වසන්තය පැමිණෙන්ට තව කල් ඇත

 ඡායාරූපය:

වසන්තය පැමිණෙන්ට තව කල් ඇත

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

තරුණිය කූඩාරමකට වී සූදානම් වෙමින් සිටියි. ඇය දීප්තිමක් කහ පැහැ සළුවක් හිස වටා ඔතාගනියි. ඇය හිඳින්නේ සිය නිල ඇඳුමෙනි. රතු බැනියමකින් සහ නිල් පැහැ සායකිනි. හබලක් අතට ගන්නා ඕ, ඔරුවක නැඟී සිටින බවක් අඟවමින් පුහුණු වන්නීය. එක පියවරක් ඉස්සරහට. එක පියවරක් පස්සට. තව පියවරක් හරහට. පැත්තෙන් පැත්තට දෑත පද්දමින් ඇය ඔරුවක් පදින විලාසය ගෙනහැර පාන්නීය.

අත්පොළසන් හඬින් පැවසෙන්නේ නායකයන් සහ කැබිනට් සාමාජිකයන් පැමිණ ඇති බවය. වේදිකාවේ සේවකයන් විසින් සන්දර්ශනයේ පිරිස තිරය ළඟට කැඳවනු ලබයි. මොහොතින් මොහොත බෙර නාදය උස්ව නැඟී යෙයි. නළු පිරිසේ මුහුණු මත යහමින් සුවඳ සුණු උලා ඇත. ඇස්ද ඇහි බැමිද පියාඹා යන තාරාවුන් වැනිය.

කැඩපත තුළට එබී බලන තරුණියට සිහි වන්නේ ෂැන්හයි ජීවිතයයි. ඇයට ඩෑන්ල ටෑන් නාහ්, ෂාන් මින් යන අයවලුන් සිහි වෙයි. ඇගේ සිරුර මත ගමන් කළ මිනිස්සු. නමුත් ඇය තුළ වූ මැණික සොයා නොගත් මිනිස්සු. ඇය සිය මව ගැනද සිහි කරයි. ඇයගේත් අවාසනාවය. මව නැති පාළුව හදිසියේම ඇයට දැනෙන්ට වෙයි. අන්තිමේදී අම්මාගේ රැලි වැටුණු සිරුරත් ඇයගේ සිරුරේ සම්මස් යට නිදන්ව ඇති දුකත් දියණිය විසින් නිසියාකාරව හඳුනාගනු ලබන්නේ, අරගලයේදී තමා ලැබූ අත්දැකීම් ආශ්‍රයෙනි.

වේදිකාව හරහා රිය සක් කැරකෙන්ට වෙයි. නළුවෝ සිය කටහඬ උපරිමව නැඟීයෙන්ට ඉඩ හරිති. බලවත් උද්යෝගයකින් සිටින ෙප්‍ර්ක්ෂක සමූහයා, ප්‍රීතියෙන් කුල්මත්ව කෑ මොර දෙති. රාත්‍රියේ නිහැඬියාව බිඳගෙන ඔවුන්ගේ හඬ නැඟී යෙයි. වේදිකාවේ සිටින සේවකයෙක් මේ දැන් මාඕ පැමිණි බැව් නිළියට දැනුම් දෙයි. ඔහු හිඳගෙන ඉන්නේ පිරිස මැදය. සභාපති හිඳගන්නා ආකාරය මවාගන්ට තරුණිය වෑයම් කරයි. හරියට නෙලුම් මලක් උඩ වැඩ සිටින බුදුහාමුදුරුවන් වගේදැයි ඇය සිතන්නට වෙයි.

ඇය වේදිකාව මතට අවතීර්ණ වන්නේ සුයිබු පියවරිනි. යාත්‍රා කරන ළිස්සන පියවර තබමිනි. ඉනික්බිතිව ලියු-කුවාන් පියවරිනි. හරියට විලෝ අතු සලන්නාක් මෙනි. ඇය "හබල" අහුලා ගනියි. ඉනික්බිති මවාගත් ජලතලයක් මත සුන්දර ඉරියව් පාමින් රංගනයේ යෙදෙයි. ඉහළටත් පහළටත් නැවෙන ඕ, අනතුරුව දණහිස් දිගහැර බෝට්ටුවක චලනය මවාපායි. ඇගේ ඒ සියලු අංග චලනයන්ට අනුපාන වශයෙන් බෙර හඬ නැෙඟයි. පාදවල මහපට ඇඟිලිවලින් සිටගන්නා ඕ, ජලතලයක් මත ඇවිදින ආකාරය මවාපාමින් වේදිකාවේ වම් කෙළවරේ සිට දකුණු කෙළවර දක්වා පාවී පාවී යයි. දිදුලන ලියාන් - සියාන් ඉරියව්ව පාමින් ඇය සිය මුව විවර කරන්නේ සුප්‍රකට ගායන වෘන්දය ඉදිරිපත් කරන්නටය.

මා ඕගේ මුහුණ සන්සුන්ය. එහෙත් ඔහුගේ මනස තුළ මාරුතයක් නැඟ ඇවිත් ඔහුගේ නහරවැල් රිදවන්නාක් වැන්න. තරුණියගේ ගී හඬ හීයක් සේ ඔහුගේ මනස පසාරු කරගෙන යයි. ඔහුගේ ලෝකය භ්‍රමණය වන්ට වෙයි. අහස්තලය මත ජලජ පැළෑටි වැවිලාය. වලාකුළු සාගරය මත පිහිනන්ට වෙයි.

නමයකිය දොළ පාරල එමත නැඟ නුඹ සමඟ

පැද යමිය මාරුතය කපාගෙන රළ පතර ඉරාගෙන

සුපිපි පියුමෙන් ළකල විසල් ජලතලය මත

දැන් ඔහුගේ මනස චණ්ඩ මාරුතයක් කපාගෙන දිවෙන විලංගු ලූ අසකු වැන්න. ඒ අශ්වයාට කසයෙන් තැලූවද පා පහර දුන්නද මේ දැඩි හිම පතනය කපාගෙන කඳු මුදුනට නඟිනු අසීරුය

ක්වෙන්රුන් පව්ව නැඟ

මම බලන්නෙමි අවට

ගොම්මනය ගලා එන

මංමුළා වෙමිය මම

හුදෙකලා වෙමිය මම

දුර ඈත සයුරු තෙර

ඒද, ආපසු මවෙත?

ඔහුට තෙත වාතයේ සුවඳ දැනෙයි. ඒ වාතය හමා එන්නේ ජලයේ බරද රැගෙනය. තමාගේම හුස්මෙහි රිද්මය ඔහුට ඇසෙන්ට වෙයි. ඔහු ඇහිපිල්ලන් ගසයි. නළලෙහි නැඟුණු දහදිය පිසදමයි.

තිරය පහත වැටුණු පසුව වේදිකාව මතට

මාඕ කැඳවාගෙන යන කෑන් ෂෙන් ඔහුට නිළිය හඳුන්වා දෙයි. ඔහු අතට අත දෙන්නේය. පෞරාණික ඍෂිවරයකුගේ මහිමය මේ යැයි අයට දැනෙන්ට වෙයි. ඔහු හුඟක් උසය. ඔහුගේ ඝන කෙස්වැටිය ඉතා කළුය. පිරිසේ සිටි අන් හැමදෙනාටමත් වඩා ඒ කෙස් දිගය. මැද්දෙන් බෙදා දෙපසට පීරා ඇත. නවීන සිත්තරකුගේ ස්පර්ශයෙන් හැඩ වුණු නියම යෙනාන් ගොවියකුගේ වැනිය. ඔහුට ඇත්තේ ද්විත්ව ඇහිබැමි සහිත කොට්ටම්බා ඇස් යුගලයකි. ඒ ඇස් ශාන්තය නමුත් තියුණුය. ඔහුගේ මුඛය ස්වභාවයෙන්ම රතුය. පූර්ණය. ඔහුගේ හම සිනිඳුය. ආත්ම විශ්වාසයෙන් යුතු ශක්තිමත් මැදි වියේ පුරුෂයෙකි. ඔහුගේ නිල ඇඳුමේ සාක්කු රාශියක් ඇත්තේය. ඇඳුමේ වැලමිටිවලත් දණහිස්වලත් පිරිසිදුවට මසා අණ්ඩ දමා ඇත. ඔහුගේ සපත්තු හදා ඇත්තේ පිදුරුවලිනි.

ඇයට ස්වකීය භූමිකාවේ ස්පන්දනය දැනෙන්ට වෙයි. සීත කාලය ගෙවී ගොසිනි. වසන්තය පැමිණෙන්ට තව කල් ඇත. එක රැයකදීම කඳු මත ඇති තණකොළ, තුෂාරයෙන් වැසී ගොසිනි. මද්දහන් වන තුරු, ඒ සුදු හිම තුෂාරය දියවී නොයයි. සවස හතරට පසුව යළිත් හිම හැදෙන්ට පටන් ගනියි. මුළු කන්දම නිල් තණ පලසක් බවට හැරෙන්නට සූදානම්ය. එහෙත් එය පළිඟු වන් හිම සිවියකින් වැසිලාය.

 

මාතෘකා