ඒ වුණත් වසන්තයේ පැමිණීම නවතාලිය හැක්කේ කාටද?

 ඡායාරූපය:

ඒ වුණත් වසන්තයේ පැමිණීම නවතාලිය හැක්කේ කාටද?

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

දින දෙකක්වත් ගත නොවිණි. කැමරා කැරකෙන්ට පටන්ගැනුණි. මාසයක් ඇතුළත චිත්‍රපටයේ අඩක් අවසන් විණි. යළිත් කිසි දිනෙක කණ්ඩායම් අතර ගැටුම් හටගත්තේ නැත. සියලු දෙනාම තමන්ගේ පවුලේ ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යන්නාක් මෙන් වැඩ කරන්ට වන්හ. දිනය අවසානයේදී එළියට ගත් දළ සේයා පට මුද්‍රණය සඳහා රසායනාගාරය වෙත යැවෙයි. ඊළඟ දිනයේදී මුද්‍රිත කොටස් දළ වශයෙන් සංස්කරණය කරනු ලැබීමෙන් පසුව ඒවා පරීක්ෂා කර බලන්ට හැකි වන්නේය.

අමන්දානන්දයට පත් මා ඕ මැතිනිය මුද්‍රිත කොටස් පරීක්ෂා කර බලන්නීය. අණදෙන නිලධාරි ඩීගේ පිටට තට්ටු කරන ඇය ඔහුගේ කාර්යක්ෂමභාවය ප්‍රශංසාවට ලක් කරයි. මගේ අනිත් හැම ව්‍යාපෘතියකටම මේ කාර්යක්ෂමභාවය ලබාගන්ට තියේ නම් තවත් කටයුතු උදෙසා අණදෙන නිලධාරි ඩීගේ සහයෝගය ලබාගැන්ම සම්බන්ධයෙන් ඇය සිතන්ට වෙයි.

අවුලට පත් වෙන්ඩ එපා. මා ඕ සිය ඉදිමුණු කම්මුල අතගාමින් නොරිස්සුම් ස්වරයෙන් කතා කරන්ට වෙයි. ඔබ, ඔබ හිතාගෙන ඉන්න කෙනා නෙමෙයි. ඇත්ත නම් මගේ හෙවණැල්ල නොපෙනුනොත් කිසිවෙක් ඔබේ නියෝග පිළිගන්නෙ නැහැ. ගුවන් හමුදාවෙ ප්‍රධාන අණ දෙන නිලධාරි වූ ෆා-සියන් ඔබේ දුරකතනයට උත්තර දෙන කොට මිනිහගෙ ඇස් යොමු වෙන්නෙ මා ඉඳගෙන ඉන්න පුටුව දිහා. රතු මුරකා භටයො ජියෑන් චින් සහෝදරියට ආචාර වේවා! කියා යටිගිරියෙන් කෑමොර දෙන කොට උන්ට අවශ්‍ය වෙන්නෙ මාව සතුටු කරන්ඩ.

මට තේරෙනව සභාපතිතුමනි. මම හැකි තරම් මහන්සි ගන්නවා නිහතමානී වෙන්ඩ. තර්ක විතර්කවල පැටලෙන්නෙ නැතුව ඉන්ඩ. කරුණාකරල සැක කරන්ඩ එපා මගේ මුළු ජීවිතේම ඔබතුමා වෙනුවෙන් කැප කරල තියෙනවාය කියන කාරණය. මගේ කටයුතු කරගෙන යන්ඩ මට පුළුවන් වෙලා තියෙන්නෙ ඔබතුමා කෙරෙහි මගේ තියෙන භක්තිය නිසාම පමණයි. මට මගේ අලුත්ම නිර්මාණ ගැන කියන්ඩ ඉඩ දෙන්ඩ. ඔපෙරාවල සහ මුද්‍රා නාටකවල චිත්‍රපටි කොටස් පෙන්නන්ඩ ඉඩ දෙන්ඩ.

ඔපෙරා ටික හොඳට ඇවිල්ල තියෙනව මා ඕ පවසයි. කැකෑරෙන උණු වතුර භාජනයක් තුළින් උණුසුම් තුවායක් එළියට ගෙන ඔහු සිය ඉදිමුණු කම්මුල තවන්ට පටන්ගනියි. ඔබේ වැඩ ගැන මං පැහැදිලයි ඉන්නෙ. මේ දර්ශන හොඳයි වගේ පෙනෙනව. නමුත් ඒවා මැජික් කාපට් එකක් කියල හිතාගෙන. ඉගිල්ලෙන්ඩ හදන්ඩ එපා. මගේ අනතුරු ඇඟවීම ඒකයි.

