සොහොනක් කඩා රත්රන් හොරකම් කරන්නට පැමිණි සොරෙක්

 ඡායාරූපය:

සොහොනක් කඩා රත්රන් හොරකම් කරන්නට පැමිණි සොරෙක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

පසු කලෙක දී මා ඕ නවීන චීනයේ අධිරාජයා බවට පත් වුණු විට ඔහු පිළිබඳ දැනගත යුතු සියල්ල ඇය දැනගත් පසුව ඔහුගේ විශ්වයෙහි හැම ද්වාරයක්ම විවෘත වූ කල අවුරුදු තිස්අටකට පසුව තහනම් නගරයේ ඔහුගේ මරණ මංචකයෙහිදීද ඇය දකින්නේ ඒ නේත්‍ර යුගලයමය. ඒවා නිර්මාණය කරන ලද්දේ තමා විසින්ම බැව්, ඇය පසක් කරන්නීය.

ආදරයෙන් ඇය වැලඳගෙන සුරතල් කරන අතර, ඔහු තමා මරු කටින් බේරී ආ තවත් අවස්ථාවක් ඇයට විස්තර කොට කියන්ට වෙයි. ඒ 1927 සැප්තැම්බර් මාසයයි. හුනාන්හි සරත් අස්වැන්න සමයේ නැ‍ඟී සිටීම අවසන් වුණා පමණි. චියන් කායි - ෂෙක්ගේ ඒජන්තයන් විසින් ඔහු අල්ලාගනු ලැබීය. කොමියුනිස්ට් කණ්ඩායම්වල සාමාජිකයන් එකතු කරමින්ද සොල්දාදුවන් කම්කරුවන් සමඟ ගොවීන් බඳවා ගනිමින්ද ඔහු ගමන් කරමින් සිටියේය. ඒ අවධිය වන විට චියන් කායි-ෂෙක්ගේ භීෂණය උපරිමයටම නැඟ තිබුණි. දිනපතාම සිය ගණන් වූ සැකකරුවෝ මරා දමන ලදහ. ඔහු මිලිටරියේ මූලස්ථානයට ගෙන යන ලද්දේ වෙඩි තබා මරා දමන්නටය.

ඔහුගේ ශ්‍රාවිකාවිය හැඳ සිටින්නේ තමා විසින්ම මසාගන්නා ලද සුදු කපු කමිසයකි. ඇගේ කෙස් කන ළඟට වන සේ කොටට කපා ඇත. ඇගේ සිහින් සිරුර මෝරා ඇත්තේය. ඔහුගේ විසල් බව ඇයට දැනෙයි. ඇයට හැඟෙන්නේ ඔහු විසින් තමා දුහුවිල්ලෙන් අහුලාගෙන ඇති බවකි. වේදිකාව මත දී මෙන් ඇය කාලය ගනියි.

පක්ෂ සහෝදරයකුගෙන් යුවාන් කාසි ටිකක් ණයට ඉල්ලාගෙන මා ගෙන යන ආරක්ෂක භටයාට අල්ලස් දෙන්ට මම වෑයම් කළ. සාමාන්‍ය සොල්දාදුවො කුලී හේවායො. මාව මරන්ට උන්ට විශේෂ උවමනාවක් තිබුණෙ නෑ. උන් පොරොන්දු වුණා මාව නිදහස් කරල යවන්ඩ. නමුත් උපප්‍රධාන මුලාදෑනියා ඒකට අවසර දීම ප්‍රතික්ෂේප කළා. ඒ නිසා මං තීරණය කළා පැනල යනව කියල. නමුත් මිලිටරි ගොඩනැඟිල්ලට යාර දෙසීයක් විතර කිට්ටු වෙනකන්ම මට අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒ වෙලාවෙ මම අත් දෙක ලිහාගෙන කුඹුරු දිහාවට දුවන්ට වුණා.

කලකට පසුව, මා ඕ මැතිනිය චීනයේ වේදිකා නාට්‍ය සියල්ලේම නිෂ්පාදනය භාර විධායක නිෂ්පාදකවරිය හැටියට පත් වුණු පසුව අද ඇයට අසන්ට ලැබෙන සිද්ධිය ඇතුළත් කොට නිර්මාණයක් කරන්ට නියෝග දෙන්නීය. වීරයා ගැලවී පළා යන්නේ, ඔහු දං ගෙඩියට ගෙන යන අතරමඟදීය. ඔහු බැමි කඩාගෙන කුඹුරු දෙසට දිව යයි. විලක් මැද වූ පුංචි දූපතක උස තණ පඳුරු ගොන්නක් තුළ සැඟවෙයි. ”ෂා පවුලේ පොකුණ” නාට්‍යයේ නමයි.

පොකුණකට උඩින් තිබුණු උස් තැනකට යාගන්ට මට පුළුවන් වුණා. එතන උස තණ පඳුරු ගාලක්ම වැවිලා. මම ඉර බහින තුරුම එතන හැංගිලා හිටියා, සොල්දාදුවො මාව ලූහුබැඳගෙන ආවා. මාව හොයා දෙන්ඩ කියල ගොවීන් කිහිප දෙනෙකුට උන් බල කළා.

කීප වතාවක්ම උන් මා කිට්ටුවටම ආවා. මගේ ඇඟේ ගෑවෙන තරමටම කිට්ටු වුණා. නමුත් කොහොම හරි දෛවයෙන් වාගෙ මට ගැලවෙන්ඩ පුළුවන් වුණා. මාව අල්ලා ගනීවි කියල තමයි එදා නම් මට හිතුණෙ.

ගරිල්ලා නායකයාගේ භූමිකාව රඟපාන මා ඕ මැතිනියගේ ඔපෙරාවේ නායකයා සිය කටහඬෙහි උච්චම තලයෙන් ගායනා කරමින් ගීතයේ අවසාන පාදවලට ජීවය දෙන්නේ අපූර්වාකාරයෙනි.

ජයග්‍රහණය..

වැටෙනු ඇත්තෙය ඔබේ දෝතට

විශ්වාසයෙන් සිටියොත් නොසෙල්වී

එළඹ සිටි ඒ මොහොත කොතරම්

කටුක වූ මුත්, අපේක්ෂාවන් බිඳින්නේ මුත්

යළිත් ආපසු ගන්ට බැරි මුත්

අන්තිමේ දී, ගොම්මං වෙලාව එන විට උන් තමන්ගෙ සෙවිල්ල අතහැර දැම්මා. ඒ එක්කම මම කඳුකරය හරහා පැනල ගියා. මට සපත්තු තිබුණෙ නෑ. කකුල් දෙකම හොඳටම සීරිලා. තුවාල වෙලා. පාරෙදි මට හම්බ වුණා ගොවියෙක්. මම එයත් එක්ක මිත්‍ර වුණා. එයා මට නවාතැන් දීලා මට ඊළඟ දිස්ත්‍රික්කයට යන්ට පාර පෙන්නුවා. මා ළඟ තිබුණෙ යුවාන් දෙකයි. ඒ මුදල්වලින් සපත්තු කුට්ටමකුයි, කුඩයකුයි, බනිස් ගෙඩි හයකුයි මිලට ගත්තා. අන්තිමට මං ආරක්ෂාව තියෙන තැනකට එන කොට මගේ සාක්කුවේ තිබුණෙ එක තඹයක් විතරයි.

ඇය දෙව්ලොව ආශීර්වාදය දකින්නේ ඔහුගේ නිර්භීතකම තුළය. සයනය මත දී ඔහු නොඉවසිලිමත්ය. හරියට සොහොනක් කඩා රත්රන් හොරකම් කරන්ට පැමිණි සොරකු වගේය. තමා දූෂණය කිරීමේ ත්‍යාගය පුදන්ට ඇය ඔහුට අභිමුඛ වන්නීය. අනාගතයේ දී මෙම යුවළ බිලියනයක් වන ජනතාවගේ සිත් දූෂ්‍ය කරනු ඇත්තේද ඒ ආකාරයෙනි.

මාතෘකා