ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ මා සසල කළා

 ඡායාරූපය:

ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ මා සසල කළා

චිත්‍ර කලා නිර්මාණ ශිල්පී කරුණාසිරි විජේසිංහ

මම පොත් කියවන්න ආස කෙනෙක්. විවිධ විෂයන් යටතේ ලියවුණු පොත් මම කියවනවා. විශේෂයෙන් පරිවර්තන කියවන්න මම හරිම කැමතියි. පරිවර්තන අතරිනුත් මම වඩාත්ම කැමති රුසියාවේ සාර් පාලන සමයේ විසූ ලේඛකයන් ලියූ කෘති කියවන්න. ඒ කිව්වෙ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, ලියෝ ටෝල්ස්ටෝයි, නිකොලායි ගොගොල්, ඇන්ටන් චෙකෝෆ් වැන්නවුන්ගේ කෘති කියවන්න. ඒ අනුව මා මෙතෙක් කියවූ පොත් අතරින් මට අමතක නොවනම කෘතිය ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ (Death Souls) නවකතාවයි.

මේ කෘතිය සිංහලට පරිවර්තනය කරන්නේ සිරිල් සී පෙරේරා මහතායි. පරිවර්තකයාගේ තිබූ දක්ෂතාව නිසා මම මේ කෘතියට බොහොම ඇලුම් කළා. මේ පොත දහපහළොස් පාරක් විතර මම කියවලා තියෙනවා. ඒ හැම වේලාවකම මට දැනුණේ නැවුම් බවක්. ඒ නැවුම් බව සොයාගෙන සැරින් සැරේ ඒ පොත කියවන්න මම පෙළඹුණා. එහි විශේෂත්වය මුල් කෘතියේ ඇති අන්තර්ගතය මැනවින් කැටි කොට තිබීමයි. මේ නිසා පොත කියවන්න අතට ගත්තාම බිම නොතියා එකදිගට කියවන්න පුළුවන්. මේ පොත එච්චරටම කියවන්න පොළඹවන පොතක්. ‘මළ මිනිස්සු’ පරිවර්තනය කරද්දි සිරිල් සී. පෙරේරා යොදාගෙන ඇති භාෂාව නිසාත් එය කියවන්න ආසා හිතෙනවා. ඒ වගේම එහි කතා පුවත සියලු දෙනාටම පොදු බවක් දැනෙනවා.

ගොගොල් ‘මළ මිනිස්සු’ ඔස්සේ ප්‍රකාශ කරන්නේ 1830 ගණන්වල රුසියාවේ සාර් පාලන යුගයේ පැවති දේශපාලන තත්ත්වය හා එකල විසූ රදලයන්ගේ පිරිහීමයි. එකල ඉඩම් හිමි රදලයන් දාසයන්ගේ ශ්‍රමය සූරා කෑවා. මේ කතාවේ කතානායකයා කිට්කෝන් නම් පුද්ගලයෙක්. ඔහු රදලයෙක් නෙවෙයි. ඔහු රුසියාව පුරාම ඇවිදිනවා. මේ යුගයේ සාර් පාලනය දාසයන් සිටි රදලයන්ගෙන් දාසයන් ගණනට බදු අය කළා. ඒ බදු අය කිරීමේදී රදලයන් ළඟ සිට මියගිය දාසයනුත් ගණන් ගැනුණා. මෙනිසා රදලයන් කළේ ජීවත්ව සිටි දාසයන් තලා පෙළා වැඩ ගැනීමයි. මේ යුගයේදී වසංගතයක් පැමිණ දාසයන් මියයන්නත් පටන් ගන්නවා. කිට්කෝන් කපටිකම් කරන පුද්ගලයෙක්. ඔහු කරන්නේ වංශවත් රදලයන් හා කූට උපක්‍රමයෙන් මිතුරු වී මියයන දාසයන් භාරගැනීමයි. මියගිය දාසයන් සමූහයක් ඔහු ළඟ සිටි නිසා ඔහුත් රදලයෙක් යැයි අනිත් අය සිතනවා.

කිට්කෝන් මළ දාසයන් සොයා යන විට රදලයන්ගේ ගෙවතු පිළිබඳවත් විස්තර කරනවා. ඒ ගෙවතුවල පවතින සුන්දර බව, රදලයන්ගේ ගති පැවතුම් ආදිය ගොගොල් විස්තර කරන්නේ සිත් ඇද බැඳබැඳගන්නා ලෙසින්. මේ කතා පුවතේ කතා සාරය ගොගොල්ට ලබාදී ඇති බව කියවෙන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින්. ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ අත්පිටපත පුෂ්කින්ට කියවා තිබෙනවා. එය ඇසූ පුෂ්කින් ගොගොල්ට සිය ප්‍රසාදය පළ කර ඇත්තේ මේ විධියට:

“නිතර සිනාසීමට කැමති පුෂ්කින්ගේ මුහුණ ශෝකයෙන් අඳුරු විය. අනේ දෙවියනේ! මගේ රට මෙතරම් පිරිහුණේද? මෙය ගොගොල්ගේ නිර්මාණයක් නොවේ. ඔහු රුසියාවේ සම්පුර්ණ සත්‍යය ග්‍රන්ථාරූඪ කර ඇත. නමුත් එය භයානක සත්‍යක්යැයි හේ කීවේය.”

(‘මළ මිනිස්සු’ පිටුව 12)

මේ ආකාරයට ‘මළ මිනිස්සු’ පුෂ්කින්ගේත් ඇගයුමට ලක් වෙනවා.

ඇත්තටම මම මේ පොත කියවන්නේ තාත්තාගේ පොත් එකතුවේ තිබිලා. එතකොට මට අවුරුදු දාහතයි හෝ දහඅටයි. මගේ තාත්තා ගොවිතැන් කරන ගමන් සිල්ලර බඩු කඩයකුත් කරපු කෙනෙක්. නමුත් ඔහු ගොඩක් පොත් කියෙව්වා. හොඳ පොත් එකතුවකුත් ඔහු සතු වුණා. මගේ අම්මා ගෘහනියක්. නංගිලා දෙන්නෙකුට අයියා වුණ මම පවුලේ වැඩිමහල් දරුවා. මම උපන්නේ කුලියාපිටියේ මඩකුඹුරමුල්ල ගමේ. කුලියාපිටිය මහා විද්‍යාලයෙන් සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන මම වැඩිදුර ඉගෙනගත්තේ චිත්‍ර කලා අංශයෙන්. ඒ, කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත සෞන්දර්ය අධ්‍යාපන ආයතනයෙන්. පසුව මම පොත් පිටකවර නිර්මාණයට පෙළඹුණා. මේ වන විට මම පොත් කවර පනහක් පමණ ඇඳ තිබෙනවා. 1987 වසරේ හොඳම පොත් පිටකවරය සඳහා පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් හිමි වුණේ මටයි. මේ ආකාරයේ පසුබිමක් ඇති මගේ සිත සසල කළ කෘතිය වෙන්නේ ගොගොල්ගේ ‘මළ මිනිස්සු’ යි.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා