වැඩකාරියක් වන රැජිනක්

 ඡායාරූපය:

වැඩකාරියක් වන රැජිනක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

මා ඕ සිය නිවස තුළ කුඩා රැස්වීම් පවත්වයි. ඔහු ඒ කිසිවක් ගැන මට කලින් කියන්නේ නැත. එන්නේ කවුද කියාවත් ඔහු නොකියයි. ඒ, ඔහුගේ ක්‍රමයයි. ඔවුන්ට එන්නැයි කියා ඔහුගේම කොන්දේසි පණවා ඔහු පොඩි මකරා පිටත් කර යවනවා පමණි. එය උදේ පාන්දර තුනට විය හැක. නැති නම් මධ්‍යම රාත්‍රියේ විය හැක. අහර බුදින අතර යුද්ධය ගැන සාකච්ඡා කරන්ට නියමිතය. මට සිදු වන්නේ කුස්සියේ යුද්ධයට යන්නටය. ගොස් ඔවුන්ට කෑම පිළියෙළ කරන්නටය. ඇතැම් අවස්ථාවක කෝකියකු හෝ මුර භටයකු හෝ මගේ උදව්වට පැමිණෙයි. එහෙත් අවසානයේදී සියලු පිරිසුදු කිරීම් කළ යුත්තේ තනිවම මවිසිනි.

මා රඟපාන භූමිකාව අමුතුම තාලයේ එකකි වැඩකාරියකද වන රැජිනක්.....

සම්මේලනයේදී පක්ෂයේ එකම නායකයා හැටියට මා ඕ තෝරාගනු ලැබෙයි. චියං කායි-ෂෙක්ගේ ධවල ප්‍රාන්තයන්හි කොමියුනිස්ට් ජාලය ගොඩනඟා ඇති ලියු ශා ඕ-ක්වි දෙවැනි නායකයා හැටියට පත් කෙරෙයි. ස්වකීය නව තානාන්තරය පිළිගනිමින් කළ කතාවේදී උපසභාපති ලියු ශා ඕ-ක්වි විසින් මා ඕ මහ ඉහළින් තබා ප්‍රශංසාවට ලක් කරන ලද්දේය. පොඩි මකරා කලබලකාරී ආකාරයෙන් වචන උච්චාරණය කරමින් සම්මේලනයේ සියලුම අලුත් තතු මා වෙත වාර්තා කරයි. ලියු ශා ඕ-ක්වි විසින් මා ඕගේ නම එකසියපස් වතාවක් සඳහන් කර ඇත්තේය... මුරභටයා අපේක්ෂා කරන්නේ මා විස්මයට පත් වෙතැයි කියාය. එහෙත් මට මගේ දොම්නසත් දුක්ඛ වේදනාවත් සඟවාගත නොහැක.

පසු කලෙක නිදාගන්න අවස්ථාවකදී මා ඕ බිරිඳ නැවත ඒ ප්‍රශ්නයම අසයි. තමාටත් සම්මේලනයේ අසුනක් ලබාගත හැකිද? තම කටහඬෙහි ස්වරය වෙනස් කරමින් ස්වාමිපුරුෂයා පිළිතුරු දෙයි.

මට බෑ, කාටවත්ම ආසනයක් ලබා දෙන්ට. ඒක දිනාගන්ට ඕනෑ දෙයක්.

බිරිඳ නැඟිට හිඳගනියි. මං ඒක දිනාගෙන තියෙනවා කියල ඔබ හිතන්නෙ නැද්ද?

ඔහු පිළිතුරු දෙන්නේ නැත. සුසුමක් හෙළනවා පමණි.

ඇය දෙනෙතින් කඳුළු පිසගන්නීය. හොඳයි මට ඒක දිනාගන්ඩ අවස්ථාවක් ලබාදෙන්ඩ.

මා ඕ මට කියවන්නට පොත් ලැයිස්තුවක්ම දෙයි. ඔහු මට දෙන්නේත් සී-ෂෙන්ට දුන් බෙහෙත් තුණ්ඩුවමය. මාක්ස්, ඒන්ගල්ස්, ලෙනින්, ස්ටාලින් රාජධානි තුන සහ ඉතිහාසයේ වාර්තාවක්. නමුත් මා ඒ කිසිවක්ම කියවන්නේ නැත. එකක්වත්ම නැත. බෝතලය ඇතුළේ තියෙන්නේ මොන වර්ගයේ පෙතිදැයි මම දනිමි. සී-ෂෙන් කෙනකු වන්නට මා ප්‍රතික්ෂේප කරනවා පමණක්ම නොවෙයි. ඔහුගේ දේශපාලන රඟමඬලේ වේදිකා මෙහෙකාරියක නොවන්නටද මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.

ජියෑන් චින් ඔහුගේ වේදිකාවට කඩා වදින්ට වෑයම් කරත්ම මා ඕ අලුත් දේශපාලන ව්‍යාපාරයක් දියත් කරයි. වැඩ රටාවේ වැරදි හරි ගැස්සීම ඒ ව්‍යාපාරයයි. ඒ අවුරුද්ද 1942 ය. මුලදී එය සලකනු ලැබුණේ සාමාන්‍ය දේශපාලන පරීක්ෂාවක් හැටියටය. එය භීෂණ ව්‍යාපාරයක් බවට පත් වන්නේ ඉනික්බිතිවය. හදිසියේම ”දේශද්‍රෝහීහු”, ”ප්‍රතිගාමීහු” සහ ”චියං කායි-ෂෙක් ඒජන්තයෝ” හැමතැනකදීම අල්ලාගනු ලැබෙති. පසු කලෙකදී ඉතිහාසඥයන්ගේ විස්මයට ලක් වන කාරණය නම් ඒ වූකලී තමන්ටම විරුද්ධව මවාගත් කුමන්ත්‍රණයක් දියත් කළ විශේෂඥයන් දෙදෙනා වන මා ඕ සහ කෑන්-ෂෙන් විසින් හසුරුවනු ලබන ව්‍යාපාරයක් බවය.

මෙම ව්‍යාපාරය එන්න එන්නම පටු වන්ට පටන්ගෙන ඇත්තේය. එහි කේන්ද්‍රීය අවධානය යොමු වී තිබෙන්නේ ඇතුළත සිටින සතුරන් සමූල ඝාතනය කිරීම කෙරෙහිය. මුළු මහත් යෙනාන් කඳවුර තුළම සන්ත්‍රාසය පැතිර යයි. දැඩි මතධාරී වාමවාදී සැබෑ කොමියුනිස්ට්වරයකු හැටියට කෙනෙකුට නැඟී සිටින්ට අවශ්‍ය නම් කළ යුතු වන්නේ අවශේෂ අයට දක්ෂිණාංශිකයන් හැටියට චෝදනා කිරීමය. උදේ කාලයේදී විප්ලවවාදීකාරයකු වන තැනැත්තා මධ්‍යාහ්නයේදී කොමියුනිස්ට් විරෝධී සැකකාරයකු බවටද පත්වල සන්ධ්‍යා භාගයේදී සතුරකු බවට පත් වන්නේය. කෙනෙක් උදේ රැස්වීමේදී වරද පිළිගන්නැයි සෙසු අයට බලකර සිටියි. සවස් භාගයේ රැස්වීමකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබ අන්ධකාර පාපෝච්චාරණ කාමරයක සිර කරනු ලැබෙයි. මෙකී ව්‍යාපාරය හඳුන්වා දෙන්නේ රෙන් - රෙන් ගුවෝ - ගුවන් කියාය. ඒ කියන්නේ” හැම දෙනාම පසු කර යා යුතු තීරණාත්මක සංධිස්ථානයක්” බවය. මෙකී රැස්වීම් සම කර ඇත්තේ රසායනික ගුදම් හැටියටය. ඒවා තුළට සතුරන් එබූ පසුව ඔවුන්ගේ ලෙඩ රෝග පෙනෙන්නට වෙයි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා