සකල සැප සම්පත් මැද හුදෙකලාව

 ඡායාරූපය:

සකල සැප සම්පත් මැද හුදෙකලාව

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

අපි චීනය දිනා ඇත්තෙමු. ඒ අතර තහනම් නගරයේ වාසයටද පැමිණ ඇත්තෙමු. තහනම් නගරය කියන්නේ නගරයක් තුළ වන තවත් නගරයකි. රජයේ කාර්යාලවලින්ද තේජස්වී මාළිගා පද්ධතියකින්ද හෙබි උස් ප්‍රාකාරවලින් වට කරන ලද සුවිශාල උද්‍යානයකි. අප වාසය කරන්ට තෝරාගත් මාළිගය සැලසුම් කර ඇත්තේ මින් රජ පෙළපත අවධියේදීය. 1368 වසරේදී ගොඩනැඟීම ආරම්භ කළ මෙම මාළිගයේ ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇත්තේ 1644 වසරේදීය. එහි වහලයට ඇත්තේ රත්තරන් උළුකැටය. ස්තම්භයන් දැවයෙන්ද බිත්ති තද රත්පැහැ ගලින්ද නිමවන ලද්දේ විය. එහි ඇති සුවිශාල සැරසිලි සාමාග්‍රියද දීර්ඝ චිරජීවනයද තේමා කොට නිර්මාණය වී ඇත්තේය. ගෘහනිර්මාණ ශිල්පයේ උත්කෘෂ්ඨභාවයද විස්තාරයන්හි සූක්ෂ්මතාවද හේතුවෙන් මෙම මාළිගය විශේෂයෙන් කැපී පෙනෙයි.

සිය කැබිනට් මණ්ඩලය ජනරජයක් පිහිටුවීමේ කටයුතු සූදානම් කරන අතර මගේ ස්වාමිපුරුෂයා ෂොන්නන්-හායි විලෙහි ඇති දූපතක පිහිටි ස්වකීය නිවාසය තුළ විවේක සුවයෙන් හිඳින්නට වැයම් කරමින් සිටියි. ඉඩකඩ ඇති සුවිශාල කාමරවලින් යුතු මේ නව වාසස්ථානයට පුරුදු වීමට ඔහුට සති ගණන් ගත වන්නේය. අස්වැන්නේ උද්‍යානය නමැති මෙම ගොඩනැඟිල්ලේ සීලිම පිහිටා ඇත්තේ ඉතා උඩිනි. ඔහු එය සලකන්නේ බාධකයක් හැටියටය. ගොඩනැඟිල්ල තුළ ඇති අවකාශය කොතරම් විශාලදයත් හැම දොරටුවක් ළඟම මුර භටයන් සිටියද ඔහුට දැනෙන්නේ භීතියකි. අන්තිමේදී විවිධ කාමරවල නැවතී සිටීමෙන් ඉක්බිතිව ඔහු වඩාත් නිස්කලංක ගරුගාම්භීරතාවෙන් අඩු වඩාත් සරල ක්‍රිසෙන්තිමම්සුගන්ධ කන්තෝරු කාමරයට මාරු වෙයි.

මා ඕ දොරට කැමතිය. එය මුහුණලා ඇත්තේ දකුණු දිසාවටය. දොරවල පනේල පළල්ය. පනේල සීලිම තෙක්ම උසය. අලුත් කාමරය තුළට ස්වභාවිකව ජනිත වන ආලෝකයට මා ඕ කැමතිය. රුසියානුවන්ගෙන් ත්‍යාගයක් හැටියට ලැබුණු අතිසුඛෝපභෝගී කුලිච්චම සහිත සෝපාවන් එවා ඇත්තේ අගමැති ශව් එන්-ලායි විසිනි. මීට කලින් කිසි දිනෙක මා ඕ එවන් සෝපාවක හිඳගෙන නැත. ඔහුට දැනෙන්නේ සුවපහසුවක් නොවේ. ඔහුට එහි සිනිදුවට හුරු විය නොහෙයි. ඔහුට දැනෙන්නේ ගිලී සිටින්නාක් වැනි හැඟීමකි. වැසිකිළිය ගෙන දෙන්නේද එවන් හැඟීමකි. ඔහු කැමති බල්ලකු වගේ ඇන තියාගෙන ඉන්නටය. සෝපාවන් අමුත්තන් උදෙසා වෙන් කර තබන ඔහු තමා වෙනුවෙන් පරණ තාලයේ මාවේවැල් පුටුවක් ගෙන්වා ගනියි. එළියේ ඇති ඉඩකඩ විසිත්ත කාමරය උදෙසාය. පුස්තකාලයකට හරවා ඇති එහි බිත්ති තුනක් අයිනේ සීලිම දක්වාම ගොඩගැහෙන පොත් අසුරා ඇත්තේය. ගෘහභාණ්ඩ කෙරෙහි ඔහු තුළ උනන්දුවක් ඇත්තේ නැත. එහෙත් අධිරාජ්‍ය නගරයෙහි හැම ගෘහ භාණ්ඩයක්ම කපුරු දැවයෙන් තනා ඇති බැව් හේ දන්නේය. කපුරු දැවය හුස්ම ගනිමින් දීර්ඝ කාලයක් ජීවත් වන බවට ප්‍රසිද්ධියක් ඇත්තේය. මෙකී ලීයෙන් ගෘහභාණ්ඩ නිමවූ කල වුව එහි මිහිරි සුවඳ දිගටම රැඳී පවතිතැයි විශ්වාසය කෙරෙයි.

