අභියෝගයක් අබියස

 ඡායාරූපය:

අභියෝගයක් අබියස

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

කුවායි ඩා-ෆු අධිෂ්ඨාන කරගෙන සිටින්නේ මා ඕ ජියෑන් චින් මැතිනියගේ බලාපොරොත්තු ඉෂ්ට කෙරෙන ආකාරයෙන් කටයුතු කරන්නටය. ඔහු විසින් ජින්-ගැන් කඳුකර කණ්ඩායම යන නමින් ශිෂ්‍ය බල මණ්ඩලයක් සංවිධානය කර ඇත. මේ ශිෂ්‍යයෝ තුමූ සොල්දාදුවන් බැව් කියාගනිති. දිනපතාම මේ ශිෂ්‍යයෝ ‘සමගිය බලය වේ’ යයි ගායනා කරමින් විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට යන්නාහුය. පිට පළාත්වලින් පැමිණෙන දහස් ගණන් ශිෂ්‍යයෝද ඔවුන් හා අත්වැල් බැඳගනිති. ඒ වන විට ජින්-ගැන් කඳුකර කණ්ඩායම සාමාජිකයින් හය ලක්ෂයක සංවිධානයකි. එහි ප්‍රධාන අණ දෙන නිලධාරියා කුවායි ඩා-ෆුය.

කුවායි ඩා-ෆු තම බලය ප්‍රදර්ශනය කරනු සඳහා ශිෂ්‍ය කණ්ඩායමක් සමඟ ජනතා විමුක්ති හමුදාවේ මූලස්ථානයට කඩා වදියි. ඔහු යෙලින් ඉල්ලා සිටියි. මුරභටයන් විසින් ඔවුන් නැවැත්වූ විට මේ ශිෂ්‍යයෝ සිසු පවුරක් බවට පත්ව යෙලින් භංග වේවා! කියා ඝෝෂා කරන්ට වෙති. සිය රයිෆල් එල්ල කරගෙන සිටින මුරභටයන් ඔවුන් කෙරෙහි කිසිදු අවධානයක් දක්වන්නේ නැත. කුවායි ඩා-ෆුගේ කිසිම උපක්‍රමයකින් ඔවුන් ලවා ගේට්ටුව විවෘත කරවන්ට නොහැක්කේය.

ශිෂ්‍යයෝ මා ඕගේ උධෘත පාඨ ගායනා කරන්ට පටන්ගනිති. ”කැරලි ගැසීම හොඳය. කැරලි ගැසීම අයිතියකි. කැරලි ගැසීම අවශ්‍යය.” මුරභටයෝ නෑසූකන්ව සිටිති. ශිෂ්‍යයෝ තව තවත් මහ හඬින් ගයති. ඔවුහු ගේට්ටු මතට නඟින්ට පටන්ගනිති.

පෙළ ගැසෙන සොල්දාදුවෝ ඔවුන්ගේ රයිෆල් ඔසොවාගෙන ශිෂ්‍යයන් දෙසට මානති.

ශිෂ්‍යයෝ කුවායි ඩා-ෆු දෙසට හැරෙති.

යෙලින් අල්ලාගෙන ගෞරවය දිනාගන්ඩ... ශිෂ්‍යයෝ හඬගා කියති. තමා නායකයකු බවට පත් වුණු ආකාරය සිහි කරමින් වීරයා කෑගසයි. ගේට්ටුව මුදුනට නඟින ඔහු ඒ මත කෙළින් සිටගනියි. තම දෑත මෙගෆෝනයක් සේ හදාගෙන ඔහු හදිසියේම සාගිනි උපවාසයක් ප්‍රකාශයට පත් කරයි. ඉනික්බිතිව මිනිස් පවුරට උඩින් පනින හෙතෙම කොන්ක්‍රීට් බිම මත පතිත වෙයි. මැරුණු මත්ස්‍යයකු මෙන් එහි දිගා වන ඔහු දෑස් පියාගනියි. ඔහු පිටුපසින් දහසක් සිරුරු ඒ බිම මත දිග ඇදෙන්නාහ.

දවල් දාහයට මගේ ඒජන්තවරයා වන ඩොන් මහතාගෙන් මට වාර්තාවක් ලැබෙයි. ශිෂ්‍යයන් ගැන සොයා බලනු සඳහා මවිසින් ඔහු යවන ලද්දේ රහසිගතවය. මගේ සුබපැතුම් කුවායි ඩා-ෆු වෙත පිරිනමන්නැයි මම ඔහුට කියා සිටියෙමි ග්ලූකෝස් මුසු කළ ජලය ශිෂ්‍යයන්ට ලබාදෙන ලෙස ළඟම ඇති රෝහල්වලට මම නියෝග කළෙමි.

මා ලින් බියා ඕ සමඟ සම්බන්ධ කරන්නැයි මම දුරකථන ක්‍රියාකරවන්නාගෙන් ඉල්ලා සිටිමි. මේ වන විට කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති හැටියට මා ඕ විසින් පත් කර ඇත්තේ ලින් බියා ඕය.

මොකක්ද කාරණේ?

මට ඔබේ සහයෝගය අවශ්‍යයි මාර්ෂල් ලින්.

කරුණාකරල කියන්ඩ.

ඔබේ සේවකයා යෙලින් ක්වින් ගුවා විශ්වවිද්‍යාලෙ මගෙ පොඩි දරුවන්ට කරදර කරනව. මේ දරුවන්ට ඕනෑ කරල තියෙන්නෙ මිනිහත් එක්ක වචනයක් කතා කරන්ඩ. නමුත් මුරභටයො ඉඩ දෙන්නෙ නෑ. මේ දරුවො දැන් සාගිනි උපවාසයක් ආරම්භ කරල.

