යළිත් වරක් නෝරගේ භූමිකාවට

 ඡායාරූපය:

යළිත් වරක් නෝරගේ භූමිකාවට

මෙකී දර්ශනයේදී ඕ තමාගේම වස්තු බීජය වර්ධනය කරන්නීය. ආතතියක් දැනෙන විට ඇය කරන්නේ ප්‍රධාන නළුවා ඉවත් කිරීමය. ඇයද නාට්‍යයෙන් ඉවත්ව වේදිකාවෙන් අතුරුදන් වන්නීය. එහෙත් ඇයට තමාගේ මේසය කරකවන්නට බැරිය. ඇගේ රට මෙන්ම ඇයද කැබලිවලට ගැලවී යන්ට ඔන්න මෙන්නය. ජපාන යුදභටයෝ සිය මුළු ශක්තියම යොදා රටට ඇතුළු වෙති. චිත්‍රාගාර මුනින්තලා වෙයි. සිනමාහල් වැසී යයි. 1936. වාසනාවක ලකුණක්වත් නැත.

හිත හදාගෙන ඒක කරපන්. මම, මටම කියාගනිමි. මම බඩුමුට්ටු එකලස් කරගෙන අදම යන්ට යමි. මම මිත්‍රයකුගේ නිවසෙහි නවතිමි. මගේ ලිපිනය රහසක්ව තබාගනිමි. ලියුම ලියන අතර එය ටෑන් නාහ්ට ලැබෙන හැටිත් මම සිතින් මවාගනිමි. මම ඒ ලියුම ජුන්ලි අතට දෙමි. දෙදෙන තනිව ඉන්නා අතරවාරයකදී ඒ ලියුම ටෑන් නාහ් අතට දෙන්නැයි මම ජුන්ලිට කියමි. ඒ මා ජුන්ලි විශ්වාස කරන නිසාවත් ඔහුගේ බිරිඳ චෙන්ග් විශ්වාස කරන නිසාවත් නොවේ. අන්කිසි කාරණයක් නිසාද නොව ටෑන් නාහ්ගේ කෝපය විඳ දරාගන්ට හැකි ඔවුන් දෙදෙනාට පමණක් බැවිනි. ඒ මොහොතේම පණ නහගන්ට ඔහු ඉදිරිපත් වුණොත් එය නවත්වන්ට හැකි වන්නේ ජුන්ලිටය. එවිට අපරාධකාරිය බවට පත් වන්නේ මාය. මේ වතාවේදී මා පටලවාගන්ට ලැබෙන්නේ නැත. ටෑන් නාහ්ට මා පාලනය කරන්ට මම තවත් වාරයක් නොදෙමි.

මේ ලියුම ලැබෙන තුරු ඔබ බලා සිටින්ට ඇතැයි මට සහතිකය. හොඳමයි, මේ තමයි මගෙන් ඔබට අහන්ට ලැබෙන අන්තිම අවස්ථාව. මේ ආකාරයෙන් ලියන්ට මා මොන තරම් වේදනාවක් විඳිනවාද කියන කාරණය ඔබට හොඳින්ම තේරුම් යනවා ඇති. අප දෙදෙනාම බේරාගැනීම උදෙසා මා වින්ද දුක ගැන ඔබට කිසිම නිනව්වක් නැතුවා වන්නට පුළුවන. ජීවත් වනු සඳහා, මා නික්ම යා යුතුය. මා මටම කියාගන්නේත් ඒ ටිකය. ඔළුව ගහගෙන මං හිරිවැටිලයි ඉන්නෙ. මං බිහිරි වෙලා. අන්ධ වෙලා. ඇතුළතින් මැරිලා.

මම මගේ හැඟීම්වල ප්‍රතිවිරෝධතාව පහදන්නට වෑයම් කරමි. මේ සම්බන්ධතාව ඉරා දමන්ට මා ඉවත්ව යෑම කොතරම් නම් දුෂ්කරද? අපගේ ෙප්‍ර්්‍රමය ක්‍රියාත්මක වන්නේ අමුතු තාලයකටය. ඔහු මුණගැහෙන තුරුම පැවති අන්ධකාරය. මේ වෙන්වීම මට දැනෙන්නේ කෙසේදැයි මම ඔහුට පහදා දෙමි. මගේ මුළු චිත්ත ශක්තියම කඩා වැටුණු ඒ මොහොත. මේ ජීවිතය ජීවත් වෙන්ට තරම් පලක් නැතැයි සිතට සිතුණු වාර - ඒ හැම දෙයක්ම මම ඔහුට පහදා දෙමි.

මා කොතරම් වෑයම් කළාදැයි ඔබ දන්නවා. මා ජීවත් වුණේ ඔබ සතුටු කරන්ට. සතුට මේ යයි කියා මට විඳගන්ට තිබුණේ එසේදැයි මට විශ්වාස කරන්ට බැරිය. ඔබගේ සතුට උදෙසා ජීවත්වීම. අප දබර කරගත් හැටිත් මට අමතක කරන්ට බැරිය. එහි තිබුණු කෲරකම. අපගේ ආත්මාර්ථකාමීත්වය. අවසානය පැමිණියාක් මෙන් දැනෙන ඒ මොහොත.

ඔබ මට ආදරය කළ හැටි සිහි වන මොහොතක් පාසාම මම හඬා වැටෙමි. අප සැන්දෑ කාලයේ නෑන්-යෑන්ග් බුල්වාර්හි ඇවිදින අතර ඔබ මට පැවසූ වදන්. ඒවා මා අදින්නේ ආපස්සට. ආයෙත් ඇවිත් ඔබ සමඟ එතී කාලය පවතින තුරාම ජීවත් වන්නට කියා මා අදින්නේ ආපස්සට. එයින් පැවසෙන්නේ මේ වේදනාව නිසා මගේ අනාගතය නාස්ති නොකරගත යුතු බව. ඒ වේදනාව හරියට උගුරේ හිර වුණු මාළුකටුවක් වගෙයි. ඒක එළියට ගන්ඩත් බෑ. ගිලින්ඩත් බෑ. මා ඉන්නේ එතැන. මාළු කටුවක් උගුරේ හිරකරගෙන.

ඇයට අනුරාගය දැනෙයි. තමාට හුරු කටහඬකින්. නෝරාගේ කටහඬින් - කතා කරන අනුරාගය - භාවාතිශය - ඇයට දැනෙන්ට වෙයි. සැබෑ ජීවිතය නමැති වේදිකාව මත කරන රංගනය ඇයට දැනෙයි. ඇය යළිත් වරක් ඒ භූමිකාවේය. නෝරා වගේම ඇයද දඟලන්නේ වෙන් වී යන්ටය. ටෑන් නාහ් නමැති ටෝවල්ඩ්ට ඇය පවසන්නේ තමා වෙන්ව යායුතු බවය.

මා ජීවත් වන්නේ පිළිගැනීමක් ලබන්ට. සටහනක් තබා යන්ට. කවුරු හරි කෙනෙක් වන්ට. අරුතක් බවට පත් වන්ට. මා ඔබගෙන් බලාපොරොත්තු වුණේත් ඒකමයි. මොකද කියනවා නම් ඔබ හැකියාවන් තියෙන මිනිහෙක් නිසා. ඔබ ජීවිතය නාස්ති කරගත යුතු නැහැ. ඔබ ඔබගේ හැකියාවන් උපරිම ශක්තියෙන් ක්‍රියාවට නැඟිය යුතු වනවා. ඔබ කවුද කියා ලෝකයට පෙන්වන්ට. ඔබ මිත්‍රයන් කියා හඳුන්වන මිනිස්සු ඔබ අබිං මතින් තියන කොට මම ඒකට වෛර කරනවා. තමන් කලාකාරයෙක් කියල ඔබ කියෙන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි ඔබේ වගකීම්වලින් ගැලවෙන්ට. අලස වෙන්ට ඒක හොඳ හේතුවක්.

ලියන කොට වුණත් ඔබ එය කරන්නේ අන්තිම මිනිත්තුවේදී කියන කතාව ඇත්තක්ද? මුද්‍රණකාරයා රෝල්කරන්ට පෙර ඔබ කිසිවිටෙක පත්තරයේ පිටු පෙරළා බලන්නේ නැහැ. මට නම් ඒක පෙනෙන්නේ දුර්වලකමක් හැටියටයි. මට ඔබ පෙනෙන්නේ ක්‍රියාකරන්ට බැරි අරමුණක් නැති මිනිහකු හැටියට. තවත් නරක තමන්ගේ දුර්වලකම්වලට - අඩුපාඩුවලට - මුහුණ දෙන්නෙ නැතුව, ඔබ ඒවා සඟවාගන්නවා. තමන් වරදවා වටහාගත් බවත් සමාජය තමන්ට නරක විදියට සලකන බවත් කියන්ට ඔබ බොහොම මනාපයි. ඔබ දෛවයේ ගොදුරක් බවට පත් වන්ට කිසිම මැලිකමක් දක්වන්නේ නැහැ. මා ඉන්නෙත් ඒ ඔරුවෙම බව ඔබට මතක් වෙන්නෙ නෑ. දුර්වල ආකාරයට කටයුතු කිරීමෙන් ඔබ මාවයි දියේ ගිල්ලවන්නෙ.

මාතෘකා