සභාපති මා ඕ දිගුකල් දිනේවා!

 ඡායාරූපය:

සභාපති මා ඕ දිගුකල් දිනේවා!

ජනතාව ලියු සමඟ එකඟ වනු මට පෙනෙයි. පිරිස තුළ කෙඳිරිලි හඬ නැඟී යයි. තරුණයෝ ඔවුනොවුන් අතරම වාද කරන්ට පටන්ගනිති. එකිනෙක කණ්ඩායම්වල නියෝජිතයෝ වේදිකාව මතට නැඟ සිය අදහස් දක්වන්ට ඉදිරිපත් වෙති. කථිකයන්ගේ ස්වරය වෙනස් වන්ට පටන්ගනියි. වැකියෙන් වැකිය ඔවුන් ප්‍රතිරාව කරන්නේ ලියුගේ වදන්ය. ඔවුහු පැහැදිලි ලෙසම ලියුගේ පැත්ත ගනිති.

මගේ රැලිය ආපසු කරකැවී ඇත්තේය. මණ්ඩලයේ අසුනක් මත හිඳගන්නා මම සන්ත්‍රාසයට පත්ව සිටිමි. ආධාර පතා මම බංකුවේ කෙළවරෙහි අසුන් ගෙන සිටින කෑන් ෂෙන් දෙස බලමි. නිහඬව ඉන්නැයි ඇඟවෙන බැල්මක් මවෙත හෙළන හේ සිය අසුනින් නැඟිට එළියට යයි. මඳ වේලාවකින් පසුව ඔහු ආපසු පැමිණෙයි. ඔහු මවෙත තුණ්ඩු කැබැල්ලක් එවයි. ”මා ඕ පැමිණෙමින් සිටිනවා.”

දැන් මට කොතරම් සහනයක්දැයි කෑන් ෂෙන් කියන්නට පෙරම මා ඕ තිරය ළඟ දර්ශනය වෙයි. මොහොතකින් ඔහු හඳුනාගනු ලැබෙයි. පිරිස ඉපිලෙති. සභාපති මා ඕ දිගුකල් දිනේවා...

හුස්ම අල්ලාගෙන මමද පිරිස සමඟ කෑගසමි.

මා ඕ කිසිවක් කියන්නේ නැත. ඔහු පමා වන්නේද නැත. ඔහු වේදිකාවේ වම් පස සිට අත්පොළොසන් දෙමින් දකුණු පසට ගොස් අවතාරයක් සේ අතුරුදහන් වෙයි.

මා ඕ ජියෑන් චින් මැතිනියට සහයෝගය ලැබෙන්නේ ඇගේ මිනිහාගෙන් බැව් මුළු පිරිසටම එකපාර මතක් කර දෙනු ලැබෙයි.

අගෝස්තු 10... ඇය සහ මා ඕ ඔහුගේ කන්තෝ්රු කාමරයේදී යළිත් හමු වෙති. රතු මුරකාභටයෝ නමැති සංවිධානයකට පිළිතුරු වශයෙන් තමා ලියුමක් ලියූ බැව් ඔහු ඇයට පවසයි. ඔබේ බළකායට මම අලුත් කණ්ඩායම් එකතු කරමින් ඉන්නවා. ඇයට වාඩිවෙන්නැයි පවසන ඔහු කියයි. මං ඔබට අත්තටු දෙනවා. මේ ශිෂ්‍යයෝ ක්වින්ගුවා විශ්වවිද්‍යාලෙ මධ්‍යම පාසලේ කට්ටිය. ඒ අය ඔබේ පොඩි දරුවන්ටත් වඩා බාලයි. ඔබේ පොඩි දරුවන් කරන දේවල් කරන්ඩ ඒ අයට බලාගෙන ඉන්ඩ බෑ.

රතු මුරකාභටයෝ මම ඒ නමට කැමතියි. ඒකෙන් පේන්නෙ ඔවුන්ට ධෛර්යය තියෙන බව. රතු විප්ලවයේ වර්ණය. මුරකාභටයෝ. ඒ කියන්නෙ ඔබතුමාගෙ ආරක්ෂකයො. ඔබතුමා ඒ අයට මොකක් හරි ලාංඡනයක් එහෙම දීල තියෙනවද?

ඔව් දීල තියෙනව. මගෙ අත් අකුරෙන් ”රතු මුරකාභටයෝ” කියල ලියාපු අතේ බඳින පටියක්.

මේ රතු මුරකාභටයන්ගේ නියෝජිතයන් ඔහුගේ පරීක්‍ෂාවට ලක් කෙරෙන උත්සවයට තමාටත් සහභාගි විය හැකිදැයි ඇය අසන්නීය. මම කැමතියි මගේ සහයෝගයත් ලබා දෙන්ඩ. ඔහු ඇය පිළිගන්ට සූදානම්ය. මං ඒක යොදාගෙන තියෙන්නෙ අගෝස්තු 18 වැනිදට ඔහු කියයි. මාත් එක්ක පෙනී හිටින්ඩ තියානමෙන් චතුරස්‍රයේදි සාම ද්වාරය ළඟදි.

1966 අගෝස්තු 18 වැනිදා උදේ. තියානමෙන් චතුරස්‍රය මිලියන එකහමාරක් වන ශිෂ්‍යයන් සහ කම්කරුවන්ගෙන් පිරී ඉතිරී ඇත්තේය. එය රක්ත වර්ණ ධජ සාගරයකි. මුළු සදා සාමයේ රුක් මාවතම රටේ හැම දෙසින්ම පැමිණ සිටින තරුණ ජනකාය විසින් අවුරාගෙනය. හැමදෙනාම මා ඕගේ අත් අකුරෙන් මුද්‍රිත ”රතු මුරකාභටයෝ” යනුවෙන් මුද්‍රිත අත් පටියකින් සැරසී සිටිති. ෂින් - හුවා ද්වාරයේ සිට ආරක්ෂක ගොඩනැඟිල්ල දක්වාද ස්වර්ණ ජල පාලමේ සිට අධිරාජ්‍ය අභිමුඛ ද්වාරය දක්වාද සැතපුම් ගණනාවක් දුරට මේ යෞවන ජන සාගරය ඉතිර පැතිර යන්නේය. මෙම පරීක්ෂණයට මා ඕ එන පුවත සැල වූ සැණින්ම සිය දහස් ගණන් වූ ශිෂ්‍ය සංවිධාන තමන්ගේ සංවිධාන නාමයන් වෙනස් කොට පැමිණ ඇත්තාහ. කුවායි ඩා-ෆුගේ සංවිධානය එක රැයකින්ම වන ජින්-ගැන් කඳුකර කණ්ඩායමද ඇතුළුව ශිෂ්‍ය සංවිධාන සැරසී සිටින්නේ එකම අයුරිනි. කොළ පැහැති නිල ඇඳුම සහ වම් අතේ බැඳි අත් පටිය පිරිස ගායනා කරන්නාහ. ”රත්තරන් හිරු නැඟේ. - පෙරදිගින් අම්බරේ ” ”අපේ ශ්‍රේෂ්ඨ නායකයා - අපේ විමුක්තිදායක සභාපති මා ඕ දිගුකල් දිනේවා...”

වෙලාව දහවල් එකොළහය. ”පෙරදිග රතු වෙයි” යන ගීතයේ අනුවාදනය මධ්‍යයේ කුණාටුවක් බඳු අත්පොළසන් හඬක් නැ‍ෙඟයි. මිලියනයකුත් තවත් අඩකගේ ඔල්වරසන් හඬ පැතිර යයි. වැගිරෙන සතුටු කඳුළුය. ඇතැම්හු හැඬුම් නවතාගනු බැරිව සිය කමිසවල අත් විකාගනිති. දිව්‍යමය සාම ද්වාර මණ්ඩලය මත මා ඕ දර්ශනය වෙයි. ඔහු හෙමින් සැරේ වේදිකාව කෙළවර ගරාදි වැට දෙසට සමීප වෙමින් සිටියි. ඔහු ඇඳ සිටින්නේද තරුණයන්ගේ නිල ඇඳුමය. ඔහුගේ වම් අතේද පටියක් බැඳ ඇත. ඔහුගේ විශාල හිස මත පැලඳ ඇති කැප් තොප්පිය මැද රතු තරු ලාංඡනයකි. මා ඕ වේදිකාව මැදට ගමන් කරන්නේ තම දකුණු අත පැත්තෙන් මා ඕ ජියෑන් චින් මැතිනියද වම් අත පැත්තෙන් මාර්ෂල් ලින් බියා ඕද කැටුවය. ඔවුන් දෙදෙනා සැරසී සිටින්නේද මා ඕ ඇඳ සිටින ආකාරයටමය.

මගේ ජීවිතය පරිපූර්ණ වී ඇතැයි මට හැඟෙයි. දැන් මට සතුටින් මිය යා හැකිය. උදේ මුහුදේ නැඟෙන රළ ගෙඩි මෙන් ජනතාව අප තල්ලු කරගෙන සිටිති. මා ඕ සමඟ මා උරෙන් උර ගැටී මහජනතාව ඉදිරියේ දර්ශනය වන ප්‍රථම අවස්ථාව මෙයයි. රජු සහ ඔහුගේ ආර්යාව. ඝෝෂාවේ රළ ගෙඩිවලින් අප එතී ඇත්තේය "සභාපති මා ඕ දිගුකල් දිනේවා! ජියෑන් චින් සහෝදරියට ආචාර වේවා!!"

අපි ද්වාරයෙන් පහළට බැස පිරිස දෙසට ගමන් කරමු. අපට යන්ට ඉඩ හසර ලබා දීමට ආරක්ෂක භටයෝ පේළියක් සෑදීල පිරිස ඉවත් කරති. පිටුපසින් එන සගයන් ගැන අප අවධානය යොමු කරන්නේ නැත. අප දෙදෙන පහළ සිටින හිස් ඔසොවාගත් ජන සාගරය දෙස බලමින් වේදිකාවේ ගරාදි වැට අයින දිගේ පහළට බසිමු.

දිගුකල් දිනේවා!!

අවුරුදු දස දහසක් දිනේවා!!

මාතෘකා