අතින් බඳින ලද මුල් පිටපත් දිග රාක්ක මතුයෙහි තබන ලද්දේ වෙයි. කාමරයේ මැද අඩි හතර අට ප්‍රමාණයේ මේසයකි. මේසය මත බුරුසු පෑන් කට්ටලයක්ද තීන්ත බුජමක්ද තේ බොන පූකුරුවක්ද අළු බඳුනක්ද වෘද්ධි දර්ශකයක් හෙවත් ලොකු කර බලන කණ්ණාඩියක්ද තබා ඇත. ඇතුළු කාමරය මා ඕගේ නිදන කුටිය හැටියට යොදා ගැනෙයි. එහි බිත්ති අළු -සුදු පැහැයෙනි. තිර රෙදි දුහුවිලි වර්ණයද මුසු වයින් පැහැයෙනි. බෝට්ටුවක හැඩය ගත් ඇඳකි. එහි එහාට මෙහාට වෙනස් කළ හැකි පොත්කෝෂයන්ය. පිටත වසර තුන්සියයක් පැරණි පයින් ගස්ය. ඒ තුරුගොන්නෙහි සිතිජය දෙසටම පැතිර යන සුවිසල් ශාඛාවන්ය. හුනුගලෙන් තැනුණු ටෙරසයෙන් එහා දිස් වන්නේ ෂොන්-නන්-හායි විලේ අත්තකි. එහි වතුර තණකොළ තරම් කොළ පැහැ ගනියි. සුනඛ මුහුණු ඇති මත්ස්‍යයෝ නෙලුම්පත් යට එක්රොක් වෙති. වම් පසින් ඇත්තේ මෑතදී සකසා අවසන් කරන ලද අලුත් එළවළු පාත්තියකි. උයන කෙළවර දක්නට ලැබෙන්නේ ඉත්ත වැල්වලින් වැසුණු ආරුක්කු සහිත ගල් දොරටුවකි. ඉත්තවැල් යටින් ඇති මඟ දිවෙන්නේ දැන් ජියෑන් චින් ජීවත් වන නිශ්චලත්වයේ උද්‍යානය වෙතය.

නිශ්චලත්වයේ උද්‍යානය අස්වැන්නේ උද්‍යානයෙන් ආරක්ෂා කරන ලද්දේ වුවද එයින් වෙන්ව ඇත්තේය. ජනතාව ඉදිරියෙහි අපි එකට ජීවත් වෙමු. එතෙකුදු වුවත් ඔහුගේ නිවාසයෙහි සිට මගේ නිවාසයට දිවෙන මඟ කොතරම් දීර්ඝ කාලයක් පාවිච්චි නොකෙළේද යත් ඒ මත පෙඳපාසි පවා බැඳී තිබෙනු දැකිය හැක. වසන්තයට පසුව ඇතුළු වන දොරටුව තුරුපත්වලින් ඇහිරෙයි. මේ නිශ්චලත්වයේ උද්‍යානය යනු මින් අධිරාජ්‍යයාගේ ප්‍රියතම අනියම් බිරිඳ වූ සියාන්ෆෙයි ජීවත් වූ නිවාසයයි. සියාන්ෆෙයි ආර්යාව සිය චර්මයෙහි වූ ස්වභාවික සුවඳ හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි කාන්තාවකි. අධිරාජිනිය විසින් ඇයට වස දෙන ලද බවද පැවසෙයි. ඇය පිළිබඳ ස්මරණය සුරකිනු උදෙසා එය නිත්‍ය වශයෙන්ම හිස්ව තබන්ට අධිරාජ්‍යයා විසින් නියෝග කරන ලද්දේ වන. මෙම ස්ථානයටත් එහි ගෘහ භාණ්ඩ සහ අලංකරණවලටත් මම ප්‍රිය කරමි. මෙම උද්‍යානයෙහි ඇති වනගත ස්වරූපයට විශේෂයෙන්ම ගලා හැළෙන ස්වභාවික දියඇලි දෙකට මම මහත් සේ ආදරය කරමි. ගෘහ නිර්මාණ ශිල්පියා විසින් මෙම නිවාසය නිමවා ඇත්තේ දියඇලි දෙක මැදිවන්නටය. මගේ කවුළු එහායින් දර්ශනය වන්නේද ඝනවට වැඩුණු උණ බටපඳුරුය. පුරහඳ ඇති රාත්‍රී කාලයන්හි මෙඋයන අභිරමණීය බිම් කඩක්මෙනි.

එහෙත් මගේ මුළු ජීවිතයටම මේ තරම් නරක කලක් මට උදා වී තිබුණේ නැත. මේ සකල වස්තු සම්භාරය මැද මා ඉන්නේ හුදකලාවය.

මම රාත්‍රියේ දකින නපුරු සිහින සමඟ තනි වී සිටිමි.

මාතෘකා