අතහැර දමාපු ආත්ම

 ඡායාරූපය:

අතහැර දමාපු ආත්ම

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මා ඕගේ මඟපෙන්වීම යටතේ තහනම් නගරයෙහි කළ චාරිකාව ගැන ෆෙයාලින් විසින් ”ජනතාවගේ සාහිත්‍යය” සඟරාවට ලියන ලද ලිපියල ජියෑන් චින් කියවන්නීය.

”අපගේ ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා මා ළඟින්ම සිටගෙනය. සොන්-නන්-හායි විලට උඩින් හැමූ සුළඟේ ශෝකී රාවය වැඩි වෙමින් පැවතුණි. අඩක් ජලය තුළ ගිලී ඇති පැරණි මකර යාත්‍රාවල ඔහු මට පෙන්වීය. යාත්‍රාවේ වලිගය පෙනෙන්නේ රකුසකු දිව එළියට දිගු කරගෙන සිටින්නාක් මෙනි. අපි ගැමි ජනතාවගේ විප්ලව ගැන සාකච්ඡා කෙළෙමු. ඔහු ඔවුන්ගේ වීරත්වය ගෙනහැර පාමින් කතා කරන්ට වන්නේය. ඔහුට සවන් දෙමින් සිටින සඳ මගේ මුහුණ පාසල් දැරියකගේ මෙන් විකසිතව තිබෙන්ට ඇතැයි සහතික වශයෙන්ම මට සිතුණි. මා සිටියේ පූර්ණ වශයෙන්ම මෝහනයකට පත්වය.

”මගේ සිතිවිලි අවදි කරමින් මා ඔහුට පැවසුවේ මෙතෙක් මා සිටියේ සර්ව අශුභවාදිනියක හැටියට බවය. ඔහුගේ ඉගැන්වීම තුළ වසර ගණනාවක් පුරා මසිතෙහි ලැඟුම්ගෙන සිටි අන්ධකාරය නමැති හිම තට්ටුව දිය වී යනු මට දැනෙන්ට විය. මට සැහැල්ලුවක්ද උණුසුමක්ද දැනුණි. දිගු කලක් අතරමංව සිටි යාත්‍රාවක් ආරක්ෂිත වරායකට සේන්දු වන්නාක් වැනි හැඟීමක් මහදට දැනුණි. සභාපතිතුමා ප්‍රාකාර දෙසට යොමුව තිබුණු සිය දෙඇස ඒ දසුනින් ඉවතට ගත්තේය. අපගේ නෙත් එකට ගැටුණි. මගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ මොහොතෙහි සිය සිතිවිලි පේ‍්‍රමය කෙරෙහි යොමුව තිබුණු බවය. අප ජීවත් වුණේ පේ‍්‍රම කරන්ට ඉඩක් නැති අසීරු අවුල්සහගත කාලයක. යුද්ධයෙනුත් වෛරයෙනුත් අපේ ආත්මයේ රුධිරය වියළා දැම්මා. බලාපොරොත්තු විරහිතභාවය නැති කර දමන්නෙ මගේ මතකයෙනුයි. උඩ තියෙන අහසත් යට තියෙන පොළොවත් ගැන කල්පනා කරද්දි මට මතක් වෙන්නෙ විප්ලවය උදෙසා ජීවිතය පූජා කළ මගේ ආදරණීය ජනතාව. හැමදාම මගේ ලෝකය පටන්ගන්නෙ ඔවුන් මා වෙත පරාවර්තනය කරන ආලෝකයෙන්. ආලෝකය ෆෙයාලින්... ඒ ආලෝකයෙන් තමයි දරුණු ශීත කාලයේදීත් ගිම්හානයක් එන බව මට මතක් කර දුන්නෙ.”

නෑ. තහනම් නගරයෙ ඉන්න අනියම් භාර්යාවන්ගෙ ගොඩට මම එකතු වෙන්නෙ නෑ. සඟරාව වසා තබන විට ජියෑන් චින් දත්මිටි කන්නීය. මං උන්ට අයිති වෙන්නෙ නෑ, අතහැර දමාපු ආත්ම. දිලිසෙන පදක්කම් ස්ත්‍රෝත්‍ර ගායනා ගලින් නෙලාපු ස්තම්භ. මේ සේරම ඒ අතහැර දමාපු ආත්මවලටයි අයිති වෙන්නෙ. මං ඒවා පයිසෙකටවත් මායිම් කරන්නෙ නැහැ. මේ තෙතමනයට මා කැමති නැහැ. මට ආශාවක් තියෙන්නෙ දීප්තිමත් උණුසුම් ආලෝකයට. මළ ගෙයක තියෙන සීතල මගේ හමේ සිදුරුවලින් ඇතුළු වෙන්ඩ මං ඉඩ තියෙන්නෙ නෑ. මා ඕට උපදංශ හැදී ඇති බැව් මට දන්වන්නේද කෑන් ෂෙන්ය. යළිත් වරක් කෑන් ෂෙන්. මම වියරු කෝපයෙන් හිරි වැටී සිටිමි. ඔහුගේ එළු රැවුළ දෙසත් රත්තරන් මාළුවකුගේ වැනි නෙත් යුගල දෙසත් මම බලා සිටිමි.

