තරුවකින් කැපුණු තවත් තරුවක්

 ඡායාරූපය:

තරුවකින් කැපුණු තවත් තරුවක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

අපි සමූහ විවාහ මංගල උත්සවයක් සඳහා ගමන් කරමින් සිටිමු. අප හා අනෙක් ජෝඩු දෙකද එක් වෙති. ඩෑන් සහ ලූසි. එර්යි සහ ලූලූ. අපේ සත්කාරකයා වශයෙන් කටයුතු කරන්නේ ජුන්ලිය. සාක්ෂියට අත්සන් කරන්නේ ටෑන් නාහ්ගේ නීතිඥ මිත්‍රයා වන ෂෙන් මහතාය. මේ උත්සවය මගින් අපගේ ෙප්‍ර්මය විපතකින් බේරාගන්ට හැකි වෙතැයි අපි දෙදෙනාම - ටෑන් නාහ් සහ මම - බලාපොරොත්තුව සිටිමු. අප දෙදෙනා තදබල තුෂාරයකින් පසුව ඇහැරී සිටින එළවළු. පාත්තියක් වැන්න. අපට දැන් අවශ්‍යව ඇත්තේ හිරුගේ උණුහුමය. ගමන ඉතාම අනර්ඝ බැව් පෙනෙන්ට ඇත. එදවස සිත් නළවන වසන්තයේ දිනකි. අපි දුම්රියෙන් ෂැන්හයි සිට හෑන්-ෂවු බලා ගමන් කරමු. මුළු ඉතිහාසය පුරාම කවීන්ද සංචාරකයන් විසින් මෙකී ස්ථානය හඳුන්වා ඇත්තේ දිව්‍යලෝකයේ මුවමඬල හැටියටය.

විපත්තියේ කඳු මුදුන ඔවුන්ට නොපෙනෙයි. මන්ද යත් ඔවුන් හිටගෙන සිටින්නේ එමත වන නිසාය. ඇත්තම කතාව නම් මේ වන විට ඔවුන්ගේ ෙප්‍ර්මයේ කිසිවක්ම ඉතිරිව නැති බවය. ඇය තුළ සැක සාංකා ඇත්තේය. එහෙත් ඇය ෙප්‍ර්මය කෙරෙහි විශ්වාසය තබන්ට තීරණ කරන්නීය. ඒ පාරිතෝෂිකයක් හෙවත් බෝනස් එකකුත් එක්කය. ඇය සිය චිත්‍රපටවලට යොදාගන්නට ජුන්ලිට කරුණු පහදා දෙන්නට - ඔහු කැමති කරවාගන්නට - ටෑන් නාහ් පොරොන්දු වී සිටියි. මේ විවාහ මංගල උත්සවයේ ඉදිරියට යන්නට ඇය තීරණය කර ඇත්තේ ඒ අනුවය.

මෙන්න, ජුන්ලි. තමාගේ සුපුරුදු ප්‍රයෝගයන් පාමින් ඇය යළිත් වරක් ඔහු වෙත ඉදිරිපත් වන්නීය. එහෙත් අවසානයේදී ඇගේ ව්‍යායාමයට ප්‍රතිඵලයක් නැත. ඇය තමාට කළ හැකි හැම දෙයක්මත් කරයි. ටෑන් නාහ්ද එසේමැයි. එහෙත් ප්‍රතිඵල නොඑයි. ජුන්ලි ඒ කිසිවකින් නොසැලෙනවා පමණක්ද නොවෙයි. ඔහු ඇය පිළිකුල් කරන්ටද පටන්ගෙනය. ටෑන් නාහ් නොවන්නට ඔහු ලෑන් පින් දෙස ඇහැක් ඇරලාවත් බලන්නේ නැත. එය ඇයට පෞද්ගලිකවම දැනෙයි. තමාට අවමානයක් කර ඇති වග ඇයට හැඟෙන්ට වෙයි. ඈ තුළ හටගත් නොරිස්සුම කොතරම් බලවත්ද යත් ඊට අවුරුදු තිහකට පසුත් සංස්කෘති විප්ලවය අවධියේදීත් ඇයට එය සිතින් මකා දමන්ට බැරිය. ජුන්ලි විනාශ කරන්ට ඇය රතු මුරභටයන්ට අණ දෙයි. එයාව ඉවරයක් කරන්ඩ. මා ගැන තවත් ඕපාදූප පතුරුවන්නට ඔහුට ඉඩ නොලැබෙන පරිදි ඔහු ගැන බලාගන්ඩ. රතු භටයෝ මරණයට පත් වන තෙක්ම ජුන්ලිට පහර දෙති. එසේ කෙළේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහගන්ට යයි මාවෝ මැතිනිය පිළිගන්නේ නැත.

