟින් ඒඩ්ස් බෝවෙනව කියල හිතන විදුහල්පතිවරු ඉන්නව. උදේට නොකා ආපු නිසා වමනෙ ගියහම ගැබිනියක් කියල හිතල ඉස්කෝලෙන් ළමයින් එලවන විදුහල්පතිවරියො ඉන්නව, දරුවෙක් මහණ කරන්න ගෙයක් දෙන්නම් කියන ඇමතිවරු ඉන්නව. ඒවා දැක දැක නිශ්ශබ්දව ඉන්න කාන්තා සංවිධාන ළමා සංවිධාන තියෙනව. සමලිංගිකත්වය කියන්නෙ ලෙඩක් කියල හිතන වාමාංශිකයො ඉන්නව. රටේ වෙන දේවල් පත්තරෙන් දැනගන්න පාලකයො ඉන්නව. දවස් තිස් අටක් ගැටලුවක් තමන්ගෙ අධ්‍යයාපනය ලබන තැන වහල දාලා තියෙද්දි ඒ වෙනුවෙන් කතා නොකරන, වෙන කොහේ හරිපුද්ගලික ආයතනයක ඉගෙන ගන්න ළමයින්ගෙ ඉගෙනීම නවත්තන්න විතරක් පාරට බහින ශිෂ්‍ය ව්‍යාපාර තියෙනව. මැති ඇමතිවරු පාසලට එද්දි නිසි ගරු සරු දක්වන්න කියල චක්‍රලේක ගහනව. රටේ කොතනින් හරි කොටියෙක් නෙවෙයි බල්ලෙක් හරි නැගිටිනකම් බලාගෙන ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නව. කුඩු බිස්නස් කරන උන් කසිප්පු පෙරන උන් කෝච්චිවල මාල කඩන උන් ඡන්දෙ දීලා පාර්ලිමෙන්තුවට යවන, පළාත් සභාවට යවන මිනිස්සු ඉන්නව, එතන ගිහින් බදු මුදල්  ටිකට පිටරටින් හම්බෙන ණය ටිකට විදිනකම් බලාගෙන ඉන්න ජනතාවක් ඉන්නව. සති දෙකතුනක් තෙල් නැවක් එන්න පරක්කු වුණොත් මුහුද දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න සිද්දවෙනව.
වෙලාවකට හිතෙනව මේ වගේ සිද්දි වෙන නිසා ලෝකෙන්ම උතුම් රට කියල එයාලා හිතනවද දන්නෙත් නෑ කියල. ඔය මේ රට තමයි උතුම්ම රට කියල හිත හිත ඉන්නෙ නැතුව ඇත්තටම උතුම්ම එක කරන්න පුළුවන් විදියට වැඩ කළේ නැත්තම් තව අවුරුදු සීයකිනුත් කියන්න වෙන්නෙ මේක සංවර්ධනය වෙමින් පවතින අනිත් එකා එක්ක ගහ මරාගන්න රටක් කියල.

 

[චමල් අකලංක පොල්වත්තගේ] [සුජිත් ප්‍රියන්ත]

මාතෘකා

ජනප්‍රිය ලිපි