ඔහුගේ සිතියමේ ස්ථානයක් මටත් ඕනා

 ඡායාරූපය:

ඔහුගේ සිතියමේ ස්ථානයක් මටත් ඕනා

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

කලකිරීමට පත් මා ඕ, කුඩා ගොවි බළඇණියක්ද රැගෙන දුර ඈත ජින් ගැන්ග් කඳුකරයට මාරු වූයේය. තමාගේ මිනිසුන් අයන බලවේගයක් බවට පත් කිරීමට මා ඕ අධිෂ්ඨාන කරගත්තේය. මා ඕගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් වූ අතර ඔහුට දේශද්‍රෝහියකුගේ හංවඩුවද වැදිණි. ඔහු අවස්ථාවාදියකු හැටියට නම් කරන ලද්දේය. ඔහු පක්ෂයෙන් නෙරපා දැමිණි.

එතෙකුදු, චෙන්ට වාසනාවක් නොවීය. රතු හමුදාව සම්පූර්ණයෙන්ම අතු ගෑවී යන තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය. යළිත් වරක් මා ඕට සිය තත්ත්වය ප්‍රදානය කෙරිණි. මන්ද යත් මේ වන විට ඔහු විසින් සර්ව සම්පූර්ණ ආකාරයෙන් සන්නද්ධ කරන ලද තිස්දහසක භට හමුදාවක් ගොඩනඟාගෙන සිටි හෙයිනි. තමා වෙත පැවරුණු නව කාර්ය භාරගෙන තමාගේ පිරිස මෙන් දහ ගුණයක් වූ චියන් කායි - ෂෙක්ගේ බළඇණිය සමඟ සටන ආරම්භ කෙළේය. සිය සතුරා සමඟ මා ඕ වැඩ කෙළේ බළල් - මී සටනකි. යළිත් වරක් ඔහු පක්ෂයේ අභ්‍යන්තර ප්‍රහාරයකට ලක් විය. මධ්‍යම කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය කියා සිටියේ, රතු හමුදාව ශක්තිමත් බැවින් චියන් කායි - ෂෙක්ගේ ප්‍රධාන නගර අල්ලාගැනීමට ඒ හොඳම අවස්ථාව බවය. මා ඕ ආයාචනා කර සිටියේ මේ ක්‍රියාදාමය නවත්වන ලෙසය. නැවතද ඔහුට පටු මානසිකත්වයක් ඇති පිටිසර මොට්ටයකුගේ හංවඩුව වැදිණි. නැවතද ඔහු පක්ෂයෙන් නෙරපනු ලැබීය.

මා ඕ ගිලන් වූ නමුත් සටන අතහළේ නැත. නගරයට පහර දෙන්ට යවනු ලැබූ රතු හමුදාව විනාශයට පත් වූ වග කියැවෙන ආරංචිය මා ඕටද ලැබිණි. යළිත් වරක් අණදෙන්නාගේ ආසනයට පැමිණීමට මා ඕ සූදානම්ය. පැරණි යුද්ධෝපායෙහි ප්‍රවීණ පැරණියකු මෙන් ඔහු තමාගේ යුද ශිල්පය වහරට ගත්තේය. විස්මයජනක ආකාරයෙන් තත්ත්වය අනිත් පැත්තට පෙරළුණේය. රතු හමුදාව බේරුණා පමණක් නොව එය යළිත් ජයග්‍රහණය කරන්ටද වන්නේය.

එතෙකුදු වුවත් මා ඕගේ ප්‍රශ්න අවසානයකට ආවේම නැත. රුසියාවේ පුහුණුව ලැබූ හමුදා විශේෂඥයෝ ඔහුගේ ගරිල්ලා ක්‍රමය කෙරෙහි සැක පහළ කරන්ට වුහ. මා ඕගේ සාම්ප්‍රදායික උපක්‍රම හේතුකොටගෙන පක්ෂයේ ගෞරවයට හානියක් සිදු වන්නේය යන කාරණය, දේශපාලන මණ්ඩලයට ඒත්තු ගන්වන්ට මෙකී විශේෂඥයෝ සමත් වූහ. චියන් කායි - ෂෙක්ගේ බලකොටුවට දෙවැනි වතාවටත් ප්‍රහාරයක් එල්ල කිරීම අත්‍යවශ්‍ය බැව් දේශපාලන මණ්ඩලය ඒත්තු ගත්තේය. ඒ අදහසට විරුද්ධව මා ඕ සටන් කරන විට ඔහු තුළ විප්ලවය කෙරෙහි විශ්වාසයක් නැති බැව් ප්‍රකාශ කළ දේශපාලන මණ්ඩලය ඔහු බියගුල්ලකු හැටියට හැඳින්වූයේය. මෙවර ඔහු සිය ධුරයෙන් පහ කළා පමණක්ම නොවෙයි. කඳවුරෙන් ඉවත් වීමටද ඔහුට නියෝග කරනු ලැබීය. 1932 දී පිටුවහල් කරනු ලැබ සිටින අවස්ථාවක දී වුවද ඔහුට පක්ෂයෙන් උපදෙසක් ලැබිණි. ඒ දුර ඈත පළාතක පක්ෂ ශාඛාවක් පිහිටුවන්ටය.

මා ඕ තමාගේ වාරය එන තෙක් බලා සිටියේ නැත. ඔහු ක්‍රියාත්මක විය. මිත්‍රයින් හමු වුණේ්ය. සබඳතා ගොඩනඟා ගත්තේය. දිගටම කාර්යයෙහි නියැළී සිටියේය. පියවරෙන් පියවරට සනාථ වූයේ ඔහුගේ අනාවැකි නිවැරදි බවය. ප්‍රධාන සටන් සියල්ලම පරාජයට පත් වූ රතු හමුදාව අන්තිමේ දී චියන් කායි - ෂෙක්ගේ බළඇණිය විසින් අවුරාගන්නා ලද්දේය. ඔවුන්ට කවර අතකටවත් සෙලවෙන්ටවත් බැරි විය.

තුන්වැනි වතාවටද මා ඕ කැඳවනු ලැබිණි. මෙවර ඔහු පැමිණියේ රතු හමුදාව වැටී සිටි තත්ත්වයෙන් ගලවාගැනීමට පමණක්ම නොවේය. මේ බල මන්දිරයේ ස්ථිරසාර තත්ත්වයක් ඔහුට අවශ්‍ය විය. කොමියුනිස්ට් පක්ෂ නායකත්වයේ පූර්ණ බලයද තම දේශපාලන සතුරන් ඉවත් කිරීමේ බලයද ඔහු අපේක්ෂා කෙළේය.

ඔහු තෘප්තියට පත් වූයේය.

1954 වර්ෂයේ දී දෙවියෝ ස්වකීය අනුගාමිකයන්ට නායකත්වය දී ප්‍රාතිහාර්යයක් කරන්ට සමත් වූයේය. ඒ ප්‍රාතිහාර්යය හඳුන්වන ලද්දේ දිග ගමන හෙවත් දීර්ඝ ප්‍රයාණය යන නමිනි.

කඩදාසි ගොඩක් ඉදිරිපිට තරුණිය හිඳගෙන සිටින්නීය. සිය සිතිවිලි හැඩගැසෙනු ඇයට පෙනෙයි. අක්ෂරයෝ වා මඬලෙහි රැව් දෙති. බුද්ධිය නිසි තැනට වැටෙයි. ඒ නම් සියල්ල යටකරගෙන යන හැඟීමකි. හදිසි දැක්මක උපතය. එහි ශක්ති මහිමය විස්මයජනකය. තහනම් ඇසුරේත් තහනම් එකඟතාවේත් සම්භෝගය.

ඔහුගේ සිතියමේ ස්ථානයක් මටත් ඕනෑය. තරුණිය හඬන්නීය.

මා ඕගේ ලෙනට සිය කැමැත්තෙන්ම යන ගැහැනු සිටින බැව් කෑන් ෂෙන් ඇයට කියයි. සාමාන්‍ය ගෘහස්ථ ගැහැනු, විරල විචිත්‍ර ගැහැනු.

ඒ ගොඩට වැටෙන්ට මගේ කැමැත්තක් නැත. තරුණිය පිළිවදන් දෙන්නීය.

සූර්යයා කන්දෙන් පහළට බැසගෙන බැසගෙන යයි. සොල්දාදුවන් සමූහයක් පැමිණ පෙළ ගැසෙති. ඔවුහු යාන්තමට අටවාගත් වේදිකාව ඉදිරියෙහි පේළිවලට හිඳගනිති තද පැහැ ගැන්වෙන අහස්තලය පසුබිමෙහි තබාගෙනය. උණ බටවලින් මෙම වේදිකාව තනා ඇත්තේය. වාද්‍ය වෘන්දය සිය වාද්‍ය භාණ්ඩ සකසමින්ද මුවහත් කරමින්ද සිටියි. මේ වන විට ෂැන්හයි සිට පැමිණි තරුණිය යෙනාන් ඔපෙරා කණ්ඩායමෙහි නායක ආර්යාව බවට පත්ව සිටින්නීය. ඇය ”ධීවරය දියණියගේ කථාන්තරය” නමැති ඒක පුද්ගල ගායනයට සූදානම් වෙමින් සිටියි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා