ආදරය එහෙමය අත්හරින්නම වෙනවාය

 ඡායාරූපය:

ආදරය එහෙමය අත්හරින්නම වෙනවාය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඔහුගේ ලියන මේසය මත පොතකි. එහි පිටු අතරින් කිසිවක් එළියට පෙනෙයි. ලියුම්. ඇයට කුතුහලය වාවාගන්ට බැරිය. ලියුම් දෙස බලන්ට ඇයට සිතෙයි. ලියුම් දෙකක්. එකක අමුත්තෙකුගේ අත්අකුරුය. ඔහුගේ පසුගිය කොලමක් අගය කරමින් රසිකාවියක විසින් ලියන ලද්දකි. ලියුමේ අග ඇයගේ අඟර දඟර විලාසය. ලියුම රසවත්ය. නමුත් මුග්ධය. ලියන්නිය කියන්නේ ඇය ඔහු ගැන සිහින දකිමින් සිටින බවකි. එහෙත් ඇයට බලා සිටින්ට බැරිය. ඔහු බිහිව ඇත්තේම ඇය වෙනුවෙනැයි ඇය පවසන්නීය. ඇය අයැද සිටින්නේ හමු වන්ට අවස්ථාවකි. ඇගේ අත්සන හරියට මකරකුගේ නැටුමක් වැනිය. ඉන් හැඟෙන්නේ ඇයට හොඳ අධ්‍යාපනයක් නැති වගය. කඩදාසියෙන් සුවඳ වහනය වෙයි. ඒ සුවඳ කැලෑ ලිලැක් මල්වල සුවඳය.

අනෙක් ලියුම ටෑන් නාහ්ගේය. එයට මුද්‍රා තබා ඇත. එය ඇත්තේ තැපැල් කරන්නටය. තමා ඇතුළත වන දැවිල්ල ඇයට දැනෙන්ට වෙයි. ඇයට තවදුරටත් සිතන්නට බැරිය. ඇය විසින් ඒ ලියුම විවෘත කළ යුතුමය. ඇය එසේ කරයි. වෙවුලන දෑතින් ඇය මුද්‍රාව කඩයි. මම බෙහෙවින්ම උනන්දුවක් දක්වමි. ඇය ලියුම කියවාගෙන යයි. මේ වාගෙ ආදරයක්. එය අමුතුය. කලාතුරකින් පමණක් අත්විඳිය හැකි ආදරයකි. ඔහු ලියන අපූරුව. තමාගේ දැනුමත්, ඥානයත් පළ කරමින් ලියන අපූරුව. ඔහුට තරුණියට ප්‍රශංසා කරන්නේ කලකට පෙර ලෑන් පින් වෙනුවෙන් යෙදූ යෙදුම් උපයෝගී කරගනිමිනි. ලෑන් පින් වරක් සිය හදවතේ රුවාගත් වචන. තම මවගේ අවතාරයට විරුද්ධව ශක්තිමත් ආයුධයක් සේ යොදාගත් වචන. දැන් ටෑන් නාහ්ගේ ශෝභන අත් අකුරු ඇස ගැටෙන මොහොතේම ඇගේ හුස්මද නවතින සේය.

මම අමාරුවෙන් හිඳගෙන නිශ්චලව හුස්ම ගනිමි. මම ඔහුට තුණ්ඩු කැබැල්ලක් තබමි. ලියුම් කියවන්ට මට ලබාදුන් අවස්ථාව ගැන මම ඔහුට ස්තුති කරමි. කරුණු කාරණා හොඳින් සිදු වනවා නොවේදැයි මම එහිලා ලියමි. දැන් ඉතින් තවදුරටත් කරදර වන්ට හේතුවක් ඇත්තේ නැත. හැම දෙයක්ම සුදුසු තැනට - නියම තැනට - වැටෙමින් ඇත්තේය. ඔහු ගැන මීට වඩා සතුටු වන්ට හේතුවක් නැත. ඔහුගේ අත් අකුරු ඒ දවස්වල දී අගය නොකළත් දැන් අගය කරන බැව් මම ඔහුට පවසමි. ඒ අත් අකුරු ලස්සනය.

කිසිම ප්‍රාණියකුට වචනයක්වත් කතා නොකර මම දුම්රියපොළ වෙත යමි. ජිනාන්වලට ටිකට් පතක් ගනිමි. ජිනාන්වලට දිව යන්නේ කුමක් නිසාදැයි මම නොදනිමි. මගේ අත්තලා, අත්තම්මලා මිය ගොසිනි. අම්මා සමඟද මගේ සම්බන්ධකම නැති වී බොහෝ කල්ය. නමුත් ජිනාන් මා උපන් නගරයයි. මට එහි සුවපහසුව ඇත්තේය. දුම්රියෙන් බට ගමන්ම මා යන්නේ මා සිටි අත්තලාගේ පරණ නිවසටය. දුර ඈත ඥාතිවරියක ඒ ගෙයි පදිංචිව සිටිනු මම දකිමි. ඇයට මා හඳුනාගන්ට බැරිය. ඇයට නැන්දා කියා අමතන්නට මම තීරණය කරමි. එහි මදක් නවතින්නට හැකිදැයි මම ඇගෙන් විමසමි. ඇය කැමතිය. ඇය මා සාදරයෙන් පිළිගන්නීය.

ඒ නගරයේ ඇති එකම පුංචි හෝටලයේ කළමනාකරුගෙන් පණිවිඩයක් ලැබුණු විට මට එය අදහාගන්ට බැරි විය. ඒ තුන්වැනි දවසයි. ටෑන් නාහ් දුම්රිය ස්ථානයේ ඇති අවන්හලෙහි මා එනතුරු බලා හිඳියි. මට පුදුම ඔහු මා සොයාගත්තේ කෙසේද කියාය. එහෙත් මම ඔහු හමුවීම ප්‍රතික්ෂේප කරමි. ඔහු යළි යළිත් අයැද සිටියි. අසල්වාසියට පැමිණ වීදියේ එහාට මෙහාට ගමන් කරයි. අන්තිමේ දී මගේ නැන්දා ඔහුට එන්නට ආරාධනා කරයි.

ඔහු සුදුමැලි වෙලාය. සිරුරේ ලේ සේරම හිඳී ගිහින් වගේය. ඔහු කියා සිටින්නේ තමාට කාරණයක් පැහැදිලි කරගන්ට ඇති බවකි.

ඉතින් ඇති පලේ මොකක්ද? දන් ඉතින් සේරම අවසන් වෙලානෙ. අපට දැන් ආයෙත් වෙනස් වෙන්ඩ බෑ.

ඔහු මහ හඬින් බෙරිහන් දෙයි. වේදනාවෙන් කෑගහනවා වගේය. ඔයා දුටුව මොහොතෙදිම මම දැනගත්තා, මට මගේ දෛවය සමඟ සටන් කරන්ඩ බැහැ කියල. මට කරන්ට දෙයක් ඇත්තේ නැත. මට මගේ සිතිවිලි එකලාස් කරගන්ට බැරිය. මගේ අධිෂ්ඨානය පසුබහින්ට පටන්ගෙනය. නමුත් මම හිත හදාගෙන මෙසේ කියමි. බෑ. මට එන්ඩ බෑ. හොඳයි ඔහු පවසයි. කමක් නෑ. ඒක ගැටලුවක් නෙමෙයි.

පසු දින උදයේ හෝටලයේ කළමනාකරු හතිමුනින් දාගෙන අපගේ නිවසට දුවගෙන එයි. ඔහු දර්ශනය වන්නේ මුළු ආත්මයම නැති කරගත් මිනිසකු විලාසයෙනි. ඔහු තතනයි. ඔහු කියන වචනවල අගක් මුලක් නැත. අන්තිමේ දී ඔහුගේ වචනවලින් මට වටහාගන්ට ලැබෙන්නේ ටෑන් නාහ් වැඩියෙන් නිදිපෙති අරගෙන දැන් රෝගාතුර වී රෝහලේ සිටින වගයි.

මම ඔහුගේ ඇඳ ළඟට දිවගෙන යමි. ඔහුට නම කියා කතා කරමි. ඔහු ඇස් අරියි. අමාරුවෙන් සිනාසෙන්ට වෑයම් කරයි. යළිත් ඇස් පියාගනියි. කියන්ට ඇත්තේ මොකක්දැයි මම නොදනිමි. ටෑන් නාහ් ඉස්පිරිතාලයෙන් පිට වුණු විට මම නැන්දාගෙන් සමුගෙන ඔහුත් සමඟ ආපසු ෂැන්හයි බලා පිටත් වෙමි.

මාතෘකා