හිරුට සමීප කොලුගැටයෙක්

 ඡායාරූපය:

හිරුට සමීප කොලුගැටයෙක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මා තැනට නොගැළපෙතැයි මට සිතෙයි. හදිසියේම ඔහු වෙනස් වෙයි. මට මහන්සියි, ඔහු කියයි. දැන් ඔබ යන්ඩ ඕනෑ.

ඔහුට සුබපතා සමුගන්නා මම දොරටුව වෙතට ගමන් කරමි.

ජියෑන් චින් මාවේවැල් පුටුවෙන් නැඟී සිටිමින් ඔහු පවසයි. ඔබට විශ්වාසද අපට පුළුවන් වේවි කියල ශ්‍රේෂ්ඨ ජීවිතයක සිතිජය වෙත ජනතාව ගමන් කරවන්ඩ?

ඔව් පුළුවනි මම කියමි. අපි අතිවිශාල සුවඳ මල් ගොමුවක් වවමු. ඒකෙන් මුළු අහස්තලයම පුරෝමු.

පසු දින උදේ උපසභාපති ලියු කන්තෝරු කාමරයේදී මා ඕ හමු වෙයි. ලියු උනන්දුවෙන් සිටිනවා පමණක් නොවෙයි. හෙතෙම බිය සැකෙන් චංචලව සිටින්නේද වෙයි. මා ඕ ඔහු උණුසුම් ලෙස පිළිගනියි. තම ගමන ගැන ඔහු විහිළු කරයි. මා ඕගේ හාස්‍යයෙනුත් සැහැල්ලුවෙනුත් ලියු ඇලළී සිටියි. එහෙත් ඔවුන් හිඳගන්නා විට මා ඕගේ ස්වරය වෙනස් වෙයි.

මම කෝච්චියෙන් බහින කොට දැක්කෙ දුක්මුසු දර්ශනයක් මා ඕ කතාව පටන්ගනියි. ඉස්කෝල වහල වීදිවල කිසිම මිනිහෙක් දකින්ඩ නෑ. ජනතා ක්‍රියාකාරීත්වය තිබුණෙ හරියට වසන්ත කාලෙ මතු වන උණු මොටෙයියො වාගෙ සන්තෝසයෙන් උඩට මතු වෙනව. නමුත් දැන් ඒ කිසිම දෙයක් පේන්ඩ ඇත්තෙ නෑ. කවුද ළැව්ගින්න නිවල දැම්මෙ? කවුද ශිෂ්‍යයින් මැඩපැවැත්තුවෙ? කවුද ජනතාවට බය? ජනතාවට බය වෙලා හිටියෙ යුද අධිපතියො චියං කායි - ෂෙක් ප්‍රතිගාමියො බලයෙ හිටිය කාලෙ. අත ඔසවමින් මා ඕ කතා කරන්නේ මහ හඬිනි. ශිෂ්‍යයින් මැඩපවත්වන අයගෙ අවසානය තමන්ගෙම විනාශයයි.

උපසභාපති ලියුට ඒ කිසිවක් විශ්වාස කරන්ට බැරිය. ඒ හැඟීමෙන් ඔහු ගල් ගැසී සිටියි. සිය දෑස් ඉදිරිපිට මා ඕ නොහඳුනන මිනිහකු බවට පත්ව සිටියි. ලියු වේදනාවෙන් බරව තමාගේ හැකියාවත් තමාගේ විනිශ්චයත් ගැන මා ඕගෙන් ප්‍රශ්න කරයි. තමාගේම ආණ්ඩුවට විරුද්ධ මෙම කුමන්ත්‍රණයේ සංවිධායකයා මා ඕ බැව් අනුමාන කරන්ටවත් ඔහුට බැරිය.

කුවින්ගුවා විශ්වවිද්‍යාලයේ කුවායි ඩා-ෆු ශිෂ්‍යයා ජාතික මාක්ස්වාදී ප්‍රතිරූපයක් බවට පත්ව සිටියි. තමා දක්ෂ සංවිධායකයකු බැව් ඔහු ඔප්පු කර ඇත්තේය. මා කලින් දුටුවාට වඩා ඔහු උස ගිහින්ය. මා ඒ කාරණය ඔහුට පෙන්වා දුන් විට ඔහු අසීරුවට පත් විණි. ඔහු ගැන මා තුළ ඇති කැමැත්ත තවත් වැඩි වෙයි. ඔහුගේ හැසිරීම මගේ ව්‍යයාමයේ ප්‍රතිබිම්බයකි. කෑන් ෂෙන් පවසන්නේ කුවායි ඩා-ෆු මගේ සුරතලා බවය. මට එකඟ නොවන්ට බැරිය. ආත්ම විශ්වාසය ගොඩනඟාගන්ට මේ තරුණයාට අපගේ සහයෝගය අවශ්‍යය. අත්දැකීම් නැත කියා කරදර නොවන මෙන් මම කුවායි ඩා-ෆුට කියමි. සභාපති මා ඕ සිය කැරැල්ල ආරම්භ කර ඇත්තේත් ඔය වයසේදීමය. කුවායි ඩා-ෆුට ප්‍රශංසා කරන මම තබන හැම පියවරකදීම ඔහු ධෛර්යය ගන්වමි. මා ඕවාදය ගැන ඔබට හොඳ අවබෝධයක් තියෙනව. ඔබ උපන්ගෙයි නායකයෙක්.

කුවායි ඩා-ෆු සිය ශිෂ්‍ය සගයින් අමතනු මම ආසාවෙන් බලා සිටිමි. ඔහුගේ අවලස්සන ඔහුගේ ආකර්ෂණයේම කොටසකි. ඔහුගේ මුහුණ මලානික රෝස පැහැයේ සිට රතට හැරී පසුව නිල් පැහැ ගනියි. ඔහු අවශ්‍ය තරමට කාරණා දකින්නේ නැත. එහෙත් ඔහු තමා දන්නා දේ බරපතළට ගනියි. අද ඔහුට දහඅට පිරුණි. ඔහුගේ මමත්වයේ ටැංකියට ගෑස් පුරවනු සඳහා කෑන් ෂෙන් තම මගින් පිටත ගොස් පවා, ඔහුට ආධාර කරයි. කුවායි ඩා-ෆු පිටුපස යන ඔහු සටන් පාඨ කියමින් කෑගසයි. කුවායි ඩා-ෆුට මා ඕ සමඟ කෙළින්ම සබඳතා ඇති වගක් ඔහු පිරිසට පෙන්වා දෙයි.

මේ කොලුගැටයා හිරුට සමීපය. රත්තරන් වගේය. තම නායක කුවායි ඩා-ෆුට මෙන්ම තමන්ටත් ඒ බලය ඒ ගෞරවය ලබන්ට ශිෂ්‍ය පරපුර තුළ ඇත්තේ මහත් ආසාවකි උවමනාවකි. ඒ උවමනාව ඇති තවත් අය මේ වන විටත් දර්ශන පථයට පැමිණ සිටිති. ඔවුන් අතර බීජින් ගුරු සරසවියේ ටැන් හව්-ලෑන් බීජින් ගුවන් යානා ආයතනයේ හෑන් අයි-ජින් බීජින් භූගර්භ විද්‍යාලයේ වෑන් ඩා-බින් සහ වැඩිපුර නොහඳුනන සාහිත්‍ය විචාරකයකු වන හතළිස් වියැති නී යුවාන්-සි යන අය කැපී පෙනෙති. තම තමන්ගේ පාසල්වලට නායකත්වය දෙන ඒ හැමදෙනාම මා ඕ ජියෑන් චින් මැතිනිය සතුටු කරන්ට කැප වී වැඩ කරති. සිය දහස් ගණන් වන මීමැසි සමූහයා සිවුපාවකුට දෂ්ට කරන්නාක් මෙන් ඔවුහු සිය ආයතනවලින් වැඩ කණ්ඩායම් පයින් ගසා පළවා හරින්ට රංචු ගැසෙමින් සිටිති. ප්‍රතිවිරෝධයක් ඇත්තේය. පන්තිවලට ආපසු යන්නැයි වැඩ කණ්ඩායම් බල කර සිටිති. සටන් ඇවිෙළයි. නොසන්සුන්තාවල ඉහළට නැෙඟමින් පවතියි.

උපසභාපති ලියු විසින් පත් කරන ලද වැඩ කණ්ඩායම්වල නායක යෙලින් තදින් සිටියි. කුවායි ඩා-ෆු නිවාස අඩස්සියෙන් මුදා හැර ඇත්තේ වී නමුදු අනර්ථකාරී ආදර්ශයක් වශයෙන් ඔහු විවේචනයට ලක් කිරීමට කණ්ඩායම් නායක යෙලින් ලියුගෙන් සහ ඩෙන්ගෙන් අවසර ඉල්ලා සිටියි. යෙලින් විසින් ප්‍රසිද්ධියේ ඒ විවේචනය කරන අතර මා ඕ ජියෑන් චින් මැතිනිය සහ කෑන් ෂෙන් කුවායි ඩා-ෆුගේ රැකවරණයට පැමිණෙති. යෙලින්ට දැනුම්දීමකින් තොරව ජියෑන් චින් සහ කෑන් ෂෙන් විසින් වැඩ කණ්ඩායම් විසුරුවා හරින්නැයි බල කෙරෙන ශිෂ්‍ය රැලියක් කැඳවනු ලබන්නේය.

සටන ඇත්තේ තමා සහ ශිෂ්‍යයන් අතර නොවන බැව් යෙලින්ට වැටහෙන්ට පටන්ගනියි. ඉහළ බලවත්තු එයට සම්බන්ධව සිටිති. ඒ වූකලී සිදු වෙතැයි ෂවු විශ්වාස කළ කාරණයක් නොවේ. ගැටුමක් වළක්වනු උදෙසා විශ්වවිද්‍යාලය අතහැර යන යෙලින් තමා කලින් සිටි ජනතා විමුක්ති හමුදාවේ මුලස්ථානයට ගොස් එහි සැඟවෙයි.

මාතෘකා