ඒ ඉසව්වේදී ඔහු මා අතහැර දමයි. මා තුළ ඇති වියවුල ඔහු ඉදිරියේ සඳහන් කරන්ට මට ධෛර්යයක් නැත. මෑතක සිට අප දෙදෙනා අතර අප පටලවාගන්නා බොහෝ දේවල් ඇත්තේය. අපි ඒවා පැහැදිලි කර නොගනිමු. ඒ අප අතර සාමය පවත්වාගන්නටය. බාගවිට අවුල වඩාත් හොඳය. මා නියෝජනය කරන්නේ මා ඕ බැව් මම ජනතාව හමුවේ පවසමි. එහෙත් මම ඔහුගේ ජීවිතය තුළ නොවෙමි. ඔහු ගත කරන මේ දවස් ගැන මා තුළ කිසිම නිනව්වක් ඇත්තේ නැත. ඔහුගේ සොර අඹුව එළවා දැමීමෙන් මා ලබන සතුටක් නැත. මට වද හිංසා කිරීමෙන් ඔහු සතුටක් ලැබීමද මට රුස්සන්නේ නැත. නිදි ඇඳේදීම මගේ බෙල්ල මිරිකන්ට තමාගේ අණදෙන නිලධාරීන් සූදානමින් සිටින බැව් ඔහු මට දිගටම කියයි. (ඔහු ඒ අයගේ නම් හෙළි කරන්නේද නැත) ඔහුගේ එම හිතලුවත් සමඟ පෑහී සිටිනු අතිශයින් පීඩාකාරිය. විශේෂයෙන්ම ඔහු දෙවියාගේත් යක්ෂයාගේත් භූමිකා දෙකම එක වරම රඟපාන විට ඇරත් තමා දර්ශනයෙන් ඈත් කර තැබීමද ඔහු ද්වේෂ කරන කාරණයකි.

වසන්තයේ මුලම තවමත් සීතලය. අරුණ නැ‍ෙඟන විට මුළු තහනම් නගරයම හිමෙන් වැසී සුදු පැහැ ගනියි. මේ සැන්දෑවේ කවුළුවෙන් එපිට පෙනෙන මිදිවැල් බිහිසුණු ලෙස සැලෙන්ට පටන්ගෙන ඇත. කුණාටුවක් පැමිණ ඇත්තේය. එය පවසන්නේ සීත සමය වෙන්ව නොයන්ට තීරණයක් ගෙන ඇති වගය. ඒ වුණත් වසන්තයේ පැමිණීම නවතාලිය හැක්කේ කාටද? මධ්‍යම රා‍ත්‍රිය පසු වන විට මුළු අහස් තලයම වසාගෙන සිටි වලාකුළු පහව ගොසිනි. යළිදු චන්ද්‍රයා අහස මත නිරුවත්ව දිස් වෙයි. මගේ කවුළු මත අතු රිකිලි හැපෙන්නේ හරියට අවතාර ඇවිත් තට්ටු කරන්නාක් මෙනි.

කෑන් ෂෙන් ඇවිත් කියන තුරුමල කුණාටු දින රාත්‍රියේ සිදු වූ කිසිවක් මම නොදැන සිටියෙමි. 1967 අප්‍රේල් 30. අහස මතින් වලාකුළු පහව යන්ට මොහොතකට පෙර මධු සාදයක් සඳහා මා ඕ විසින් කලින් ඔහු පහර ගැසූ පරණ කොල්ලන් කැඳවා ඇත. හොඳට බැදපු වලස් ගාත්වලින් ඔහු පිරිසට සංග්‍රහ කළේය. ඔහු හැසිරී ඇත්තේ පෙබරවාරි 18ට පසුව කිසිවක් නොසිදු වූ කලෙක මෙනි.

මැයි 1 වැනිදා ජාතික සංස්කෘති මාළිගාවේ පැවැත්වුණු ප්‍රීති උත්සවයේදී මේ පරණ කකුල් සියල්ලම ප්‍රීතියෙන් සිටීම ගැන පුදුම වන්ට කාරණයක් ඇත්තේ නැත. මගේ ස්වාමිපුරුෂයා තමාගේ මුහුණු දෙකේ විජ්ජාව කරන බැව් මවිසින් දැනගෙන සිටිය යුතුව තිබුණි. මා ඕ විසින් මා ඔසොවා තබනු ලැබුවද මගේ අලුත් බලයෙන් ඔහුගේ හිත චංචලව ඇති බවත් මෙම ක්‍රීඩාව සමබර කරනු සඳහා ඔහුට තවත් බලවේගයක් අවශ්‍ය බවත් මවිසින් තේරුම්ගත යුතුව තිබුණි.

මාතෘකා