හැම නිවසකම ඕ උත්තර - තාරකාවකි

 ඡායාරූපය:

හැම නිවසකම ඕ උත්තර - තාරකාවකි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඒ නම් අමුතු තාලයේ සබඳතාවකි. එය පේ‍්‍රමවන්තයින් දෙදෙනකු අතරේ වන සබඳතාවක ගැඹුර ඇති එකකි. ඔහු තමා වෙතම තබාගැනීමේ අරමුණෙන් ඇය කරන්නේ සංස්කෘති බියුරෝවේ ප්‍රධානියා හැටියට ඔහු පත් කිරීමය. ඇයගේ ප්‍රතිදානය ප්‍රතික්ෂේප කරන ඔහු දේශපාලනය කෙරෙහි තමා තුළ ඇති උදාසීනභාවය ප්‍රකාශ වෙන්ට ඉඩ හරියි. එය පෞද්ගලික කාරණයක් හැටියට ගන්නා ඇය සිතන්නේ ඔහු තමාට මදිපුංචිකමක් කර ඇති බවකි. තර්ක කරන ඔහු ස්වකීය හිතෛසීවන්තභාවය ඔප්පු කරන්ට වෑයම් කරයි. ඇගේ හිත දිනාගනු සඳහා ඔහු තව තවත් නව නිර්මාණ කරන්නට වෙයි. ඇයගේ සියලුම ඔපෙරාවන්හි සහ මුද්‍රා නාටකයන්හි තම මුද්‍රාව තබන්ට ඔහු කටයුතු කරයි. එහිලා ඔහු උත්කර්ෂයට නඟන්නේ ස්ත්‍රී චරිතයයි. දේවතාවියක කෙරේ වන ඔහුගේම කැපවීමයි. ඔහු ඇය වෙනුවෙන් සටන් කරන්නේද වෙයි.(පිරිමි ගායකයන් විසින් මධ්‍යම ස්වර තලයේ ගායනා උස් හඬින් ගැයෙන ශා ඕෂෙන් සංගීත නිර්මාණ රීතියෙන්) ස්වභාවික පිරිමි කටහඬින් ගැයෙන ලා ඕ-ෂෙන් රීතියට මාරුවීම සඳහා තමා විසින් නිර්මාණය කර ඇති නව සංගීත රචනාවන්හි විශේෂත්වය නාට්‍ය කණ්ඩායම්වලට ඒත්තු ගන්වනු උදෙසා නළුවන්ටද කණ්ඩායම් නායකයන්ටද අධ්‍යාපනයක් ලබාදීමට ඔහු සති ගණන් සම්මන්ත්‍රණ මාලාවන් පවත්වයි. ඔහු විසින් නිර්මිත බටහිර සහ පෙරදිග සංගීත භාණ්ඩවල සම්මිශ්‍රණය ස්වකීය වාද්‍ය වෘන්දයට ඔහු සන්නිදර්ශනාත්මක ආකාරයෙන් පැහැදිලි කර දෙයි. එකී කාර්යයෙහි දී ඔහු කරන්නේ පිරිමි චරිතයන්ගේ වේදිකා කාලය ඉවතට ගෙන ඒ කාලය ගැහැනු චරිතයන් වෙනුවෙන් කැප කිරීමය. අන්තිමේ දී සිටින්නේ වීරවරියන් පමණි.

එකී නව නිර්මාණ ඇයට බාර දෙනු ලබයි. ඒ නිර්මාණ ඇගේ සිතට කාවදියි. ඇය ඒවායින් විස්මයට පත් වනවා පමණක් නොවෙයි. ඇය තුළ සානුකම්පිත බලවත් හැඟීමක්ද හටගනියි. විවිධ පැතිවලින් ඇයට දැනෙන්නේ මේ නම් තමාගේ අාධ්‍යාත්ම සහකරුවකු බවය. ඇයට ඔහු කෙරේ මහත් ආදරයක් දැනෙන්ට වෙයි.

මේ ඔපෙරාවන්ගේ ප්‍රතිඵලය - බලපෑම - ප්‍රකාශ වන්ට පටන්ගනියි. ඒවායේ ගායන වෘන්ද මුළු මහත් දේශය පුරාම ගුවන් විදුලියෙන් ප්‍රචාරය කෙරෙයි. ජනතාව ඒවායේ වචන දනිති. ඔවුහු ඒවායේ ගී තනු සිහින් හඬින් ගයන්ට වෙති. සංස්කෘති විප්ලවය දැන් පවතින්නේ එහි හිණි පෙත්තේය. ඔපෙරාවන් මගින් මා ඕ ජියෑන් චින් මැතිනියගේ ජනප්‍රියත්වය ඉහළ යයි. හැම නිවසකම ඕ උත්තර - තාරකාවකි. ඇය වඩාත් උන්නතිකාමී වන්නීය. මගේ මේ සියලුම ඔපෙරාවන්ද මුද්‍රා නාටකයන්ද සිනමා කෘතීන් හෙවත් චිත්‍රපට බවට පෙරලන්ට මට ඕනෑය. ස්වකීය යෝජනාව නිලධාරි තන්ත්‍රය හරහා යන තෙක් ඇය බලා සිටින්නේ නැත. අරමුදල් ඉල්ලා ඇය කෙළින්ම යන්නේ ජාතික භාණ්ඩාගාරයටය. එහිලා ඇයට ඇත්තේ හුදු දේශපාලන ප්‍රවේශයකි. ඔබ තුළ මා ඕ කෙරේ ඇති භක්තිවන්තභාවය පරීක්ෂා කෙරෙන්නෙ මේකෙන් තමයි.

ඇගේ ඉල්ලීමට ඉඩ ලැබෙයි.

කොටියගෙ වලිගෙ අල්ලාගන්ඩ නම් හිතේ හයියක් තියෙන්ඩ ඕනෑ. නැත්නම් කවදාවත්ම උගේ පිට උඩ යන්ඩ බැරි වේවි.

අපි විප්ලවවාදී ඔපෙරාව නඟා සිටුවමු! මා කල්පනා කළේ මා ඕගේ ඒ ප්‍රකාශයෙන් මගේ චිත්‍රපට කාර්ය සීරුවෙන් කරගත හැකි වේය කියාය. එහෙත් ගැටලුව වන්නේ චිත්‍රපට ස්ටුඩියෝව කොටස් අටකට බෙදා තිබීමය. කිසිවකු අනෙකා සමඟ වැඩ කරන්ඩ සූදානම් නැත. ආලෝකකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා කැමරාව පිහිටුවාලිය යුත්තේ කවර කෝණයටදැයි සිනමා නිර්මාණකරුට කියයි. ඇඳුම් පැලඳුම් පිළිබඳ අධ්‍යක්ෂවරයාගේ නියෝගය සැලසුම්කරු ප්‍රතික්ෂේප කරයි. වේශ නිරූපණ ශිල්පියා තමාගේ ප්‍රියතම මඳ රතු වර්ණය නිළියගේ මුහුණෙහි තවරයි. තිර රචකයන් විසින් ලියා ඇති ”මා ඕ විරෝධී” පද පේළි සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා වාර්තාවක් ඉදිරිපත් කරයි. හැම දිනෙකම වේදිකා අලංකරණය ගැන දබරයකි. මාස ගණනාවක් ගත වී ඇත්තේය. එහෙත් එකද දර්ශනයක්වත් රූගත කර නැත්තේය.

මට ගිනි නිවන්නා බවට පත්විය නොහැක. මම කණ්ඩායම් නායකයන්ට කඩා පැන මොර දෙමි. මගේ ප්‍රධාන කාරිය සංස්කෘති විප්ලවය ඉදිරියට ගෙන යාම! ඔහේලාට මං කියන දේ ඇහෙනව. නමුත් කිසිම ගැටලුවක් මේ වන තුරු විසඳිලා නෑ. මම සභාපති මා ඕට පොරොන්දු වෙලා තියෙනව සරත් ඍතුව පටන්ගන්න කොට මේ චිත්‍රපට සේරම සූදානම් කරනව කියලග ඔහේ කොහොමද මා ඕගෙ බලාපොරොත්තු සුන් කරන්නෙ?

බීජින් චිත්‍රපට ස්ටුඩියෝවේ ආපනශාලාව පිරෙන්ටම කණ්ඩායම් නායකයන් කැඳවන මම මට හැකිතාක් තද ස්වරයෙන් ඔවුන්ට කතා කරමි. මුළුතැන්ගෙයි කෝකියෝ නිහඬව කටපියාගෙන සිටිති. වෙලාව හවස දෙකහමාරය. මම කිසිවකුටවත් කෑමට යන්ට ඉඩ නොදෙමි. කෑම දීසි සීතල වේගන යයි.

මේක කෙරෙන්ඩ ඕනෑ කාරියක්. ඔහේ මේක කරන්ඩ ඕනෑ මම කියමි.

මට උදවු ඕනෑ මා ඕ මට පවසයි. ඔහු දකුණු දිග ෆුජියාන් බලා දුම්රියෙන් යන අතරවාරයේ මේ කාරණය කියන්ටම ගුවනින් බීජින් සිට ෆුජියාන් වෙත මා කැඳවාගනියි. සේරම කටයුතු හොඳින් නේදැයි මම ඔහුගෙන් අසමි. ඔහු සිනාසෙයි. ළඟ දී මම කියෙව්වා ”දීර්ඝ වෙන්වීම”කියන ටෑන් කවිය. ඒ ගැන මගේ අදහස් ඔබත් සමඟ බෙදා හදාගන්ඩ මං කැමතියි.

මම තොල් අතරට ගලා එන අප්‍රසන්න වදන් පෙළ නවතාගනිමි.

ඒ කවිය මතකනෙ? ඔහු අසයි. ලී කියන ටෑන් අධිරාජයා ගැන. තමන්ගෙ පෙම්වතිය වුණු යෑන් ආර්යාව එල්ලා දමන්ට බල කෙරුණු ලී අධිරාජයා. ඔහුට සිද්ධ වුණා ඔහුගෙ ජෙනරාල්වරුන් සතුටු කරන්ඩ. උන් හිටියෙ කුමන්ත්‍රණයක් මැද. මොන තරම් හදවත කඩා වට්ටවන කවියක්ද? අසරණ අධිරාජයා උන් සමහර වෙලාවට එයාවත් එල්ලන්ඩ ඉඩ තිබුණා.

දුම්රිය ඉදිරියට ඇදෙමින් දර්ශනය මැකී ගෙන යයි. මා ඕ කතාව නවත්වා මා දෙස බලා හිඳියි. ඔහුගේ දෑස්වල පීඩාකාරී පෙනුමකි.

”දීර්ඝ වෙන්වීම” මගෙත් ප්‍රියතම කවිය මම පවසමි.

ඔහු තමාගේ තනියම කථනය යළිත් පටන්ගනියි. ඔහු කියන්නේ කුමක්දැයි වටහාගන්ට මට මඳ වේලාවක් ගත වෙයි. ඔහු විස්තර කරන්නේ තමාට දැනෙන පීඩනයයි. සංස්කෘති විප්ලවය මුහුණ දෙන බාධාවන් ගැන ඔහු තැවුලට පත්ව සිටියි. ලියු පිළිබඳ ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් අඩක්ම ඉන්නේ සැකයෙනි. අනුකම්පාව වර්ධනය වෙමින් පවතියි. ලියුගේ අදහස් මොනවාදැයි අත්දකින්ට ජනතාවට අවස්ථාවක් නොලැබුණේ වී නමුත් මා ඕගේ අදහස් වැඩ නොකරන බැව් ඔවුන්ට සහතිකය. ඔහු වඩාත්ම කෝප වී සිටින්නේ ඒ නිසාවෙනි.

විරුද්ධවාදීන් වැයම් කරන්නේ මගේ කොමියුනිස්ට් සිහිනය සැබෑ වීම වළක්වන්ට. ඔහුගේ ස්වරය දැඩි වන අතර ඔහුගේ දෑස් රැඳෙන්නේ දුම්රිය මැදිරියේ සීලිම මතය. බුද්ධිමත්තු ලියුගේ හුරතල්ලු. ජනතාවට සේවය කිරීම ගැන ඔවුන්ට වගේ විත්තියක් නෑ. ඒ ගොල්ලො සුදු කබා ඇඳගෙන පරීක්ෂණාගාර ඇතුළෙ හැංගෙනව. අන්තිමේදි ජාත්‍යන්තර ප්‍රසිද්ධිය හොයාගෙන මාතෘ භූමිය අතහැර යනව. ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙ භක්තිවන්තභාවය තියෙන්නෙ ලියුට. උන්ට සල්ලි සපයන තාත්තා වෙලා ඉන්නෙ ලියු. මට දැන් පරණ කොල්ලන් ගැනත් සිතන්ඩ වෙලා තියෙනව. උන් මට පස්ස හරෝල. ඒ ගොල්ලො යුද අභ්‍යාසයක් කැඳවල තියෙනව - නමුත් මට නම් පෙනෙන්නෙ කුමන්ත්‍රණයකට අර අඳිනව කියල.

මාතෘකා