මා ඕගේ දියණිය වීම ඇයගේ ලොකුම භාග්‍යයයි

 ඡායාරූපය:

මා ඕගේ දියණිය වීම ඇයගේ ලොකුම භාග්‍යයයි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

මවගේ හුස්ම හිර වෙලාය. ඇය කහින්නට පටන්ගනියි.

දියණිය වතුර කෝප්පයක් ගෙනැවිත් එය මවට දෙන්ට යයි.

හිතක් පපුවක් නැති එකී! මව ඇය ඉවතට තල්ලු කරල බෙරිහන් දෙන්ට වෙයි. පපුවට ගහගන්ට වෙයි. හිතක් පපුවක් නැති එකී!

ඔයා මට මාම, නැන්දම්ම, ඉදිරිපත් කරල නෑ. ඒ ගොල්ලොල කවුද?

දියණිය පිළිතුරක් දෙන්නේ නැත.

නාහ්!

මං ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්නෙ නෑ. මං දන්නව ඔයා මට නිග්‍රහ කරනව කියල.

එහෙම නම් ඔයාගෙ මංගල්ලෙදි මට විරුද්ධ වෙන්ඩ සිද්ධ වෙනව.

මංගල්ලයක් නෑ අම්මෙ අපි..... දියණිය ඉවතට හැරී ජනේලයෙන් පිටත බලාගෙන සිටියි. අපි දැනටමත් කසාද බැඳල. ඔයාට බලන්ඩ ඕනැ නම් මං ලියාපදිංචි කොපිය දෙන්නම්.

ගල්ගැසුණු මව නැ‍ඟී සිටියි. බිත්තිය දෙසට යන ඕ බිත්තියට ඔළුවෙන් ගහගන්ට වෙයි.

අපි හෙට වුනින්වලට යනව. දියණිය ඇගේ මව දෙස බලාගෙන කඳුළු සලමින් වෙව්ලන්ට වෙයි. මඳ වේලාවකට පසුව මේ දර්ශනය දරාගෙන සිටිනු බැරි තරම්ය. වචනයක්වත් කතා නොකර දියණිය පිටව යන්නීය.

මව බෝලයක් මෙන් වකුටු වෙමින් බිත්තියේ කොනට ඇ දී යයි. අනතුරුව ඇය බිම දිගේ බඩගාගෙන ගොස් සෝපාවක් මතට නැග කොට්ටයක් බදාගනියි. ඇයට හුස්ම ගන්ට අපහසුය.

නාහ් සම්බන්ධයෙන් දෑස් පියාගෙන සිටින්ට මම වැයම් කරමි. නමුත් මට එය කළ නොහැක. පසුතැවිල්ල මගේ හදවත කාගෙන යයි. ඇගේ සපත්තු පටි ගැටගහන්ට කෑම ටික බැඳ දීල සාය අන්දාල පුංචි දැරියක හැටියට පිටත් කරන්ට තිබුණි නම්. උපන් දිනවල දී ඇගේ මිතුරු මිතුරියන් ගෙදරට කැන්දා උත්සව කරන්ට තිබුණි නම්. ඇය සමඟ බොහෝ වෙලා කතා කරන්ට ඇගේ කරදරවල දී ඇයට උපකාර කරන්ට තිබිණි නම්. මම කල්පනා කරන්ට වෙමි. දැන් ඒවාට හොඳටම ප්‍රමාදය. ඒ සියල්ල මගේ පාලනයෙන් ගිලිහී ගොස්ය. කසාදයක් බැඳගෙන වෙන්ව යන්ට හදන්නේ ඇගේ තනිකම නිසා නොවේද? ඇගේ බලාපොරොත්තු සුන්ව ඇති නිසා නොවේද? ඇයට අවශ්‍යව ඇත්තේ මට දඬුවම් කරන්නටය. ඇය තමාගේ අනාගතය - මගේ අනාගතය - විනාශ කරන අයුරු මට බලාගන්ට සැලැස්වීම ඇගේ අභිප්‍රායයි.

මා කල්පනා කළේ මා ඕගේ දියණිය වීම ඇයගේ ලොකුම භාග්‍යය කියාය... මගේ අම්මා කෙරෙහි මා තුළ වූ වෛරය මා මගේ දුව පිටින් යැව්වේද? මගේ අම්මා මා ගැන නොතකා සිටියාක් මෙන් මා මගේ දුව ගැන නොතකා සිටියාද? හොඳ මවක් වීමේ මගේ බලාපොරොත්තුව - මගේ මනෝරථය - මවිසින්ම අතහැර දමා ඇත්තේ වන.

මගේ හදවත හඬනු මට ඇසෙයි. මගේ දියණියගේ ආදරය ආපසු ලබාගැනීම උදෙසා සියල්ල අතහරින්ට මම කැමැත්තෙමි. එහෙත් මට එසේ කළ නොහැක. මම මා ඕගේ කටයුතු භාරගෙන සිටිමි. එය හරියට කොටියකුගේ පිටේ යන්නාක් වැනිය. මට උගේ පිටෙන් බහින්නට බැරිය. මා ජීවත් වන්නේ මා ඕ සතුටු කරන්නටය. මා ආත්මාර්ථකාමීය. මා හැදුණේ කවරකින්ද එය අතහැරදමන්ට මට බැරිය. මා ඕගේ ආදරය නැතිව මට ජීවත් වන්ට බැරිය. ඒ අරුතින් මා අනුකම්පාවට ලක් විය යුතු වෙයි. මම මගේම සංවේදනාවන්ගේ සිරකාරියක බවට පත්ව සිටිමි. මා වෑයම් කරමින් සිටියේ මේ අනුකම්පා උපදවන දුක්ඛදායක තත්ත්වය හා සටන් වදින්නටය. මම රුධිරාලේපිත වීරවරියක් වන්නෙමි.

එය නිවැරදි තැනට ආවේම නැත. දැන් මට මගේ පුංචි කෙල්ල නැති වෙන්ට යයි. මගේ බෙල්ලේ එල්ලුණු ඇගේ පුංචි දෑත. රාත්‍රියේ දී දනිපනි ගාගෙන ඇවිත් මගේ නිදි ඇඳට පැන්න හැටි. මට ඇය ආපසු ඕනෑය. මා කළ දේ ගැන සිතා මට පිස්සු හැදෙන්ට එනවාය. කුමක්ද සිද්ධ වුණේ? වෙන්ව යන හැම අවස්ථාවකදීම ඇය සිපගැනීම - මා ප්‍රතික්ෂේප කළේ කවර වරදකින්ද? තමාගේ භාවයන් - වේදනාවන් - මරා දමන්ට මා ඇයට උගන්වා ඇත. මා එසේ කළේ මට අහිමි මට වඩා හොඳ ජීවිතයක් ලබාගන්ට ඇය ශක්තිමත් කරනු උදෙසාය.

ඒක තමා කෙනෙකුගෙ දෛවය. මගේ අම්මා සිටියා නම් කියනු ඇත්තේය. කෙනෙකුට ජීවිතය ගෙන යන්ට තීන්දු වෙලා තියෙන ක්‍රම වෙනස් කරන්ට බැරිය. මා සිහින දකින්නේ මා ඕගේ ගැහැනිය හැටියට මැරුම් කන්ටය. ඒ මගේ අනුරාගයට අවනතව මා රඟපාන භූමිකාවයි. මා ඉප දී ඇත්තේම ඒ රංගනයෙන් ජීවිතයේ අවසානයක් දකින්නටය.

රංගශාලාවේ අන්ධකාරය හිස් ආසන පේළි භේරි නාදය සහ සංගීතය යන මේ සියල්ලෙහි එකමිතියෙන් මගේ නහර පිනායෙයි. මේ දවස්වල මගේ ජීවිතය ගෙවෙන්නේ බීජින් සහ ෂැන්හයි අතරයග නව කුසලතාවන් සෝදිසි කරමින්ද නිර්මාණයන්ට සුදුසු අමු ද්‍රව්‍ය සොයමින්ද මම දිගටම කාලය ගත කරමි. මගේ අවසාන අරමුණ වනුයේ උග්‍ර මා ඕවාදීන් බවට පත් කළ හැකි චරිත නිර්මාණය කිරීමය. මා මේ සියලූ කටයුතු උදෙසා කැප වන්නේ එකම අදහසක් සිතේ තබාගෙනය. ඒල මා ඕට මා නැතුවම බැරි කෙනකු බවට පත් වන්නටය. මා ඕගේ ආදරය දිනාගැනීම උදෙසා තවත් අයද මේ තරගයේම යෙදී සිටිති. මා වේගයෙන් ඉදිරියට යා යුත්තේය. මා ඕගේ අවසරයද කෑන් ෂෙන්ගේ හා ලින් බියා ඕගේ ආධාරයද ඇතිව මම අවශේෂ විනෝදාස්වාදන විධි සියල්ල තහනම් කරගැනීමට සමත්ව සිටිමි. මා වේදිකාව පුරවන්නේ මගේ සිතට අල්ලන ගැහැනුන්ගෙන් පමණි.

ඊයේ දින ”වරාය” නමින් යුතු නිර්මාණ ඛණ්ඩයක් නැරඹීමට මට අවස්ථාව ලැබුණි. මා එහි අන්තර්ගතයෙන් පැහැදීමට පත් වුණා පමණක් නොවෙයි. එහි සංගීත සැලැස්මෙන් විස්මයටද පත් වුණෙමි. අද උදේ ෂැන්හයි නගරාධිපතිවරයා වන චුන් -කුවියා ඕට දුරකතනයෙන් කතා කළ මම එහි සංගීත නිබන්ධකයා වන යූ හුයි-යොන් හඳුනන්නේදැයි විමසා සිටියෙමි. හැකිතාත් ඉක්මනට ඔහුගේ නිර්මාණ සටහන් ගොනුවම මා අතට පත්කරන්නැයි මම ඔහුට කීවෙමි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා