‘පෑළදිග කුටියේ ප්‍රේම බන්ධනය’

 ඡායාරූපය:

‘පෑළදිග කුටියේ ප්‍රේම බන්ධනය’

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

යූගේ සංගීතයෙහි වන ශෘංගාරෝන්මාදය මා පොලඹවනසුලුය. ඔහු සමඟ එකට සිටීම යනු සිහිනයක් තුළ සිටීමක් වැන්න. පෙනුමෙන් ඔහු කඩවසම් නොවෙයි. ඔහු උසත් නැත. ශක්තිමත්ද නැත. ඔහුට පුළුල් නළල් තලයකි. ඔහුගේ හක්ක වඩාත්ම හතරැස්ය. එහෙත් ඇහි දෙබැම යට දීප්තිමත් නෙත් යුගලයකි. ශ්‍රේෂ්ඨ කලාකරුවකු සේ ඔහු මා ප්‍රබෝධමත් කරන්නේ වෙයි. ඔහුත් මාත් දෙදෙනම ශාන් ඩොන් පළාතෙන් වන හෙයින් අපගේ ළමා කාලයට අයත් වන සංගීත තනු අප මනසේ ප්‍රතිරාව දෙන්නේය. හැම දිනෙකම තේ පානයට මම ඔහුට ආරාධනය කරමි. ඔහු අන්තයටම නිහතමානීය. එක පෙළට කිහිප වරක්ම ස්තුතියි නොකියා ඔහු හිඳගන්නේ නැත. අදහස් කියන්නැයි මා නියෝග කළහොත් මිසක ඔහු කට අරින්නේ නැත. නිතරම සටහන් පොතක් රැගෙන යන හෙතෙම මා කතා කරන විට එය විවෘත කරයි. ඔහු සිටින්නේ මා ගැන බලන්ටය. ඔහුගේ මෙම හිතට ගැනිල්ලට මට හිනායයි. මෝඩයි නේද? බිත්තියේ ගසා තිබෙන ඡායාරූපයක් සේ මා නොසලකන්නැයි මම ඔහුට කියමි. මගේ කැමැත්ත ඔහු විනෝදයෙන් සිටිනු දකින්ටය. මා සමඟද විනෝද වනු දකින්නටය. මේ වන විටත් මගේ ජීවිතය ඕනෑවටත් වඩා විඩාවට පත්ව ඇත්තේය. මට නිස්කලංක වන ක්‍රමයක් ගැන හිතන්ඩ. අද? අපි වැඩ කටයුතු ගැන කතා නොකර ඉඳිමු. අද? අපි අනන් මනන් කතා කරමු.

මා සමඟ ලිහිලෙන් සුවපහසුවෙන් හිඳින්ට ඔහුට සති ගණනාවක් ගත වෙයි. අන්තිමේදී ඔහු තමාගේ ප්‍රකෘති තත්ත්වයට පැමිණෙයි. තේ පානය කරන අවස්ථාවේදී මා වෙනුවෙන් වාදනයක් කරනු සඳහා ඔහු එක එක වර්ගයේ සංගීත භාණ්ඩ ගෙන එයි. තත් දෙකේ වයලීනයක් බටනලාවක් තත් තුනේ ගිටාරයක්. ඔහු නම් මහත්ම සම්පතකි. අප කතාබහෙහි යෙදී සිටින අතර ඔහු ගොයම් කවි මුමුනයි. බෙර තනුද කාන්තාරයේ සුළඟ අනුකරණය කරන පැරණි ඔපෙරා ගීතද සෙමෙන් ගායනා කරයි. ඇතැම් විටෙක මම ඔහු හා එක් වෙමි. මම ”පැලදිග කුටියේ ෙප්‍ර්ම බන්ධනය” නමැති ඔපෙරාවේ ගායන වෘන්ද ගායනා කරමි. විහිළුවට එකිනෙකාට වද දෙමින් අපි සිනාවකට කඩා හැළෙමු. ඔහුගේ කටහඬ දුර්වල නමුත් ගායනය මනහරය එතුළ ඇත්තේ ඔහුගේම අනන්‍යතාවයි ඔහුගේම රීතියයි. ඔහුගේ මුළු ආත්මයම සංගීතයෙහි පෙඟී ඇත්තේය. ශිෂ්‍යාවක මෙන් මම ඔහුගෙන් ප්‍රශ්න අසමි. එවන් අවස්ථාවන්හි දී ඔහුගේ ආත්ම විශ්වාසය බලවත්ය. ඔහු තමා ලියා ඇති පොත් මා වෙත ගෙන එයි. ශාන්-ඩොන්හි භේරිවාදන ගීත එකතුවක් ජියා ඕ-ඩොන්හි ජනගී එකතුවක් ශාන්-බෙයි වනාන්තරයේ ගීත සහ ඒක තන්ත්‍රි බන්ජෝවේ සම්භාව්‍යතා.

ඒ සොම්නස අතිමහත්ය. එතෙකුදු මට පූර්ණ වශයෙන් මගේ අදහස් ප්‍රකාශ කළ නොහැක. මගේ තරාතිරම ඔහු බිය ගන්වයි. හැම විටෙකම අප අතර දුරක් පවතියි. චීනයේ වෙසෙන හැම දෙනාටම මා මා ඕගේ ගැහැනියයි. කිසිවකුට මා සම්බන්ධයෙන් පෞද්ගලික සිතිවිලි තබාගන්ට අවසරයක් ඇත්තේ නැත. යූට තවත් සමීප වන්ට මා කැමති නමුත් මම වුවමනාවෙන්ම ඉන් වැළකෙමි. අපගේ සම්බන්ධතාවයේ නරකම කොටස නම් ඔහු සේවකයකු හැටියට සිතාගෙන මට පිළිතුරු දීමය. ඔහුගේ සානුරාගික සංගීතයට සවන් දෙන කල මට තනිකමක් දැනෙන්නේ ඒ නිසාය.

ඔහු දිගටම පැමිණෙන්ට වෙයි. හැකිතාක් දුරට මා ඕ ගැන නොකියන්ට මම වෑයම් කරමි. ඇත්ත වශයෙන්ම වැඩකටයුතුවලින් පසුව මා කරන්නේ කුමක්දැයි ඔහු මගෙන් විමසන්නේ නැත. ඇතැම් විටෙක හේ කුතුහලාත්මක වෙයි. එතෙකුදු ඔහු කිසිවක් විමසන්ට ඉදිරිපත් වන්නේ නැත. ඇතැම් විට අපට කතා කරන්ට වචන නැති වන අවස්ථාද ඇත. එවිට ඔහු ඉවත්ව යන්ට හේතුවක් දක්වයි. ඔහු අතිශයින්ම සංවේදීය. කිසිවක් මුහුණට කියන්ට අසමත්ය. මවිසින් ”ලී ඉරීම” යනුවෙන් හඳුන්වනු ලබන කාරිය අපි දිනකට කිහිප වතාවක්ම කරමු. ඇතැම් විට මහජනයා ඉදිරියේම මා හඬ නඟා යූට කතා කරනු අසන ජනතාව අවුලට පත් වන්නාහ.

ඔබ කිසිම වෙලාවක මට සවන් දෙන්නෙ නෑ යූ හුයි-යොන්. ඇය පිස්සුවෙන් මෙන් බෙරිහන් දෙන්නීය. අපි දෙන්නා දෙපැත්තට වෙන දවසකුත් උදා වේවි. ඒ ගැන නම් මට සැකයක් ඇත්තෙ නෑ.

ඉක්මන් කර දොර වෙත යන ඔහු පිටත්ව යන්නේය. ඇය තරහෙන් සිටින අවස්ථාවල ඔහු වචනයක්වත් කියන්නේ නැත. පසුව ඔහු බීජින්හි ඔපෙරා රඟහලේ පිටුපසට යන්නේ හඬමිනැයි මිනිස්සු ඇයට පවසති. ඔහුට නිවසක් ඇත්තේ නැත. ඔහු ජීවත් වන්නේ වේදිකාව පිටිපස බඩුමුට්ටු තබන ඉඩක් ඇති හරියේ බිමය. තමා ජීවත් වන්නේ මා ඕ ජියෑන් චින් මැතිනියට සේවය කිරීම උදෙසා පමණක් බවට ඔහු විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්ද කර ඇත්තේය.

ඒ හේතුවෙන් සිය බිරිය සමඟ ඇති සම්බන්ධයට කුමක් වුවත් ඔහුට කමක් නැත. ජියෑන් චින්ගේ සිත දිනාගැනීම හැරුණු කොට අන් කිසිවක් ඔහුට ඕනෑ නැත. ඔහු ඇගේ කාරුණිකභාවයට සංගීතයෙනුත් තම ජීවිතයෙනුත් වන්දි ගෙවන්නේ එයාකාරයටය. ඔහුගේ සෞඛ්‍යය පිරිහෙමින් පවතියි. ඔහුගේ ආමාශයේ බරපතළ රෝගාබාධ ඇති අතර අක්මාවේද වේදනාවකි. එහෙත් ඔහුට ඒ ගැන වගක්වත් නැත. කිසිවකුට දන්වන්නේද නැත. ඔහු දිවා රාත්‍රි දෙක්හිම පුහුණුවීම් කරවයි. ඔහුගේ ආහාර ගැනීමද පිළිවෙළකට නොවේ. වෙලාව ගැන නිනව්වක් ඇත්තේම නැත. ඔහු නිතරම කෑම වේලාව ප්‍රමාද කරමින් අහිංසක නළු නිළියන් හාමතේ තබයි. ඔහු නිසා කැෆිටේරියේ - අවන්හලේ - සේවකයන්ටද බලා හිඳින්නට සිදු වෙයි. යූ දිවා ආහාර විවේකය දෙන්නේ සවස හතරටය. දැන් එය පුරුද්දක් බවට පත්ව ඇත්තේය.

ඇයටද ඒ කිසිවකට හේතුවක් දැක්විය නොහෙයි. හිත රිදුණද ඕ යූ එන තෙක් බලා හිඳියි. මේ සියල්ල දිගටම ඉවසා සිටින්ට බැරි වූ තැන ඇය කරන්නේ යූගෙන් ”ස්වයං විවේචනයක්” ඉල්ලනු සඳහා - සිය ලේකම්වරිය ඔහු වෙත පිටත් කර යැවීමය. මා ඕ මැතිනිය තමා කැඳවන බැව් ඔහු වටහා ගනියි. ඔහු කිසිම කඩදාසියක් බාර දෙන්නේ නැත. තමා කරගෙන යන වැඩවල ප්‍රගතිය පිළිබඳ ටේප් පටයක් යවයි. නිතරම වාගේ එහි අන්තර්ගතව ඇත්තේ අලුතින් නිර්මාණය කරන ලද ගීතයකි. එවැනි එක ගීතයක් නම් කර තිබුණේ ”මා ගයන්නේ නැතිනම් මට සතුටක්ද ඇත්තේ නැත” යනුවෙනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා