මගේ ජනතාව දිගුකල් දිනේවා!

 ඡායාරූපය:

මගේ ජනතාව දිගුකල් දිනේවා!

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

අපි පහළට බසිමින් සිටිමු. හදිසියේම හැඟීමෙන් මෝහනයට පත් වී දෝ මා ඕ නවතියි, ආපසු ද්වාරය දෙසට ගමන් කරයි. කඩිනමින් එහි දකුණු කොනට ගොස් ගරාදි වැටට හේත්තු වෙයි. තමාගේ කැප් තොප්පිය ඉවතට ගන්නා ඔහු දෑත විදහා හඬ නඟන්නට වෙයි.

මගේ ජනතාව දිගුකල් දිනේවා!

සභාපති මා ඕ වෙනුවෙන් පිහිවලින් හදපු කන්දක් මුදුනට නඟින්ට මම සූදානම්. කුවායි ඩා-ෆු එසේ කියන්නේ ඔහුට චුන් කුවියා ඕ මුණ ගැහෙන්ට මා ඕ ජියෑන් චින් මැතිනිය විසින් හමුවක් යොදා දුන් අවස්ථාවකදීය. ඔහුට කරුණු අවබෝධ කරවන්ට චුන් ක්වියා ඕට වැඩි කලක් ගත වන්නේ නැත.

කාලය මෝරන්නෙ කොයි වෙලාවෙද? කුවායි ඩා-ෆු විමසයි.

ඔබේ හදවතේ හඬට සවන් දෙන්ඩ මා ඕ මැතිනිය පිළිතුරු දෙයි. සභාපති මා ඕ අපට උගන්වන්නෙ මොකක්ද?

වල්පැළ මුලින්ම උදුරා දමන්ඩ.

එහෙම තමයි වෙන්ඩ ඕනෑ.

ලොකුම මුල හොයාගන්ඩ චුන් ක්වියා ඕ කියයි.

අපට කඩාගෙන යන්ඩ සිදු වෙනවා මා ඕ ජියෑන් චින් මැතිනිය හිස සලන්නීය.

1967 ජනවාරි 13 වැනිදා මධ්‍යම රාත්‍රිය. ජනතාවගේ මහා ශාලාවේදී මා ඕ උපසභාපති ලියු සමඟ උණුසුම් හමුවක සිටියි. ඊළඟ දවසේදී ලියු අත්අඩංගුවට ගන්නා ලදුව මුළු රැය පුරාම ඔහු රතු මුරකා භටයන් බාරයේ තබනු ලබයි.

එය ලියුගේ අවසානය නොවේය. එය ඔහුගේ බඩට ගසන ලද තද පහරකි. මා ඕගේ ලෝකයේදී කෙනකු නිරන්තර අවුලක සහ භීතියක රඳවා තැබීම සාමාන්‍ය පිළිවෙළයි. මා ඕ විසින් මුළු මහත් සංස්කෘති විප්ලව අවධියේදීම මා ඕ ජියෑන් චින්ට විශ්වාස කරන්ට පොලඹවන ලද්දේ තමාගෙන් පසුව චීනය උරුම වන්නේ ඇයට බවය. එහිලා සැඟවී ඇති කාරණය නම් මා ඕ විසින්, එම පොරොන්දුව ඩෙන් සියා ඕ පින් හා මාර්ෂල් යේ ජියෑන් යින් වැනි සතුරන් ඇතුළු තවත් බොහෝ දෙනකුටද දී ඇති බවය. ජාතියේ බලය කෙරෙහි ග්‍රහණයක් තමා සතු බැව් ඩෙන් විශ්වාස කරන්ට පටන්ගත් කල්හි මා ඕ කරන්නේ ඒ බලය අනෙකකු වෙත මාරු කිරීමය.

අන් හැම දෙනකු මෙන්ම මා ඕ මැතිනියද සිය සැමියාගේ උපක්‍රම ගැන දන්නීය. එහෙත් බලය පිළිබඳ උණ වැලඳී ඇති කාලය තුළදී තමා නම් ඒ තත්ත්වයෙන් ගැලවී ඇත්තේ වනැයි ඇය සිතන්නී. මා ඕගේ ගැලවීමෙහි ප්‍රධාන ක්‍රියාකාරී තැනැත්තිය හෙවත් බලය මෙහෙයවන්නිය තමා බැව් ඇය කල්පනා කරයි. ඇය ස්වකීය භූමිකාව රඟපාන්නේ ඒ අවබෝධය ඇතිවය. තමා දන්නවාටත් වඩා ඇය පරිත්‍යාග කරන්නී වෙයි.

මම නාහ් ගැන සැලකිලිමත් වෙමි. මිලිටරිය පාලනය කරන්ට මට උදවු වන්නැයි මම ඇයගෙන් ඉල්ලා සිටිමි. ඇය ජනතා විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය අවසන් කොට ඉතිහාසය පිළිබඳ උසස් පෙළේ උපාධියක්ද ලබාගෙන ඇත්තීය. එහෙත් නාහ් යනු පැළ වී දලු ලන බීජයක් නොවෙයි. ඇයට උදවු කරනු පිණිස මා ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී වූෆා - සියන්ට පෞද්ගලිකව හඳුන්වා දෙන මෙන් මම මාර්ෂල් ලින්ගෙන් ඉල්ලා සිටිමි.

“විමුක්ති හමුදාව” ප්‍රකාශනයේ ජ්‍යෙෂ්ඨ සංස්කාරකවරියක හැටියට නාහ්ට තනතුරක් ලබාදිය හැකිදැයි මම වූගෙන් විමසමි. එකී අනුග්‍රහය ලැබෙයි. නාහ් වැඩට යන්නීය. සති කිහිපයකට පසුව මගේ දුව මට කියා සිටින්නේ තමා ඒ රැකියාවෙන් වෙහෙසට පත්ව ඇති බවකි. මා කටේ කෙළ හිඳෙනකන් කතා කළත් ඇය වැඩට යන්නේ නැත.

ඉකුත් දෙසතිය තුළම නාහ් නිසා දුක් ගැනීම හේතුවෙන් මට නින්ද යන්නේද නැත. මා ඕගේ උපකාරය ඉල්ලා සිටියද ඔහුගේ මනෝභාවය ඇඹුල් වී ඇත්තේය. උපසභාපති ලියු කෙරෙහි ජනතාවගේ වෛරය දැල්වීමට තමා අපොහොසත් වීම හේතුවෙන් ඔහු බලාපොරොත්තු සුන් වුණු තත්ත්වයක. ලියුගේ ජනප්‍රියත්වය කුමන්ත්‍රණයකැයි මා ඕ සිතන්නේය. ප්‍රශ්නය ඉවරයක් කරන්ඩ පසුගිය වතාවේ අප එක් වුණ වේලේ මා ඕ පැවසුවේ එසේය. නාහ්ගේ අනාගතය ගැන ඔහුට කිසිම තැකීමක් ඇත්තේ නැත. තමාට උදවු කිරීම හෝ නාහ්ට උදවු කිරීම හෝ යන දෙකෙන් එකක් තෝරාගන්නැයි ඔහු මට කියා ඇත.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා