ප්‍රේමය හටගන්න එක් බැල්මක් සෑහේ

 ඡායාරූපය:

ප්‍රේමය හටගන්න එක් බැල්මක් සෑහේ

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

පටන්ගැන්මේදීම යෙනාන් යනු ඇයට නුහුරු වදනකි. කොහේදෝ තියෙන මැද තැනක් ඒ නම් ෂැන්හයිව විරුද්ධ පැත්තය. ලෑන් පින්ට දැනෙන්නේ තමා මුඩුක්කුවක් තුළ බිත්ති අල්ලමින් පාර සොයාගෙන යන අන්ධ ගැහැනියක මෙනි. ෂැන්හයිවලට පසුව ඇය තවත් නගරවලට ගියාය. නැන්කින් වූ හෑන් සහ චොන්ග්ක්වින්. මිත්‍රයන්ටත් දන්නා හඳුනන අයටත් කතා කොට තමා ගැන හඳුන්වා දෙන්නැයි ඇය ඉල්ලා සිටියාය. එහෙත් කිසිවක් හරි ගියේ නැත. එක්කෝ ඔවුහු ඇය ගැන කිසිවක්ම නොදනිති. නැතිනම් ඕනෑවටත් වඩා දනිති. ඇය දොරවල්වලට තට්ටු කළාය. නන්නාඳු නන ඇයට තමාගේ නම දැනුම් දුන්නාය. ඇය ගමන නැවැත්වූයේ නැත. තල්ලු වෙමින් තල්ලු වෙමින් ඉදිරියටම ගියාය. බලාපොරොත්තුවේ පින්තූරයක් හැමවිටම සිතෙහි රඳවාගෙන සිටියාය.

නිතර නිතර වැඩි වැඩියෙන් ඇයට ඇසෙන්නේ මා ඕ සේ-තුන් යන නමය. ගරිල්ලා වීරයෙක්. ගොඩනැඟෙමින් පවතින ජන පුරාවෘත්තයක නාමයක්. ඔහු නියෝජනය කරන්නේ රට මැද චීන ජනතාවය. ඒ කියන්නේ ජපනුන් විසින් අත්පත් කරගෙන ඇති තම නිජබිමෙහි වෙසෙන සියයට අනූපහක් තරම් වන ගොවි ජනතාවගේ බහුතරයයි. තම දරුවන් පාසල් යවන්නටවත් ඔවුන් කලා ශිල්පවලට යොමු කරවන්ටවත් විනෝදාස්වාදය ලබාදෙන්නටවත් මේ ගොවි ජනතාවට මුදල් නැත. එහෙයින් ඔවුහු සිය දරුවන් රතු හමුදාවට බැඳෙන්නට යවති. එසේ යවන්නේ මා ඕ සේතුන්ගේ නායකත්වය යටතේ කොමියුනිස්ට්වරුන් වන්නටය.

ඇයට ඇත්තේ පුරෝගාමියකුගේ ඇස්ය. ඒ දැක්මෙනි ඈ තමාගේ ඊළඟ වේදිකාව සොයාගන්නේ යෙනාන් යනු ඇයට තමන් සතු කරගත හැකි ඇති භූමිභාගයයි.

පිටත්ව යන්නට පෙර ඇය ලිපියක් ලියුවාය. ඒ ලිපිය ”ෂැන්හයි රංගකලා සතිපතා පත්තරයෙහි” පළ විණි. ලිපියෙහි සිරස්කඩ වූයේ ”අපේ ජීවිතය දෙස බලන බැල්මක්” යනුය. එකී ලිපියෙහි ලා මැද පන්තියේ භාවාතිශය හුවා දක්වන ”මලානික කලාව” ඇය දෝෂ දර්ශනයට ලක් කළාය. ගැහැනුන්ගේ පරිත්‍යාගයන්ට පසසන නාට්‍ය, දෙපා වෙලන සම්ප්‍රදාය හුවා දක්වන නාට්‍ය, රටෙහි පවත්නා මරණීය තත්ත්වය කෙරෙහි අඳ නෙත් ඇති කලාව මේ සියල්ල ඇය විසින් හඳුන්වන ලද්දේ”ආත්මාර්ථකාමී කලාවක්” හැටියටය. ”මට නම් කලාව කියන්නේ අවියක්ත ජපනුන්ට, අධිරාජ්‍යවාදීන්ට සහ අනෙක් සතුරන්ටත්, අයුක්තියටත් විරුද්ධව සටන් කරන්ට යොදාගත හැකි අවියකි”යි ඇය පැවසුවාය.

”අපේ ජීවිත දෙස බලන බැල්මක්” මහා හඬක් විය. ඒ හඬට කකුල් තිබුණේය. ඒ හඬ යෙනාන් දක්වාමත් එතැනින් මා ඕගේ ලෙනත් ඔහු නිදන සයනයත් දක්වාම ගමන් කෙළේ යැයි කියැවිණි.

ඇය නැ‍ඟී සිටින අබලන් ට්‍රක් රථය මැරෙන්ට වැටී ඇති සිවුපාවකු මෙන් කෙඳිරිගායි. ෂැන්හයි සිට පැමිණ සිටින තරුණියගේ සිරුර රත්පැහැ දුහුවිල්ලෙන් වැසිලාය. ඇය සිටින්නී උද්යෝගිමත් පියොවිනි. සති තුනක ගමනින් පසුව ඇය, රතු භූමි භාගයේ ද්වාරය වන සියෑන් පසු කළා පමණි. ඔවුහු යෙනාන් සිට එන ගමනේ අවසාන නැවතුම වන ලූවෝ චුආන් නගරයට ඇතුළු වෙති.

1937 අගෝස්තු

ඇය සූ නමැති ගැහැනියක සමඟ මිත්‍ර වෙයි. මේ ගැහැනිය යන්නේ ඇගේ සැමියා වන වෑන්ග් නමැත්තා සමඟ එක්වන්නටය. ජපාන අාක්‍රමණයට විරුද්ධ එක්සත් පෙරමුණ නමැති කොමියුනිස්ට් පක්ෂ සංවිධානයේ ලේකම්වරයා වෑන්ග්ය.

ලෑන් පින් සහ සූල එදින රාත්‍රිය ගත කරන්නේ ගොවියකුගේ ගෙපැලෙහිය. ඔවුන්ගේ ඇඳන් සකස් කොට තිබුණේ පිදුරුවලිනි. පසු දින රැස්වීමේ දී වෑන්ග් මුණගැසීමෙන් පසුව යෙනාන් දක්වා එකට ගමන් කරන්ට ඔවුහු සැලසුම් කොට සිටිති. ලෑන් පින්ට වෙහෙස දැනෙයි. ඇය කල්තියා නින්දට යයි. හෙට උදා කාලය නව චීනයේ නොවිසඳුණු අබිරහසක් හැටියට ඉතිහාසයෙහි සටහන් වන්නට නියමිත වග ඇය දන්නේ නැත.

උදේ ආහාර ගනිද් දී ඇයට සූ කියා සිටින්නේ තම සැමියාගේ රැස්වීම ඒ පාරේ ගෙවල් කිහිපයකට එහායින් ඇති තැනක පැවැත්වෙන බවය. පාන්දර වන විට රැස්වීම අවසන්ව ඇත. ගමන සඳහා බනිස් ගෙඩි ටිකක් ඔතා ගනිමු යයි සූ යෝජනා කරයි. ලවෝ-චුආන් සිට යෙනාන් දක්වා ගමනට සැතපුම් පනස් ගණනකි.

උදා කාලය සිහිල්ය. නැග එන හිරු එළියෙන් කඳුයාය රන් පැහැ ගැන්වී ඇත. ලෑන් පින් අලුතින් මසන ලද අළු පැහැති රතු හමුදා නිල ඇඳුමෙන් මොනවට සැරසී සිටින්නීය. ඉඟටියෙහි බඳින ලද පටියකි. ඇගේ සිහින් සිරුර විලෝ ගසක් වැනිය. දිගට ගොතන ලද කොණ්ඩා කරල් දෙක නිල් පැහැ රිබන් පටිවලින් බැඳ ඇත්තේය. තමන් සතු බෑග්ද උසුලාගෙන ඇය සහ සූ ට්‍රක් රථය දෙසට යති. මඳක් ඔබ්බෙන් කාලගුණයෙන් බැට කෑ තවත් වාහන තුනකි. එක කාර් රථයක මෙසේ ලියා ඇත. ”හදිසි වෛද්‍ය රැකවරණ - ජීවිත ආරක්ෂා කට්ටලය. නිව්යෝර්ක් චීන කම්කරු සංගමය”එය මා ඕ සේතුංගේ කාර් රථයයි.

අනාගත කාලයේදී ඊළඟ මොහොත ගැන සාකච්ඡා වනු ඇත්තේ ඉතිහාසයේ වැදගත් මොහොතක් හැටියටය. විවිධ වූ අදහස්ද විවරණද ප්‍රකාශ වී ඇත්තේය. සමහරු නම් කියන්නේ මා ඕ ඒ කුඩා නිවසෙහි පැවැති රැස්වීමෙන් එළියට ඇවිත් සිය කාර් රථය තුළට පිවිසි බවත් ඒ මොහොතෙහිම ලෑන් පින් ට්‍රක් රථයට නැඟුණු බවත් දෙදෙනාට මුණගැහෙන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය. තවත් සමහරු කියන්නේ නායකයන් එකිනෙකා පිටතට එනු ලෑන් පින් බලාගෙන සිටි බවය. ඔවුන් සිය කමිස සාක්කුවල ගසාගෙන සිටි තීන්ත පෑන් විකාර දර්ශනයකැයි ඇයට හැඟුණු බවය. කෙසේ වෙතත් ඒ පිරිස අතරින් මා ඕ කවුදැයි ඇය හඳුනාගෙන නැත. තවත් ඇතැමුන් පවසන්නේ නිවසේ දොරෙන් එළියට පැමිණෙන විට මා ඕ තම හිස නැවූ බවය. ඒ, ඔහුගේ උස නිසාවෙනි. කෙසේ වෙතත් ඔවුන් කියන ආකාරයට නැමුණු හිස ඔසවද් දී ඇගේ රූසපුව මා ඕ විසින් දැක ඇත. ප්‍රේමය හටගෙන ඇත්තේ පළමු දර්ශනයේදීමය. මා ඕ මැතිනිය කියන තමාගේම කතන්දරයේ හැටියට ඒ අවස්ථාවේ දී හැම කෙනෙක්ම පැමිණ ඇයට හලෝ කියා ඇත.

ඇත්ත නම්, කිසිවකු නොපැමිණි බවය. කිසිවකු කිසිවකුට හලෝ කියාද නැත. ෂැන්හයි තරුණිය ට්‍රක් රථයට නැඟ සුවපහසු තැනක හිඳගන්නීය. අනතුරුව ට්‍රක් රථය පිටත්ව යයි. මිනිසුන් නිවසේ සිට එළියට බහිනු ඇය දකියි. ඔවුන් වැදගත් අය බව ඇය දනියි. එහෙත් ඔවුනතරින් මා ඕ කවුරුදැයි ඇය දන්නේ නැත. ඔහු හමු වන්නට ඇය බලාපොරොත්තු වන්නේද නැත.

අර බලන්ඩ. එයා තමයි. වෑන් සිය බිරිඳට කොඳුරා පවසන එවදන් ඇයට ඇසෙන්නේ ට්‍රක් රථය පිටත් වන්ට කලින් නොවෙයි. ඒ මා ඕ ඇයගේ අවධානය යොමු වන්නේ ඒ මොහොතේදීය. එවිට ඇය පාරෙන් එහා පැත්තේය. එහෙත් ඇයට ඔහු දැකගන්ට නොලැබෙයි. ඔහුගේ පැමිණීම යෙනාන්වලට ලොකු දෙයකි. ඒ වන විටත් ඔහු කාර් එක ඇතුළේය. ”හදිසි වෛද්‍ය රැකවරණ- ජීවිත ආරක්ෂා කට්ටලය - නිව්යෝර්ක් චීන කම්කරු සංගමය. ඇයට ඔහු අල්ලාගන්ට බැරිය. ඇයට දකින්ට ලැබෙන්නේ කාර් රථයෙන් පිට වන දුම පමණි. හරියට හෘදයාබාධයක් ඇති රෝගියකු මෙන් ඒ කාර් එක සැලෙමින්, පනිමින් යනු ඇයට මතකය.

මාතෘකා