ඉතින් යෙලින් ගැන ඔබ කරන්න හදන්නෙ මොකක්ද?

මං හදන්නෙ ධනවාදයෙ අනුග්‍රාහකයකු හැටියට මිනිහව විවේචනයට ලක් කරන්ඩ.

ධනවාදයෙ අනුග්‍රාහකයෙක්? ඒ වාගෙ ටයිටලයක් ගැන මං කවදාවත්ම අහල නෑ.

මගෙ ආදරණීය උපසභාපතිතුමනි, මේ දරුවන්ට යෙලින් අල්ලගන්ඩ හැකි වුණාම ඒ ගොල්ලො ස්ටේඩියම් එක පිරෙන්ඩ රැලියක් තියල ඒ ටයිටලය යටතෙ මිනිහව විවේචනය කරාවි. ඒ ළමයි ඒක නිල වශයෙන් කෑගහල කියාවි.

ලින් නියෝග දෙනු දුරකථනය තුළින් මට ඇසෙයි. ඔහු බෙරිහන් දෙයි. යෙලින්ට සනීපද නැද්ද කියල මට කමක් නෑ. මිනිහට හෙල්ලෙන්ඩ බැරි නම් ගිලන් ඇඳකවත් තියල මිනිහව එළියට ගන්නව..

කුවායි ඩා-ෆුගේ දෑතට යෙලින් බාරදීමෙන් පසුව ඇය ලොකු සටන් ආරම්භ කරන්ට සැලසුම් කරන්නීය. ජූලි 29 වැනි දින සංස්කෘති විප්ලවයේ ක්‍රියාකාරීන්ට ගෞරවය දක්වනු උදෙසා ජනතාවගේ මහා සංගම් ශාලාවේ දී දෙදහසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන රැළියක් ඇය විසින් සංවිධානය කරනු ලැබෙයි. උපසභාපති ලියු අගමැති ෂවු සහ ඩෙන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ටද ආරාධනය යවා ඇත. මෙම රැලියෙන් යළිත් වරක් වැඩ කණ්ඩායම් චෝදනාවන්ට ලක් කෙරෙයි. ලියු ඩෙන් සහ ෂවු යන තිදෙනාටම වැඩ කණ්ඩායම් විවේචනයට ලක් කරන්ට බල කරනු ලැබෙති. ඔවුන් එයට එකඟ වන්නේ බලවත් නොකැමැත්තෙනි. ඩෙන් සහ ෂවු දෙදෙනාම පවත්වන්නේ වාස්තවික නොවන කතාය. ඒ වචන වියළිය. පත්තරවලින් කොපි කරගත් ඒවාය. එහෙත් උපසභාපති ලියු ඒ තරම් පහසුවෙන් යටත් වන්නේ නැත. ඔහුගේ කතාවේදී ඔහු පිරිසට සලකා බලන්ට ප්‍රශ්න ඉතිරි කරයි. කොහොමද? සංස්කෘති විප්ලවයක් ගෙන යන්නෙ? ඒ ගැන මට අදහසක් ඇත්තේ නැහැ. ඔබ අතරින් වැඩි දෙනෙක් කියන්නෙත් ඒ ගැන තමන්ට පැහැදිලි අදහසක් නැති බව. සිද්ධ වෙන්නෙ මොකක්ද? මට පැහැදිලි නෑ, මගේ වැරැද්ද මොකක්ද කියල. සංස්කෘති විප්ලවයෙ ශ්‍රේෂ්ඨත්වය මම නම් අවබෝධ කරගෙන නෑ.

අපිව ප්‍රතික්ෂේප කරල තියෙන හැටි ඔබට පේනවද? වේදිකාව මතට නැඟ මයික්‍රෆෝනය අතට ගන්නා අතර මා ඕ ජියෑන් චින් මැතිනිය පවසන්නීය. පිරිසේ අත්පොලොසන් හඬ අකුණු ගසන්නාක් මෙනි. මා ඕ මැතිනිය කතා කරගෙන යන්ට වෙයි. ඇගේ කටහඬ විනිවිද පැතිර යයි. ඇය පිරිසට යෝජනා කරන්නේ තමන්ගේ හිස්වලට උඩින් ඇති පතාකය දෙස බලන මෙන්ය. එහි මෙසේ කියවෙයි. සංස්කෘති විප්ලවය කියන්නේ කාලය - මරන ක්‍රියාවක්ද? නැතිනම් පූර්ණකාලීන රැකියාවක්ද?

ඔබට පෙනෙනවද අපේ සතුරන් විප්ලවීය ළැව්ගිනි නිවා දමන්ට හැම අවස්ථාවක්ම යොදාගන්නා ආකාරය? ඔබට වැටහෙනවද සභාපති මා ඕට වද විඳින්ට වෙලා තියෙන්නෙ ඇයිද කියල?

ලියු ප්‍රතිචාර දක්වයි. ඔහු පක්ෂයේ විනයත් කොමියුනිස්ට් පක්ෂයේ නීතිරීතිත් ගැන අවධාරණය කරයි. කිසිම කෙනෙක් පක්ෂයට ඉහළින් සිටිය යුතු නැතැයි ඔහු පවසයි.

මා ඕ මැතිනියට අභියෝගයක් ඉදිරිපත් කර ඇත්තේය.

මාතෘකා