එක විදියක විකාර චිත්‍රයක්

 ඡායාරූපය:

එක විදියක විකාර චිත්‍රයක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

1949 දී සිදු වූ කොමියුනිස්ට් විමුක්තියත් සමඟම ටෑන් නාහ් හොංකොන්වලට මාරු විය. ඔහු කළේ නුවණක්කාර වැඩකි. ඔහු නැවතුණේ නම් මාවෝ මැතිනිය ඔහුට මොනවා නම් නොකරනු ඇද්ද? ඔහුටත් ජුන්ලි සහ ඩෑන්ට අත් වුණු අවසාන ඉරණමම අත් වන්ට ඉඩ නොතිබිණිද? අනාගතයේ දී කරදර ඇති වන්ට ඉඩ ඇතැයි ටෑන් නාහ් දැන සිටින්ට ඇත. ඔහුට හොඳ දැක්මක් තිබුණි.

පැගෝඩා ඔෆ් සික්ස් හාර්මනීස් ගැඹුරු කල්පනාවක නිමග්නව සිටින නිහඬ මිනිහකු මෙන් නීල වර්ණ විල්ලුද තිරයක් වන අහස පසුබිමෙහි නැඟී සිටියි. කොතරම් නම් ප්‍රේමවන්තයින් එතැන දී දිවුරා ඇත්ද? ඒ දිවුරුම් කඩ කොට ඇත්ද? මේ විසල් මන්දිරය සාක්කි කියන අපූරුව! මගේ කඳුළු රස මට තාමත් දැනෙයි. අප ස්වාමිපුරුෂයාත් බිරිඳත් හැටියට ප්‍රකාශයට පත් කළ ඒ මොහොත. එයින් සුවය ලබන්නට මට කොතරම් අවශ්‍ය වී දැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණි. මම හැමදෙයම ඔහුට දුන්නෙමි. සූෂව් සිට පැමිණි ඒ මිනිහාට.

දැන් ඉතින් අන්තිමේ දී මා ඔහු අතහැර යන බැවින් අපේ ජීවිතයේ හැම හොඳ දෙයක්ම ආපසු මතකයට එයි. ඒ ස්මරණ ඉතා විචිත්‍රය. අනාරාධිතවම මගේ සිහිනවලට පැමිණෙන ඔහු මා වැළඳගනියි. මා අවදි වන්නේ ඔහුගේ නම හඬනගා කියමිනි. ඒ ඔහු ගැහැනුන් ගැන තමාගේ උමතු අදහස් පැවසීමෙන් පසුවය. ඔහු ස්ත්‍රී ශරීරය වන්දනා කරන ආකාරය. තමාගේ සිරුර කෙරෙහි ඔහු තුළ එතරම් තැකීමක් ඇත්තේ නැත. විශේෂයෙන්ම තමාගේ පුරුෂ නිමිත්ත ගැනවත් ඔහු තුළ උද්දාමයක් නැත. මගේ සිරුර මත වැතිරෙන හැම අවස්ථාවකදීම ඔහු එසේ කරන්නේ කමිසය ඇඳගෙනමය. හරියට රාජාලියෙක් සිය පියාපත් සම්පූර්ණයෙන්ම විදාගත් කලෙක මෙනි. ඔහුගේ මුහුණ මගේ මුහුණට ඉහළින් එල්බගෙනය. එය එක විදියක විකාර චිත්‍රයෙකි.

ඔහු කැමති ආලෝකය තිබෙනවාටය. මඳක් අඩුවට. අඳුරුවට. හැම රැයෙකම ඔහු, ඒ එළිය විවිධ කෝණවලට හරවයි. ඔහුට අවශ්‍ය, මගේ සිරුර විවිධ හැඩතලවලින් බලාගන්ටය. ඔහු ආලෝකය, පුටුවක් මත හෝ ඇතුළු කුටියක හෝ ඇඳ යට හෝ තබන්නේය. එසඳ මා දෙස බලා සිටින ඔහු පවසන්නේ මට ඇත්තේ දෙව්දුවකගේ සිරුරක් බවය. ඔහු මගේ සමේ පැහැයට වන්දනා කළේය. එහි ඇත්දළ පාටට. ඒ නම් අපූරු දෙයකි; මගේ සම වයසට නොයයි. පසු කලෙක මාවෝ මැතිනිය පැවසුවාය. සිරුරේ සමට හානිකර විය හැකි නොයෙක් තැන්වලට මම ගොස් ඇත්තෙමි. එහෙත් පුදුමයට මෙන් මගේ ශරීර චර්මය නොවෙනස්ව පවතියි.

ඔහු සිගරැට්ටුවක් දල්වනු මම සිහි කරමි. උගුරක් ඇද ඔහු ඒ දුම පිට කරන්නේ මගේ ළැම මතටය. නැහැදිච්ච මහල්ලෙක් මෙන් ඒ දුම වට හැදෙමින් මගේ පියයුරු වටා විහිදෙනු ඔහු බලාහිඳියි. අහා, ඔහු කියයි. අහා, ඔහු ඇහිපිල්ලන් ගසයි. අහා, මම ඔහුට තේ ගෙනෙන්ට නැගිටිමි. මා එසේ කරන්නේ මාගේ ආදරය ප්‍රකාශ කරන්නටය. ඉන් ඔහු සතුටට පත් වන බව මම දනිමි. නවතින්ඩ. සිගරැට්ටුව නිවා අළු බඳුන තුළ ඔබා ඔහු කියයි. මෙහාට එන්ඩ.

කොහේ නමුත් හොඳය. පුටුවක් මත, සෝපාව මත, ගෙබිම මත, කවුළුව ළඟ, සාලය මැද, ඇතැම්විට කාමරය මැද හිටගෙනම වුණත්. හරියට, අප සිටින්නේ වේදිකාවක මෙනි.

*********

1937 ජූලි

කෝපයට පත් මකරකු මෙන්ල කෝච්චියක් මුළු රාත්‍රිය පුරාම ලතෝනි දෙමින් සිටියි. එය ගමන් කරන්නේ රටේ වයඹ දිග ෂැන්සි පළාතටය. ඒ වනාහි ගරිල්ලා අඩවියකි. කොමියුනිස්ට් පක්ෂයේත් එහි රතු හමුදාවේත් හදබිමක්ය. ලෑන් පින් ගමන් කරමින් සිටින්නීය. මාර්ගයේ තත්ත්වය ඉතා නරකය. කවුළුවෙන් පිටත වුව පෙනෙන්නට ඇත්තේ පාළු මුඩුම දර්ශනයකි. මෙම භූමිභාගයෙහි කඳු වැටි නැත. ගංගා නැත. ගස් නැත. වගාවන් නැතගල්. උස් බිම් යාය සැතපුමෙන් සැතපුමට දික් වෙයි. මේ වන විට දුම්රිය ජියෑන්ග්සු, අන්හුයි සහ හෙනාන් පළාත් පසු කර ඇත්තේය.

සිත් ගන්නා කිසියම්ම දෙයක් දුටුවේ දැයි ලෑන් පින් ළඟම වාඩි වී සිටින මිනිහෙක් ඇයගෙන් විමසයි. ඇගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොසිට ඔහු පවසන්නේ ඔවුන් දැන් පසු කරමින් සිටින්නේ ඉපැරණි යුදබිම් කිහිපයක් බවය. හිරු නැ‍ඟෙන්ට පටන්ගෙන ඇත. කළු පැහැ ගත් සමින් යුතු ගැහැනු මිනිස්සු කුඹුරුවල සීසාමින් සිටිති. ගැහැනු ඔවුන්ගේ ළදරුවන් පිට මත තබාගෙන යති. මිනිහා ලෑන් පින්ට පවසා සිටින්නේ 1928, 1929 අවුරුදුවල දී ඒ පළාතේ මිලියන තුනක ජනතාවක් කුසගින්නේ මියගිය බවය.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා