කුඩුපට්ටම් වුණු ප්‍රේමයක්

 ඡායාරූපය:

කුඩුපට්ටම් වුණු ප්‍රේමයක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මා ඕ සමරු පොත් අත්සන් කරයි. ප්‍රශ්නවලට පිළිතුරු දෙයි. තරුණිය ඇගේ අත ඔසවයි. ඔව්, කියමින් ඔහු හිස සලයි. ඇය ඉදිරිපත් වෙයි. ස්ත්‍රී විමුක්තිය ගැන ප්‍රශ්නයක් අසයි. එසැණම ඔහුගේ සිනහව තුළ ඇත්තේ පිටස්තර බැල්මක් බැව්, ඇයට පෙනී යයි. ඔහු ඇය දෙසම බලාගෙනය. එතෙකුදු ඇය ඔහුගේ දෑස තුළ සටහන් වන්නේ නැත.

ඇය ප්‍රශ්නය අතහැර දමයි. ආපසු ජන සයුර තුළට වදින ඇය තුළ ඇත්තේ අවිනිශ්චිත හැඟීමකි. මා ඕ දෑස් ඔසොවයි. ඇය බලාපොරොත්තුව සිටින්නේ, ඔහු ඇය දෙස බලතැයි කියාය. ඇයට කියන්ට බැරිය. ඔහු ඇය ගැන සෙවීම අතහැර දමයි. නැඟී සිටින ඕ, එතැනින් පිටතට ගමන් කරයි. නොහඳුනා ගන්නවාට වඩා අතුරුදන්වීම මැනවැයි ඕ සිතන්ට වන්නීය.

පසු කලෙක දී ඔහු ඇයට ඒ ගැටලුව පහදා දෙයි. තමා ජීවත් වන්නේ තනිවම වුවද ඔහු තාමක් කසාද බැඳපු මිනිහෙකි. ඔහුගේ බිරිඳගේ නම සී-ෂෙන්ය. ඔහු තරමටම ජනප්‍රියද ගරුකටයුතුද වීරවරියකි. සී-ෂෙන් ඔහු පසුපස යනු උදෙසා සිය ඉඩම් හිමි පවුලට විරුද්ධව කැරලි ගැසුවාය. එවිට ඇගේ වයස දාහතකි. සිය රූසපුවත් නිර්භීතකමක් පිළිබඳ ඇය පතළව සිටියාය. 1934 දීර්ඝ ප්‍රයාණයේ දී ඇයට වැදුණු වෙඩිවල මූනිස්සම් ඇගේ ඉල ඇටවලට යටින් තාමත් ඇත. ඇය ඔහුට දරුවන් හය දෙනකු ලබා දුන්නාය. එහෙත් දැන් ජීවතුන් අතර සිටින්නේ එක දුවක පමණි.

ඔවුන්ගේ වෙන්වීම ආරම්භ වුණේ තමා තව වරක් ගැබ්බරව සිටින බැව් ඇය දැනගත් විටය. ඇය ඔහු හා එකට නිදාගැනීම ප්‍රතික්ෂේප කළාය. එවිට ඔහු පිට ගැහැනුන් වෙත යන්ට පටන් ගත්තේය. සී-ෂෙන්ට එය දැනගන්ට ලැබිණි. එහෙනම් මට ඉඩ දෙන්ඩ, ඔහු බල කර සිටියාය. ඔහුගේ මුහුණට වැරෙන් පහරක් ගැසූ ඇය කෙළින්ම ගියේ දේශපාලන මණ්ඩලය වෙතය. මා ඕ-සේතුං කියන ගැලවුම්කාරයා හැටියට හැසිරෙන්ඩ කියල එයාට කියන්ඩ. ඇය ඔවුන්ට බල කර සිටියාය.

තමා සහ සී-ෂෙන් අතර ඇති කසාද සහතිකයට වෙඩි තබන්ට ඔහුට ඕනෑ විය. ලෙන තුළින් පිටතට පැමිණි ඔහු සී-ෂෙන්ට කියා සිටියේ ඒ කසාදය දැන් ඉවර බවය. සිය පිස්තෝලය එළියට ගත් සී-ෂෙන් කාමරයේ තිබුණු හැම පිඟන් භාණ්ඩයකටම වෙඩි තැබුවාය. ඇය එසේ කුඩුපට්ටම් කරන්නේ තමාගේ හිස බැව් ඔහු වටහාගත්තේය. ඔහු පළා ගියේය. ඇය හඬා වැටුණාය. ඔහු ආපසු ගෙන්වා ගනිමැයිද ඔහුට ගැළපෙන ආකාරයට සකස් වන්නෙමැයිද ඇය අධිෂ්ඨාන කළාය. ඔහු ඇය මඟහැරියේය. ටිකෙන් ටික ඔහුගේ කැමැත්ත කුමක්දැයි ඇය වටහා ගත්තාය.

ඔයාට ගැළපෙන්ඩ ජීවත් වන හැටි මට කියා දෙන්ඩ. ආපසු පැමිණි ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහු කාමරයෙන් පිටව ගියේය. හේතුවක් කියන්නැයි ඇය දිගින් දිගටම බල කළාය. අන්තිමේ දී ඔහු එක හේතුවක් දැක්වීය. ඔබ මාක්ස්වාදයත් ලෙනින්වාදයත් ගැන දන්නෙ ඉතාම ටිකක් විතරයි.

ඔහුගේ ඒ වචන සටහන් පොතක ලියාගත් ඕ, දුම්රියක නැ‍ඟී රුසියාව බලා පිටත් වුණාය. මං ආපහු එන්නෙ, සියයට සියයක් මාක්ස්වාදී වෙලා, ලෙනින්වාදී වෙලා.

ඒ කාලයේ දී යෙනාන්වලට පැමිණි ඇමෙරිකානු පුවත්පත් කලාවේදිනියක වන ඇග්නස් ස්මෙඩ්ලි මා ඕට නටන්ට ඉගැන්වීමට තමා දැරූ වෑයම ගැන සඳහන් කරයි. මිත්‍රයකුට ලියූ ලියුමක ඇය එක් අනාවැකියක් පළ කළාය. මා ඕට නැටුමක් අල්ලාගන්ට පුළුවන් වුණොත් එහෙම එයා තම බිරිය වන සී-ෂෙන් අතහරිනවා සිකුරුමයි. ඇත්ත වශයෙන්ම ප්‍රේම බන්ධනය කියා දෙයක් ලොවේ ඇත්දැයි මා ඕ, ඇග්නස්ගෙන් විමසා සිටියේය. මට නම් කවදාවත්ම එහෙම දෙයක් තිබිලා නැහැ ඔහු කීවේය.

ෂැන්හයි සිට පැමිණි තරුණිය ඔහුගේ ලෙන තුළට ඇතුළු වන්නේ, ඔහු මේ තාක් නොලද ඒ ප්‍රේමබන්ධනයේ නියෝජිතවරිය හැටියටය.

ලෑන් පින් පැමිණෙන්නේ සී-ෂෙන් යෙනාන් අතහැර ගිය කාලවකවානුවේදීමය. වාර්තාගත ඉතිහාසයට අනුව ඒ වූ කලී සුළං සහිත සැන්දෑවකි. සීතලය. වෙවුලන තරම්ය. සී-ෂෙන් සිටියේ ඇගේ කුඩා දියණියත් සමඟය. ඇය වෙහෙසපත් වෙලාය. ඇගේ හදවත තුළ ඇත්තේ අසීමාන්තික නොරිස්සීමක් පමණි. එකට ගමන් ගත් මගියකු අමතා මා ඕ සමඟ තමා ගත කළ ජීවිතය කිමැයි ඇය හෙළි කරන්ට වූවාය. තමා අවුරුදු දහඅටක යුවතියකව සිටි කාලය ගැනද එකල්හි සිය නෙත් යුග මාණික්‍ය සේ හඳුන්වන ලද වගද ඇය ඔහුට පවසන්ට වෙයි. මට ඔහු හමු වුණේ යෙනාග්-සින් කඳුකරයේ පැවැත්වුණු කොමියුනිස්ට් හමුවකදි. දින කිහිපයක් මුණගැහුණට පස්සෙ අපි කතාබහ කළා. එකට කැම ගත්තා. මත්පැන් සහ බැදපු කුකුල් මස්. තමාගෙ තේ කෝප්පය බෙදාගෙන බොමු කියල, ඔහු කීවා. මා ඕ සිය මිතුරන්ටල ඒ දැනුම්දීම කළ ආකාරය සී-ෂෙන්ට විචිත්‍රාකාරයෙන් සිහි කළ හැකිය. “මම ඉන්නෙ ප්‍රේමයෙන්”

තමාගේ හමුදාවක් ගොඩනැ‍ඟීමේ ඔහුගේ සිහිනය ඇයට හොඳට මතකය. දැන් ඔහුට හමුදාවක් ඇත්තේය. ඇයට ඇගේ ශරීර සෞඛ්‍යයත් කෙළිලොල්බවත් නැතිව ගොසිනි. දැන් ඇගේ වයස විසිඅටකි. ඇය අසනීපයෙනි. පන් ගහක් සේ කෙට්ටුය. ලාභ හෝටලයක බංකුවක් මත හිඳගෙන සිටින ඇගේ සිතිවිලි සමුදාය මිදිලාය. ගල් වෙලාය. එළු රැවුල ඇති මිනිහාට, නිළිය අගය නොකරම බැරිය.

සභාපති මා ඕගේ දේශනය අවබෝධාත්මක වුවත් මට එහි ඇතැම් තැන් වටහාගන්ට අමාරුය. මට සභාපති මා ඕගෙන් පෞද්ගලිකවම ප්‍රශ්න අහන්ඩ ඉඩක් නැද්ද?

කෑන් ෂෙන්ට කවදාවත් මේ වැනි තරුණියක මුණ ගැහී නැත. සුන්දරයි. නමුත් කලහකාරියි. දැනටමත් මම හොඳ හවුල්කාරයෙක් හොයල දීල තියෙනවනෙ, ඔහු පවසයි. ඔව්, ඇත්ත වශයෙන්ම. සභාපති මා ඕ තමන්ට අභියෝග ඉදිරිපත් කරන ශිෂ්‍යයන්ට කැමති ගුරුවරයෙක්. නමුත් ඔහුගෙ තත්ත්වය හේතුකොටගෙන ඔහු මුණගැහෙන්ඩ අවස්ථාවක් සැලැස්වීම දුෂ්කරයි. ඔහු ජීවත් වන ස්ථානයට බරපතළ විදියට රැකවල් යොදල තියෙන්නෙ. කෑන් ෂෙන් කතාව නවත්වා තරුණිය දෙය බලා රවයි. බලමු ඉතින් මොකද කරන්ඩ පුළුවන් කියල.

මාතෘකා