මේක මොන ආකාරයෙ විවාහ සුබ පැතිල්ලක්ද?

 ඡායාරූපය:

මේක මොන ආකාරයෙ විවාහ සුබ පැතිල්ලක්ද?

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මා ඕ ඉදිරියටම යයි. ජනතාවට සත්‍යය පහදා දෙන්ට මා සූදානම්ය. ජනතාව තමන්ගේ හෘදය සාක්ෂියට අනුව විනිශ්චයකට එන බව මට සහතිකය. මේ පක්ෂය චාටු බස් කියන්නේ රජතුමාගේ අලුත් ඇඳුම් ඇඳගෙන බව එදාට ජනතාවට වැටහේවි. ඔවුන් ප්‍රශ්න කරාවි. නමුත් කිසිම කෙනෙක් මා ඕගෙ පෞද්ගලික සුබසිද්ධිය ගැන සැලකිල්ලක් දක්වනවාද? එයා මේ වන තුරු බර වැඩ කරල තියෙනව මදිද? එයා පක්ෂයේ වහලෙක්ද? ජනතාව තම තමන්ගේ නිගමනවලට ඇවිත් අනුගමනය කළ යුත්තේ කවුරුන්දැයි තීරණය කරනු ඇත. නමුත් ඔවුන්ට හොඳ සිහිය එන විට හොඳටම පමා වූවා වන්ට පුළුවනි. ඒ වන විට මම ගිහිල්ල හිටීවි. මම අලුත් රතු හමුදාවත් ගොඩනගනව. පිරිමින්ටත් ගැහැනුන්ටත් ප්‍රේමය මත නිදහසේ විවාහ වන්ට පුළුවන් නව පදනමක් ගොඩනගනව. එතකොට මගේ දරුවන්ට හැකි වේවි මගේ නම ගන්ට. එදාට මේ ඊනියා විමුක්තිය කියන වචනය තවදුරටත් ලීයෙන් හදාපු කුරුල්ලෙක් වෙන එකක් නැහැ.

කිසිවකු මා ඕගේ හැකියාව - ශක්තිය - අවතක්සේරු කරන්නේ නැත. චියන් කායි-ෂෙක්ගේ මාරක ප්‍රහාරයෙන් රතු හමුදාව බේරාගත්තේ මා ඕ බව දේශපාලන මණ්ඩලයේ හැමදෙනාටම හොඳටම මතකය. අන්තිමේදී රටින් පිටුවහල් වීමේ තර්ජනයකටත් මුහුණ පා තිබුණු දීර්ඝ ප්‍රයාණය ජයග්‍රහණයේ දිගු ගමනක් බවට පරිවර්තනය කරන ලද්දේ මා ඕ විසිනි. සතියක් පමණ කාලයක් තුළ පැවති අවහිරයකින් පසුව සාකච්ඡා කරන්ට ඔවුහු තීරණය කරති. සුක්කානම ගන්ට කෙනෙක් නැතුව නෞකාවක් යාත්‍රා කරන්නේ කෙසේද?

මා ඕ සතුටට පත්ව සිටියි. පළමු වැනි ආර්යාවගේ බලයට සීමා පනවන්ට ඔහු ප්‍රතිඥා දෙයි. අතෙහි වූ සිගරැට් කොටය නිවා දමමින් ඔහු මෙසේ පවසයි. මම පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයෙක් විතරයි. මම දේශපාලන මණ්ඩලයේ තීන්දුවල කොන්දේසි විරහිතව පිළිපදිනව.

අනාගත මනාලිය බැඳ තබන්ට නීති රීති සම්පාදනය කෙරෙයි. ස්වකීය අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කිරීමට ඇයට තහනම්ය. මා ඕගේ කටයුතුවලට සහභාගි වීමත් ඇයට තහනම්ය. එසේම නිදාසිටින කොට්ටය මතදී මා ඕ වෙත අදහස් ඉදිරිපත් කරන්නටද ඇයට තහනම්ය. මේ ගනුදෙනුවට මා ඕ එකඟ වෙයි. කෙසේවතුදු මේ ආරංචිය ලෑන් පින් වෙත රැගෙන යන්නේ තමා නොවන බැව්ද මා ඕ දේශපාලන මණ්ඩලයට ඒත්තු ගන්වයි. ඒ කාරණය පක්ෂය තේරුම් ගනියි.

පක්ෂයේ පෞද්ගලික කටයුතු පිළිබඳ උපදේශක වන ලා ඕ ලින් සමඟ මම ගමන් කරමින් සිටිමි. මගේ ප්‍රේමවන්තයා ගමන් කරන්නේ අපට පියවර කිහිපයක් පසුපසිනි. ඒ සැන්දෑව සුවදායකය. එකිනෙකා සමඟ සුහද කතාබහක යෙදෙන්ට කදිම අවස්ථාවකි. අපි ගං ඉවුර වෙතට පැමිණ සිටිමු. කල්පනාවෙහි නිමග්නව මෙන් මගේ පෙම්වතා සෙමෙන් සෙමෙන් ඇවිදිමින් සිටියි. ලා ඕ ලින් සහ මම කාලගුණය ගැනත් ශරීර සෞඛ්‍යය ගැනත් යුද්ධය ගැනත් වචන හුවමාරු කරගනිමින් සිටියෙමු. තුරු කඳන් පිටුපසින් බැස යන හිරු දෙස බලා සිටින ඔහු ගස් හෙවණක් යට හිඳගනිමුයි යෝජනා කරයි.

ලා ඕ ලින් කතාව අරඹන්නේ මා වෙත සතුට ප්‍රකාශ කරමිනි. විවාහයට සම්බන්ධ අපගේ ඉල්ලුම්පත අනුමත වී ඇතැයි ඔහු පවසයි. මම කිසිම ප්‍රතිචාරයක් නොදක්වමි. ඔහුම බෝම්බය අතහරින තුරු මම බලා සිටිමි. ඔබට සතුටුු නැද්ද? හිනා වෙමින් ඔහු අසන්නේ දිග ඇඟිලිවලින් සිය රැවුළ පිරිමදිමිනි.

මම සූදානම් වෙමින් සිටියේ, මගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්ට, මම නොවළහා කෙළින්ම පවසමි.

ලා ඕ ලින් සිනාසෙන්නේ අසීරුවකිනි.

ගංගාව දෙසම නෙත් යොමාගෙන සිටින මගේ ප්‍රේමවන්තයා දෙස මම හැරී බලමි.

මගෙ කසාද සහතිකේ මට දෙනව නේද? මම ලා ඕ ලින්ගෙන් විමසමි.

හොඳමයි. මං ඒක දෙන්ඩ ඕනෑ තමයි....... ඒක කරන්ඩ මට අවසර ලැබෙන්ට කලින් මට ඔබෙන් පොරොන්දුවක් ඕනෑ.

ඔව්, මේ ඒක තමයි පුපුරා යාමක හඬක් බඳුය. ලා ඕ ලින් මා දෙස නොබලාම නීතිරීති ටික ප්‍රකාශයට පත් කරයි.

එහි ඝට්ඨනය මගේ සර්වාංගයම කම්පනයට පත් කරයි. එහි වේදනාව ආත්මය තුළටම කිඳා බසියි. ඒ මා බලාපොරොත්තු වූවාටත් වැඩි දෙයකි. ගං ඉවුරෙහි පැවති නිශ්චලත්වය බිඳ දමමින් මම පුපුරා හැළෙමි. මගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් නොකිරීම. ඒකෙ තේරුම මොකක්ද? මං අපරාධකාරයෙක්ද? සභාපතිතුමාට තමාගෙ පළමු වැනි බිරිඳ නැති වෙලාය කියන කාරණය පක්ෂය දන්නෙ නැද්ද? මාවත් යුද්ධෙදී නැති නොවෙයි කියල ඔහේල කියන්නෙ කොහොමද? මා ඕගෙ ලෙනට කී වතාවක් නම් බෝම්බ දැම්මද? ඔහේල ඝාතන ප්‍රයත්න කීයක් වාර්තා කරගෙන තියෙනවද? මා ඕ කසාද බැඳගන්නවා කියල කියෙන්නෙ මගේ ජීවිතය අනතුරේ දමාගැනීමක්. මට බලාගෙන ඉන්ඩ සිද්ධ වෙලා තියෙන දේශපාලන මණ්ඩලයට මා ගැන විශ්වාසයක් නැද්ද? මාක්ස්ගෙ නාමෙට මේක මොන ආකාරයෙ සුබ පැතිල්ලක්ද?

මාතෘකා