බැස යන හිරු සමඟ ගඟ අද්දර ඔපෙරා ගයන්නිය

 ඡායාරූපය:

බැස යන හිරු සමඟ ගඟ අද්දර ඔපෙරා ගයන්නිය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මම යූ කුවෙයි සිටින තැන සොයාගතිමි. ඔහු ඉන්නේ බාහිර රාජ්‍ය නිලධාරීන් ලැගුම් ගන්නා යෙනාන් හෝටලයේය. තමා මුණගැහෙන්ට මා ගත් වෙහෙස ගැන ඔහු නිසැකවම දැන සිටිනවා ඇත. එහෙත් මා පිළිගනිද්දී ඔහු පෙන්නුම් කළේ ඇල්මැරුණු සීතල ආකල්පයකි. මා ඔහුට කරන්නේ කරදරයකි. එබැව් මට හැඟෙන අයුරු ඔහු හැසිරෙයි. ඔහු සිය නිල සිනහව රඳවාගනියි. වාඩිවෙන්ඩ, ලෑන් පින් සහෝදරිය තේ එකක් බොනවද? මා උදෙසා තමාට කළ හැක්කේ කිමෙක්දැයි ඔහු මගෙන් විමසයි.

දැන් ඔහු පරිණත පාටක් ඇති මිනිහෙකි. තමා ගැන බලවත් විශ්වාසයකුත් ඇති මිනිහෙකි. ඔහුගේ ඒ ආත්ම විශ්වාසය මා පිස්සු වට්ටවයි. ඔහු දකින මා පෙළෙන්නේ දැඩි වේදනාවකිනි. මා ගනුදෙනුවකට සූදානම් ගණිකාවකි. ඔහු මා තුළ දනවන්ට හදන්නේ ඒ හැඟීමය. ඔහු කවරකුදැයි මට සිහි වෙයි. ඔහු මා සමඟ පෙම් කිසෙහි යෙදී සිටි අපූරුව මට මේ දැනුත් සිහි වෙයි.

අප හිඳගෙන සිටින්නේ අඟල් ගණනක් ළඟිනි. එහෙත් අප දෙදෙන මුහුදු හතක් ඈතිනි. ඔහුගේ දෑස තුළ මා රැඳී සිටිනු මට නොපෙනෙයි. ඇතැම් විට ඔහුට ඇත්තේ මදුරුවකුගේ ඇහි පිහාට්ටක් වන්නට ඇත. මා එතැන සිටිනු ඔහුට අවශ්‍ය නැත. ඔහුගේ මුහුණේ වෙහෙසපත් බැල්මකි. ඉන් පැවසෙන්නේ එදා ඇවිළුණු ගින්න දැන් නිවී ඇති බවය. වචනවලින් නොකිව්වත් ඔහු මට පවසා සිටින්නේ තමා අසීරුවට පත් කිරීම මවිසින් නවතාලිය යුතු බවය.

එයින් මට දැනෙන්නේ කෝපයකි. මා තුළ හටගන්නේ දිනන චේතනාවකි. අමාරුවෙන් හෝ ජයගත යුතුමය. මා අතහැර දැමීමෙන් තමා කරන්නේ වරදක් බැව් ඔහුට ඒත්තු ගැන්විය යුතුය.

ඔහුගේ කාර්යාලය තුළ දී මගේ වියරු කෝපය එළියට නොදැමිය යුතු බැව් මම දනිමි. මා පැමිණියේ අවශ්‍යතාවකට බැව් මම ඔහුට කියමි. කොමියුනිස්ට්කාරියක හැටියට මගේ වාර්තාවන් සඳහා මට සාක්ෂිකාරයකු අවශ්‍යව ඇති වග මම ඔහුට දන්වමි. මට උදවු කරන්ට ඔබට පුළුවනිද? කුවින්ඩාවෝවලදී ඔබ මගේ ප්‍රධානියාව හිටියානෙ. කාරණය වටහාගන්නා ඔහු මගේ පෝර්මය පුරවන්ට කැමති වෙයි. පරීක්ෂකයාට කියන්ඩ ප්‍රශ්නයක් තියෙනව නම් මගෙන් අහන්ඩ කියල.

ස්තුතියි... මම කියමි. කරදර වුණාට බොහොම ස්තුතියි.

ඉනික්බිතිව මම පිටව යමි. ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඔහුගෙන් දුරස්ව සිටිමි. ඊළඟට එළැඹෙන අවුරුදු තිහේදීම මට ඔහු දකින්ට ලැබෙන්නේ නැත. එහෙත් මගේ ස්වාමිපුරුෂයා ඔහු හමු වන බැව් මට සහතිකය. මා ඕ ඔහුට රැකියාවක් දෙයි. එක එක කටයුතුවලට ඔහුට නියෝග කරයි. ප්‍රාන්තීය පක්ෂ ලේකම් හැටියට ඔහු මා ඕ වෙනුවෙන් කටයුතු කෙළේය. ඔහු කුවින්ග්ඩාවෝහි නගරාධිපතිවරයා වශයෙන්ද පත් කරනු ලැබීය. ඔහු ජීවිතයේ හොඳම කාලයේ දී මිය ගියේ ඇයිදැයි කියන්ට මා කිසිවක්ම දන්නේ නැත. ඔහුගේ ජීවිතයේ සතුටත් දොම්නසත් ගැන මා තුළ හැඟීමක් නොවෙයි. ඔහුගේ බිරිය නෑන් කුවින්ග් මට වෛර කරන බව මම දනිමි. ඒ හැඟීම අනෝන්‍යයය. අන්තිමේ දී සිදු වන්නේ කුමක්ද යනු තවදුරටත් මගේ කාරිය නොවෙයි. පරදින අය කෙරෙහි මා තුළ ඇත්තේ අමිහිරි හඟීමකි.

තරුණිය මධ්‍යම චීනය දැනහඳුනාගන්ට පටන් ගනියි. ඒ වනාහි ශාන්-බෙයි තැනිතලාවේ නැඟී එන බිම්කඩය. මුළු මහත් භූමිභාගයම අඳුරුය. මුඩුමය. සර්පයකු මෙන් ඇදී යන කුඩා ගංගාව අසබඩ ඇති අළු පැහැති නගරයේ ඇත්තේ මැටි ගසා තනාගත් පුංචි ගෙවල්ය. මේ නිවෙස්වල කවුළුවලට යොදා ඇත්තේ කඩදාසිය. මේ නිහඬ නගරයේ එක් පසෙක වීදියේ නිහැඬියාව බිඳින්නේ කුකුළන්ද කිකිළියන්ද විසිනි. ප්‍රවාහනයට ඇති එකම වාහනය බූරුවන්ය. මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය වන - ධාන්‍ය වර්ගයකි. කන්ද මුදුනේ යෙනාන් පැගෝඩාවය. මෙකී චෛත්‍යය කිතු වසින් 1100 වැන්නේ දී සුන් රජ පෙළපත විසින් ගොඩනඟන ලද්දේ වෙයි.

ප්‍රාග් ඓතිහාසික මිනිහකු මෙන් ගුහාවක් තුළට වී චීනයේ අනාගත නායකයා වන්ට සිටින මා ඕ සේතුං ජීවත් වන්නේ මෙහිය. දඹු ගඩොල්ද බිඳුණු පිඟන් කෑලිදල මඩද යොදා තනන ලද සයනයක ඔහු නිදයි. එය හඳුන්වන්නේ ‘කාන්ග්’ නමිනි. ඔහුට රැකවරණය සලසන දුඹුරු පැහැ සිරුරින් යුතු සොල්දාදුවන් කෝටු කෑලි මෙන් කෙට්ටු වුණත් ඔවුන්ගේ සිත් දැඩිය. ඔවුන් ජීවත් වන්නේ මා ඕ විසින් ඔවුන් උදෙසා දකින සිහිනය තුළය. ෂැන්හයි වැනි නගර ගැන ඔවුහු කිසි විටෙක අසාවක් නැත. හැම උදයකම ප්‍රාදේශීය පාසල් බිමෙහි ඔවුහු සටන් කරන්ට පුහුණු වෙති. ඔවුන් වෙත ඇත්තේ ආදිකාලීන ආයුධ වුණත් ඔවුන් මෙහෙයවනු ලබන්නේ දෙවියකු විසිනි.

සති කිහිපයකට පසුවල තණකොළ නැති කන්ද මත තරුණිය දර්ශනය වනු ඇත හිරු බසිද්දී ගඟ අද්දර ගිරි කුළක් මත හිඳගන්නා ඕ, දිය මත නැ‍ඟෙන රැළි දෙස බලා සිටින්නීය. ඇය සිය ලාක්ෂා වන් කළු පැහැති කෙස් කලඹ ගඟ දියෙන් සෝදාගෙන ඔපෙරා ගීත ගයන්ට වන්නීය. ඇයට වයස අවුරුදු විසිතුනක් වුවත් මේ පළාතේ ගැහැනු මිනිසුන්ගේ ඇස්වලට නම් ඇය පෙනෙන්නේ අවුරුදු දාහතක යොවුනක හැටියටය. ඇයට ඇත්තේ කදිම සුමුදු ඡවි වර්ණයකි. මිනිසුන් කිසි දිනෙක දැක නැති අතිශයින්ම ප්‍රභාමත් නෙත් යුගලකි. ඇය පැමිණෙනු ඇත. පැමිණ ඔවුන්ගේ දෙවියාගේ හදවත ග්‍රහණය කරගන්නවාද ඇත්තේය.

මාතෘකා