සියල්ල නාස්ති වී ඇත්තේ ජුන්ලි විසින් ටෑන් නාහ් කෙරෙහි දක්වනු ලබන අනුකම්පාව හේතුකොටගෙනය. ටෑන් නාහ් සම්බන්ධයෙන් මා තුළ ඇති අපේක්ෂාවන් කිසිවක් ගැන ජුන්ලිගේ තැකීමක් නැත. සිය අලස ආකල්පය නොවන්නට මෙලාහකටත් ටෑන් නාහ් වඩාත් ශ්‍රේෂ්ඨ මිනිහකුව සිටිය යුතු වනැයි ඔහු සිතයි. ටෑන් නාහ්ගේ ප්‍රසාදය දිනාගන්ට ජුන්ලි සහ ඩෑන් දෙදෙනාම තමන් ළඟට ඇවිත් ආයාචනා නොකරන්නේ මන්දැයි ඇය සිතන්ට වෙයි. මෙතැන්හි දී පරාජිතයා විය යුත්තේ ටෑන් නාහ් වෙතැයි තමා සිතන සිතිවිල්ල ආත්මාර්ථකාමී බැව් ඇය පිළිගනියි. ටෑන් නාහ්ගේ හැකියාවන් කානු පල්ලේ ගලා යන්ට සලස්වන මේ ආත්මාර්ථකාමී මිනිස්සු මිත්‍රයෝද? මම සිතමි. ඔහුගේ සිත නොවැටී සිටිනුව ඔවුහු ඔහුට බොන්ට අරන් දෙති.

ඇතැම්විට ජුන්ලි විශේෂ සාද පවත්වන්නේම ටෑන් නාහ් උද්යෝගිමත්ව තබාගනු උදෙසාය. තම නිවසට ඇවිත් නතර වන්නැයි ඔහු ටෑන් නාහ්ට පවසයි. එතකොට ඔහුට මගෙන් දුරස්ව සිටින්ට හැකිය. ටෑන් නාහ් ජුන්ලි හඳුන්වන්නේ තමාගේ ආත්ම සගයා හැටියටය. ජුන්ලි සහ ඩෑන් මා ගැන කියා ඇති දේවල් වරක් ටෑන් නාහ් පාපෝච්චාරණයක විලාසයෙන් මට පවසා ඇත. ඒ ඇසූ මම පිපිරෙන්ට වුණෙමි. ඔවුන් හිතන්නේ ටෑන් නාහ්, මට හොඳ වැඩියි කියාය. අප දෙදෙනාගේ ෙප්‍ර්මයේ වගකීම් අමතක කර දමන්ට ඔවුහු ඔහුට අවසර දෙති. ඔවුන් දෙදෙන මගේත් අනාගතය සමඟම ටෑන් නාහ්ගේ අනාගතය විනාශ කරති. සත්‍යය තවත් ගැඹුරුය. තරුවකින් තරුවක් කැපී ඇත්තේය. මෙතැන ලොකු පාවාදීමකි. ඇගේ බලාපොරොත්තු සුන්වීම ඒ නිසාවෙනි. ඇය බලාගෙන සිටියේ ජුන්ලි විසින් තමා චරිතයක් සඳහා තෝරාගනු ඇත කියාය. ඇය සිතුවේ ඔහු ටෑන් නාහ්ගේ හොඳම මිත්‍රයා කියාය. නමුත් ඔහු කෙළේ බලාපොරොත්තුව සිටි දේට හාත්පසින්ම විරුද්ධ එකය. ”වසන්ත නදිය පෙරදිගට ගලා යයි” යන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට ඔහු තෝරාගන්නේ ඇගේ විරුද්ධකාරිය වන බායි යෑන්ග්ය. ඔහු වෙල්ලවැහුමක් වැනි මුහුණක් ඇති මේ ගැහැනිය උත්තර තාරකාව බවට පත් කරයි. ඇය කොතරම් නම් මෝඩ වී ඇද්ද? ජුන්ලිට සිය හොඳම මිත්‍රයාගේ දුක්ඛිතභාවයේ උල්පතව සිටින ගැහැනිය කෙරෙහි කැමැත්තක් ඇති කරගන්නේ කෙසේද? ටෑන් නාහ්ට සිය පණ හානි කරගන්ට මඟ පෑදුවේත් මේ ගැහැනියම නොවේද? මෙතැන දී ජුන්ලි ක්‍රියාකර ඇත්තේ අතිදක්ෂ විලාසයෙනි. ඔහු හැමවිටම දැක ඇත්තේ ටෑන් නාහ් සහ ලෑන් පින් නොගැළපෙන යුවළක් හැටියටය. ඔහු ඇය අප්‍රිය කරන්ට වන්නේ ඇය විසින් තමා හඳුන්වා දෙනු ලබන්ටත් පෙර සිටමය.

මාතෘකා