ආදරය තමයි හොඳම ආරංචිය

 ඡායාරූපය:

ආදරය තමයි හොඳම ආරංචිය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

ඔහු දිගටම කතා කරගෙන යයි. මගේ මිත්‍රයන් ඔයා ගැන මොනවා කියනවා ඇද්ද කියා තමයි මම කල්පනා කරමින් ඉන්නෙ. ඔයා ඇවිල්ල තියෙන්නෙ පුංචි තැනකින්. උයාපු බීජයක් හිටවලා මලක් ලබා ගන්ටයි මම වෑයම් කරන්නෙ.

ඇගේ කෝපය ඇවිස්සෙන්නේ ඒ මොහොතේදීය. ඔහුගේ කතාවේ බලපෑමෙන් ඇගේ හුස්ම හිර වන්නාක් මෙනි. ඔයා මගේ ප්‍රේමවන්තයා ඔහු දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇය පවසයි. ඇගේ දෑසින් කඳුළු කඩා වැටෙයි. මට නරක දූසමාන ආරංචි දරාගෙන ඉන්ට පුළුවනි. නින්දා සහගත ඕපාදූප අහගෙන ඉන්ට පුළුවනි. පහත් විවේචන විඳගන්ට පුළුවනි. කඩා වැටෙන අහස වුණත් අල්ලාගෙන ඉන්ට පුළුවනි. නමුත් ඔයාගෙ වචන නම්, දරාගෙන ඉන්ට බෑ.

තවත් කතා කරගන්ට බැරි තරමටම ඇයට රිදී ඇත්තේය. චොප් - ස්ටික්ස් පිඟානත් රැගෙන ඇය යන්නේ නාන කාමරයටය. කෑම ටික ටොයිලට් වළට හළා වතුර හැර සෝදා හරින ඇය එහි දොර වසාගෙන ඉකි ගසමින් හඬන්ට වෙයි.

ඔහු පැමිණෙයි. දොරට තට්ටු කර එය අරින්නැයි ඇය අයදියි. මේ සේරම මගේ වැරැද්ද. මගේ බලාපොරොත්තු සුන්වීම නිසා සිද්ද වුණු දෙයක්. මට සමාවෙන්ඩ. මට බයත් හිතෙනව ඔයා බලාපොරොත්තු සුන් වෙලා මාව අතහැරල යාවි කියල.

දෙගොඩ හරියේ දී ඇය නාන කාමරයේ දොර හැරගෙන පිටතට එයි. තමාට තවදුරටත් ඔහු සමඟ ජීවත් විය නොහැකියි, ඔහු ඇයට පවසයි. ඔහු කී දේවල් කිසිවක් සිතින් පිස දමන්ට ඇයට බැරිය.

ඇය සිය දේවල් අසුරනු ඔහු බලා සිටියි. හැට්ටා, යට ඇඳුම්, සපත්තු, තුවා, දත් බුරුසු ඇය මේ සියල්ල පුංචි සූට්කේසයක අසුරයි. ගෙනියන්ට කියා වෙන දෙයක් ඇයට ඇත්තේ නැත.

මේකද ඔයා මට දඬුවම් කරන විදිය? ඔහු අසන්නේ මහත් ශෝකයෙනි. ඔයා දන්නව මට ඔයාට විරුද්ධ වෙන්ට බැහැ කියල. මගේ මිත්‍රයන් සියලු දෙනාම ඒ ගැන අනාවැකි කිව්ව. නමුත් ඒ කිසිවකුට මං ඔයාට ආදරය කරන එක නවත්තන්ට බැරි වුණා. මං හිතුවෙ ඔයා මා ගැන බලාකියා ගනීවි කියල. නමුත්.... ඔයා අපේ ආදරයට තව වතාවක් දෙන්නෙ නෑ. ඔයා දෙන්නෙ නෑ. ඔහු හඬා වැටෙයි.

පිරිමියකු ඒ විදියට ඉකි ගසා හඬනු ඇය දැක නැත. කුණාටුවකට හසු වුණු පිපිඤ්ඤා ගොඩක් මෙන් ඔහුගේ මුළු සිරුරම සැලෙයි. ඇය බඩු අස්කිරීම නවත්තයි.

බොහෝ වේලාවකට පසුව ඔහුගේ ඉකිබිඳුම් හඬ නැවතී ඇත. නැ‍ඟී සිටින හෙතෙම දොර ළඟට ගොස් එය සම්පූර්ණයෙන්ම අරියි. මං ගැන කරදර වෙන්ඩ එපා. යන්ඩ.

කාමරය නිහඬය. වැසිකිළියේ වතුර බටයෙහි වතුර පිරී අවසන්ය.

නැ‍ඟී සිටින ඕ දොර වෙත ගොස් පියන් දෙකම වසයි. ඉක්බිතිව ඔහු දෙසම බලාගෙන එතැන නැවතී සිටියි.

පින්, ඔහු ඇය අමතයි.

ඇය සිය දෑත් දෙපැත්තට විදහාගනියි.

ඒ රාත්‍රිය පිරී යන්නේ කඳුළුවලිනි. පොරොන්දුවලිනි. අපේ ආදරයට බාධා කරන කිසිවකට ඉඩ නොතබන්ට අපි දිවුරමු. ඊළඟ දවසේ ඔහු යළිත් ප්‍රමුදිතය. බලාපොරොත්තු සහගතය. රැකියාවක් සොයන්නට පිටත්ව යන ඔහු සවසට එන්නේ ඇයට මල් මිටක්ද රැගෙනය. හොඳ ආරංචියක් නෑ රත්තරනෙ. නමුත් ආදරය තමයි හොඳම ආරංචිය. එහෙම නේද?

සිනාවෙන මම, ඔහු වැලඳගනිමි. මගේ තොරතුරුද මම ඔහු ඉදිරියේ තබමි. චරිතයක් නම් හම්බ වුණේ නෑ. නමුත් අර්ධකාලීන රස්සාවක් ලැබුණා නිෂ්පාදන සහකාරියක් හැටියට.

දින ගත වී යයි. සතිද මාසද සමඟ. තාමත් ටෑන් නාහ්ට හොඳ ආරංචියක් නැත. අසීරුතාව මඟහරින්ට, ඔහු රෑ වෙන තුරුම එහෙ මෙහෙ ඇවිදියි. ගෙදර එන්නේ පමා වෙලාය. බීමතින් පැමිණෙන ඔහු අවදි වන්නේ පසු දින මද්දහනේය. ඔහු මිත්‍රයන් සමඟ අතොරක් නැතිව සාදවලට සහභාගි වෙයි.

ලෝකයම කුණු වෙලා, ගඳ ගහනව. ඔහු මට කියයි. හැමතැනම ගඳ ගහනව.

ඩෑන් සහ ජුන්ලි දිගටෝම ටෑන් නාහ් බදාගනිති. ඔවුහු සතුටු පියොවින් ඔහුට සවන් දෙති. ඔවුන්ගෙන් ඔහුට කිසිම බලපෑමක් නැත. අනිත් අතට ඔහුද උදවු පතා ඔවුන්ට හේත්තු වී සිටියි. ඔහු ඩෑන්ගේ අලුත් භූමිකාව ගැනද ජුන්ලිගේ අලුත්ම සිනමා කෘතිය ගැනද කතා කරන්නේ බලවත් උද්යෝගයකිනි. ඔහු සලකන්නේ ඒ දෙකම ඔහුගේ ජයග්‍රහණ හැටියටය.

එතකොට ඔයා ගැන මොකද? මම අසමි. මගේ ස්වරය තියුණුය. මම මගේ කලකිරීම සඟවන්ට අදහස් නොකරමි.

ඔහුගේ සාදයන්ද මිත්‍රයන්ද මට රුස්සන්නේම නැත. ඒ කිසිවක් මට අල්ලන්නේ නැත. අප අතර ගොඩනැ‍ඟෙන අර්බුදය විසඳන්ට ටෑන් නාහ්ගේ උපායන් සියල්ල අවසන්ව ඇත්තේය. ගැටුම් මඟහරිනු සඳහා මම කාමරයට වී දොර වසාගනිමි. ඔහු කෙරේ මා තුළ ඇති ස්නේහය ආපසු ඇදගනිමි. අප අතර පෙම් කිස සිදු වන්නේ ඉඳහිට පමණි. එහෙම කරන්නේත් දබරයක් නවතාගන්නටය. යථාර්ථයෙන් පැන යන මඟක් හැටියටය. නමුත් ඒ සියල්ලෙහි පන්නරය අවසන් වෙමින් ඇත.

ඇගේ කලකිරීම, ඇය සපාකන්ට පටන්ගෙනය. ඇයට පිරිස අමතන අවස්ථා සැලසෙන්නේම නැත. ඇගේ කෝපය පුපුරා හැළෙයි. වුහු අධිරාජිනිය - එම්ප්‍රස් නාට්‍යයේ මුල් දර්ශනයට සහභාගි වෙමින් සිටිති. ටෑන් නාහ් සහ ඇය පැමිණ සිටින්නේ මිත්‍රයින්ද සමඟය. මුළු සිරුරම වැසී යන නිල් පැහැ ඉන්ඩිගෝ ඇඳුමකින්, ඇය ජේත්තුකාර ලෙස සැරසී සිටින්නීය. ඒ රෙද්දෙන්ම සකසන ලද සිහින් උතුරු සළුවක් ඇගේ කර වට දවටාගෙනය. ටෑන් නාහ් සුදු පැහැති බටහිර ඇඳුම් කට්ටලයෙනි. එකට සිටින විට ඔවුහු කඩවසම්ව දර්ශනය වෙති. මුල දී නම් ඇය විනෝදයෙන් සිටින බැව් පෙනී යයි. එම්ප්‍රස් පරීක්ෂාත්මක නාට්‍යයකි. චීන නළුවන් පද්‍ය වෙනුවට ගද්‍ය ගායනය කරන මුල්ම වතාව එයයි. වුහු අධිරාජිනිය නිරූපණය කරනු ලැබ ඇත්තේ ශ්‍රේෂ්ඨ කාන්තාවක හැටියටය. තිරය පහත වැටෙන විට ෙප්‍ර්ක්්ෂකයෝ මහ හඬින් අත්පොළසන් දෙති.

මාතෘකා