ඉවසා දරාගෙන සිටීම තමයි ජයග්‍රහණයේ යතුර. ඔහු මට මතක් කර දෙයි. මං ඔබට දොස්තර කෙනෙක් හමු වෙලා පරීක්ෂා කරවාගන්ඩ පිළිවෙළක් යොදන්ඩද? ඒ කියන්නෙල එතකොට සැක හැරම.... ”

කළු තීන්ත තැවරුණු ඔහුගේ ඇඟිල්ලෙන් මගේ සිරුරේ හැම රුධිර නාලයක්ම තෙරපනු ලබයි.

මැඩම් ඔබතුමියට මතක් කරන්ඩ පුළුවන්ද?

එසේය. ඇයට මතකය. මහජන ශාලාවේ පවත්වන ලද රාජ්‍ය රාත්‍රි භෝජන සංග්‍රහයකින් පසුවය. ඔවුන් අවුරුදු ගණනාවක් තුළම එකට සිට නැත. මා ඕ සිටියේ සතුටු මනෝභාවයකිනි. සියලුම ප්‍රාන්ත්‍ර රාජ්‍යයන්හි ආණ්ඩුකාරවරු තම තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන්නටත් ස්වකීය නායකයා බැහැ දකින්ටත් පැමිණ සිටියහ. මෙම දර්ශනය ඔහුට සිහිපත් කෙළේ පැරණි රජ පෙළපත්වල අධිරාජයන් සිංහාසන මස්තකප්‍රාප්ත වී ස්වකීය මැති ඇමතියන් ඉදිරියේ පෙනී සිටි අවස්ථාවකි. දිව්‍යලෝකයේ විප්ලවවාදී පුත්‍රයා. කටයුතු හොඳින් කෙරීගෙන යයි. හැම පළාතක්ම බීජින් නුවර හා බැඳී ඇත්තේය. ඔහු කෙරෙහි වන භක්තිය අතිමහත්ය. ස්වකීය ජනතාවගේ හදවත් තුළ ඔහු බුදු බවට පත්ව ඇත්තේය. ඔහු මෙම වන්දනාවට ඉඩ සලසා දුන්නේ ජනතාව ඉදිරියේ පෙනී සිටීම හැකිතාක් සීමා කිරීම මඟිනි. ඒ වූකලී බලයත් භීතියත් ඇති කිරීම උදෙසා අනුගමනය කරන ලද පැරණි උපක්‍රමයකි. ඔහු ජනතාව ඉදිරියෙහි පෙනී සිටි හැම අවස්ථාවකදීම සිය මුහුණ සඟවාගන්ටද කතාව හැකි තාක් කෙටි කරන්ටද එද නොපැහැදිලිව කරන්ටද වගබලාගත්තේය රැස්වීම්වලදී ඔහු තම අදහස් කිහිපයක් එළියට දැම්මේය. එද වචනයකින් දෙකකින් පමණි. මුහුණේ ගුප්ත සිනාවකි. අතට අත දෙන්නේ ඉතා දැඩිවය. ඒ බලවත් හැඟීමක් ජනිත කරවන්ටය. ඔහුට කිසිම දෙයක් ගැන හිත කරදර කරගන්ට හේතුවක් ඇත්තේම නැත.

සියලුම අමුත්තන් පිටව ගිය පසු ජියෑන් චින් අතින් අල්ලාගෙන මා ඕ රාජකීය මුළුතැන්ගෙය අතරින් ගමන් කරන්ට වන්නේය. අපි ගිහිල්ලල කෝකියන්ටයි කාර්ය මණ්ඩලයටයි ස්තුති කර එමු. ඔවුන් ආපසු දම් වර්ණාලෝක මණ්ඩපය දෙසට ගමන් කරද්දී ඔහු තුළ දැඩි ස්නේහයක් උපනි. මණ්ඩපයේ බටහිර කොනට ඇය කැඳවාගෙන ගිය ඉක්බිතිව දෙදෙනා එහි වූ කුටියෙහි තනි වූහ.

ඔහු පසුපසින් යන අතර ඇය වැයම් කෙළේල තම හැඟීම් කෙරෙහි යොමු නොවන්නටය.

මේ කාමරය පෙනුණේ අනවශ්‍ය තරමට විශාලවය. රළ නැගෙන ඔපමට බිත්තිය මතුයෙහි රෝස සහ කහ ලිලී මල් පැහැය පැතිරී තිබුණි. මා ඕ සමඟ එතුළ තනිව සිටින ඇයට අමුත්තක්ද නොසන්සුන්කමක්ද දැනුණි. සෝපාව මත හිඳගත් ඔහු අත වනා ඇය තමා වෙතට කැඳවීය. මඳ වේලාවකින් පසුව ඇයට දැනුණේ නුහුරකි. තමාට යන්ට ඉඩ දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. ඔහු ක්‍රියා කෙළේ මවිතයට පත් වූ කලෙක මෙනි. ඇය සමඟ කතා කරන්ට අවශ්‍ය බැව් පැවසූ හෙතෙම නවතින්නැයි ඇගෙන් ඉල්ලා සිටියේය. ඉනික්බිතිව දෙදෙනා අතර වූල නිහැඬියාව බිඳින අදහසින් ඇය ඔහුගේ ගමන්බිමන් ගැන විමසා සිටියාය.

මාතෘකා