අනාරක්ෂිත පරීක්ෂාවක්

 ඡායාරූපය:

අනාරක්ෂිත පරීක්ෂාවක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඇය මා ඕ මැතිනිය වුවද කම් නැත. පක්ෂයේ අපක්ෂපාතිත්වය ප්‍රදර්ශනය කරනු උදෙසා කිසි වෙනස්කමකින් තොරව ඇයද පරීක්ෂාවට භාජන කරනු ලැබෙයි. මෙම රසායන ගුදම් තුළ ගිල්වන්ට ඇයගේද වාරය පැමිණ ඇති බැව් දන්වනු ලැබෙයි.

ඇය තැතිගන්නීය. තමාගේ පසුබිම ගැන ඇය අවුලට පත් වෙලාය. විශේෂයෙන්ම කොමියුනිස්ට්වාදය හෙළා දකිමින් චියං කායි-ෂෙක්ගේ පුවත්පතට සිය අත්සන දීම සම්බන්ධයෙනි. කළ යුත්තේ කුමක්දැයි ඇගේ මිත්‍ර කෑන් - ෂෙන් උපදෙස්දී ඇත්තේ වී නමුදු ඇයට විශ්වාසයක් නැත.

කරුණාකරල ඔබත් මගේ රැස්වීමට එනවාද? ඇය කෑන්-ෂෙන්ගෙන් අයැද සිටියි.

කාමරය මැදට මා ඕ ජියෑන් චින් මැතිනිය පමුණුවනු ලබන්නීය. සිය ගණනක් නෙත් ඇය දෙසට යොමු වී ඇත්තේය. ආකෘතියෙන් ඉල්ලා සිටින කරුණු සම්බන්ධයෙන් ඇය ආත්ම විනිශ්චයක් ඉදිරිපත් කර සිටියි. දිග හුස්මක් ගෙන ඇය පරීක්ෂාවට භාජන වන්නීය. ඇය පිළිබඳ විස්තරය මනහර මැන්ඩරින් බසින් ලියන ලදුව සුමටව ඉදිරිපත් කෙරෙයි. ඇයගේ පසුබිම් විස්තරය ඕනෑවටත් වඩා සුපිරිසුදුය. වැඩවසම් ක්‍රමයේ අයුතු බලපෑමට ලක් වූ දැරියක් ක්වින් ඩා ඕහි තරුණ කොමියුනිස්ට්වරියක් ෂැන්හයිහිදී ජපාන ආක්‍රමණිකයන්ට විරුද්ධ චිත්‍රපටවල රඟපෑ වාමවාදී නිළියක් අන්තිමේදී පරිණත විප්ලවවාදිනියක හැටියට යෙනාන් වෙත පැමිණ මා ඕගේ බිරිඳ බවට පත්ව සිටින්නීය.

තමාගේ ඉදිරිපත් කිරීම නොකැලැල් යයි ඇය විශ්වාස කරන්නීය. කෙසේවතුදු, මඟහැරුණු කාලය පිළිබඳව කරුණු දක්වන්නැයි පිරිස අතර සිටි කිහිප දෙනෙක් ප්‍රශ්න කරති. සිර ගෙදර තුළදී ඇගේ නිර්භීතභාවය ඔප්පු කරනු සඳහා සාක්‍ෂිකාරයකු ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිති.

හදිසියේම සන්ත්‍රාසයට පත් වන ඇය අනාරක්ෂිත තත්ත්වයට වැටෙන්නීය. ඇගේ පද පේළි අවුල්සහගත වෙයි. වචන එකිනෙකට අසම්බන්ධිතය. මොකක්ද කාරණය? මම සාක්ෂිකාරයකුත් ඉදිරිපත් කරන්ඩ ඕනෑ ඇයි? ඔබලා කියන්නෙ මම කතාන්තරයක් ගොතල කියනව කියලද? මම එහෙම කරන්නෙ කොහොමද? මම විප්ලවවාදිනියක්ව හිටියා. මං ඔහේලට බය නෑ...

මොහොතක නිහැඬියාවකි. නමුත් හැමදෙනාගේම මනසෙහි ඇත්තේ කුමක්දැයි කවුරුත් දනිති. නිළිය අසමත් වනු දැකීමේ අපේක්ෂාව ඇත්තේය.

කරුව අයින් කරන්ඩ. එතකොට වේදිකාව නිළියත් සමඟම කඩා වැටෙයි. විගසින් පිරිස ඒකාවන්ව පහර දෙන්ට පටන්ගනිති. ඔබේ ආකල්පය මොකක්ද ජියෑන් චින් සහෝදරිය? හංගන්ඩ දෙයක් නැත්නම් ඔය තරම් කලබල වෙන්නෙ ඇයි? මොකද මේ, වාත සන්නිය? සැක සාංකා තියෙන විට ප්‍රශ්න කරන්ට සහෝදරවරුන්ට තියෙන අයිතිය හොඳ දෙයක් නෙමේද? විශේෂයෙන්ම කෙනෙක් සතුරාගේ හිර ගෙයකින් නිදහස් කිරීම සම්බන්ධයෙන්. හැම දෙනාගේම වගකීම තමයි සහයෝගය දීම. කිසිම කෙනෙක් යෙනාන්වල කොමියුනිස්ට් පක්ෂයට ඉහළින් ඉන්නෙ නෑ. මා ඕගෙ බිරිඳ වුණත් පක්ෂයට ඉහළින් සිටින්නෙ නෑ.

ක්‍රම ක්‍රමයෙන් අවස්ථාවේ ස්වරූපය වෙනස් වන්ට පටන්ගනියි. සැකය සහ අවිශ්වාසය වැඩෙන්ට වෙයි. සුළු සුළු කාරණාද දින වකවානුද පැය ගණන් මිනිත්තු ගැන පවා ප්‍රශ්න කෙරෙයි. ඒවා සංසන්දන කෙරෙයි. විග්‍රහ කෙරෙයි. නිදහසට කරුණු දක්වන්නැයි කරන ඉල්ලීම් බලවත්ව නැඟෙන්ට වෙයි. ඇය උගුලක වැටෙමින් සිටින්නීය. තමා විසින්ම කලින් ගොතන ලද ප්‍රබන්ධ නමැති උගුලේම ඇය වැටෙමින් සිටින්නීය. ඇයගේ කථාන්තරය ප්‍රතිවිරෝධතාවන්ගෙන් ගහණ වන්නට පටන්ගනියි. ඇගේ බොරුවල ඇති සිදුරු එළිපිටම ප්‍රදර්ශනය වන්නට පටන්ගෙනය. ඇය සිටින්නේ බිය සැකෙනි. සංවේගයෙනි.

ඇගේ මුහුණ රතු වෙයි. බෙල්ලේ නහරවැල් නිල් පැහැ ගනියි. බියට පත්ව සිටින ඇය කෑන්-ෂෙන් දෙසට හැරෙයි. උදවු කරන මෙන් දෑසින් කෙරෙන ආයාචනයකි.

ඒ ඉංගිතයෙන් ප්‍රධාන නළුවා දර්ශනයට අවතීර්ණ වන්නේය.

ආරක්ෂාව පිළිබඳ මධ්‍යම බියුරෝව විසින් මේ වන විටත් මේ කාරණය පරීක්ෂණයට භාජන කර අවසන් කෑන් ෂෙන් කතා කරන්ට පටන්ගනියි. නිගමනය ප්‍රත්‍යක්ෂයි. ජියෑන් චින් සහෝදරියගේ ශක්තිය පරීක්ෂාවට භාජන කරලයි තියෙන්නෙ. ඇය පක්ෂයට භක්තිමත්ව සිටියාය කියන කාරණය සනාථ වී ඇති දෙයක්. විප්ලවය වෙනුවෙන් ඇය විසින් ඉටු කරන ලද මෙහෙවර ඉතා විශාලයි. ඇය තමන්ගේ ජීවිතයත් අනතුරේ හෙළාගෙන තියනවා.

කෑන්-ෂෙන් සිගරැට්ටුවක් දල්වාගනියි. ඉතා පැහැදිලි මුහුණකින් යුතුව හෙතෙම කොමියුනිස්ට් දේවතාවියගේ පින්තූරය ඇඳ දක්වයි. අවසානයේදී ඔහු පිරිස දෙසට පන්දුවක් වීසි කරයි. ෂැන්හයි වාගෙ සුවපහසු සැපසම්පත් පිරුණු නගරයක් අතහැරල දාල ජියැන් චින් සහෝදරිය යෙනාන්වල දුෂ්කර ජීවිතයක් ගත කරන්ට පැමිණි කාරණය ඔබලා පැහැදිලි කරන්නෙ කොහොමද? ඒක කොමියුනිස්ට්වාදය කෙරෙහි ඇති භක්තිය නොවේ නම් වෙන මොකක්ද?

එළු රැවුලක් ඇති මිනිහා කතාව නවත්වයි. වටපිට බලයි. පිරිස අවුලට පත් කරන්ට තමන්ගේ වචන සමත් වූ ආකාරය ගැන සෑහීමට පත් වෙයි. ඉස්කුරුප්පුව තවත් තද කරනු සඳහා ඔහු තවත් ඇඹරිල්ලක් අඹරයි. ඒ නිසා පක්ෂයේ පරීක්ෂණය කෙරෙහි විශ්වාසය තබනවා කියන්නෙ ජියෑන් චින් කෙරෙහිත් විශ්වාසය තැබීමක්. ජියෑන් චින් සහෝදරිය විශ්වාස කරනවා කියන්නෙ පක්ෂයත් කොමියුනිස්ට්වාදයත් විශ්වාස කිරීමක්. හිතලු මත පදනම් වී ඇති කරගන්නා සැකයන්ගෙන් පුද්ගලයා සතු අයිතිවාසිකම් කඩ වෙනව. ඒක ප්‍රතිගාමී ක්‍රියාවක්. දක්ෂිණාංශික කටයුත්තක්. ඒකෙන් අන්තිමේදි ප්‍රකාශ වෙන්න, වෑන් මින් සහ අවසාන සතුරා කෙරෙහි අනුකම්පාව දැක්වීමක්.

තොල්පටවල් බන්ධනය වෙයි. කටහඬ නිහඬ වෙයි. ප්‍රශ්න විචාරීම අවසන් කෙරෙයි. අර්බුදයෙන් ගොඩ ඒමට එය සෑහෙතැයි මට විශ්වාසය. එහෙත්, එය අවසානයමද නොවේය. ජනතාවගේ මුහුණු මත තවත් ප්‍රශ්න එල්බගෙන ඇත්තේය. අනෙක් පරීක්ෂණවලදී අනුකම්පා විරහිත දැඩි පිළිවෙතක් අනුගමනය කරන කෑන්-ෂෙන් මෙම පරීක්ෂණය සවුත්තු කර දැම්මේ ඇයි?

මාතෘකා