වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ

 ඡායාරූපය:

වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ

වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ

වෙසක් සමය ඇරඹෙත්ම සිංහල බෞද්ධයෝ වට වන්දනාවේ යෑමට සූදානම් වෙති. 'වට වන්දනාව' යනු එක් පූජනීය ස්ථානයක් නොව ස්ථාන කීපයක් ම වැඳ පුදා ගැනීමට යන වන්දනා ගමන යි. මෙසේ යන එක් වන්දනා ගමනකින් වැඳ පුදා ගැනෙන්නේ අනුරාධපුරේ අටමස්ථානෙ යි.

එදා ගමන් කරත්තවලින් වන්දනාවේ ගිය සැදැහැතියෝ ගමන් විඩාව මඟ හැරෙන්ට කවි හෝ සින්දු කිය කියා ගියහ.

"වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ

වඳින්ටා වඳින්ටා රම්‍ය අටමස්ථානේ"

අටමස්ථාන පිහිටා ඇත්තේ අනුරාධපුරයෙහි ය. ලංකාවේ පළමුවෙනි අගනුවරෙහි ය.

 

අටමස්ථාන

'අටමස්ථාන' යනු අනුරාධපුරයෙහි පිහිටි මහා විහාර ස්ථාන අට යි. මේ නම යෙදිය යුතුව තිබුණේ 'අෂ්ට මහා ස්ථාන' යනුවෙන් ලෙව් ලැකියෙන් හෝ 'අට මහ තැන්' යනුවෙන් කව් ලැකියෙනි. එහෙත් ඒ දෙකේ ම මිශ්‍රණයෙන් 'අට ම ස්ථාන' යන නම දැන් වහරට පැමිණ ඇත.

'අට මස්ථාන පාලක සභාව' නම් පාලක සභාවක් විසින් පාලනය කරනු ලබන මේ ස්ථාන අට කවරේ දැයි යන්න කලින් කලට වෙනස් වී තිබේ. කෙසේ වුවත් 'ඉසුරුමුණි රජ මහ වෙහෙර' මේ අට මස්ථාන අතරට නොගැනේ. අද 'අටමස්ථාන' වශයෙන් සැලකෙන ස්ථාන අට අතරට චෛත්‍ය හයක් ඇතුළත් වේ.

 

1 ජය සිරි මා බෝ සමිඳු

අටමස්ථානෙ වඳින්ට යන්නන් මුලින් ම වැඳ පුදා ගන්නේ 'ජය සිරි මා බෝ හාමුදුරුවන්' ය. 'උඩ මලුවේ බෝදි සාමි' යන නමින් ද හැඳින්වෙන මේ ස්ථානය අටමස්ථාන අතුරෙහි පවත්නා එක ම ජීවමාන පූජනීය වස්තුව යි.

සිදුහත් කුමරු දඹදිව බුද්ධ ගයාවෙහි දී බුද්ධත්වයට පත් වූයේ උරුවෙල් දනව්වේ නේරංජනා නදීබඩ ඇසතු ගසක සෙවණෙහි ය. මේ ගසේ ශාඛාවකින් පැවත එන 'ජය සිරි මා බෝ රුක' දැනට ලෝකයෙහි පවත්නා පැරණිතම ඓතිහාසික වෘක්ෂය වශයෙන් පිළිගැනේ. මේ වෘක්ෂය ලංකාවට ගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ සංඝමිත්තා තෙරණියන්ට යි.

 

2 ථූපාරාමෙ

අනුරාධපුරයෙහි මුලින් ම ඉදි කෙරුණු චෛත්‍යය 'ථූපාරාමය' යි. ඊට 'ස්තූපාරාම' යන සංස්කෘත නම ද 'තුබරබ' යන සිංහල නම ද යෙදේ. එය සෑදීමේ ගෞරවය හිමි වන්නේ පළමුවෙනි සිංහල බෞද්ධ රජතුමා වුණු දේවානම් පිය තිස්ස රජතුමාට ය. මුල දී අඩි 65 ක් පමණ උස් වූ මේ චෛත්‍යය මැදි කොට ගොඩනැඟිල්ලක් ද ගොඩ නඟා තිබිණ. එබැවින් එය හැඳින්වීමට 'වටදාගේ' හෝ 'චේතියඝර' යන නම යෙදිණ. මේ වට දා ගෙයි වහලය දරා සිටි ගල් කණු අදත් එහි දී දැක්ක හැකි ය.

 

3 මිරිසවැටිය

දුටුගැමුණු රජතුමා විසින් ඉදි කෙරුණු මුල් ම චෛත්‍යය 'මිරිසවැටි සෑය' හෝ 'මරිචවට්ටි චේතිය' යි. එතුමා මෙවැනි සෑයක් ඉදි කළේ තමා අතින් සිදු වුණු වැරැද්දක් නිවැරදි කොට ගැනීමට යැයි ජන ශ්‍රැතියකි. එනම් තමාගේ මිරිස් වගාවකින් ලැබුණු මිරිස් පළමුව භික්ෂූන් වහන්සේලාට නොදී පරිභෝජනයට ගැනීමේ වැරැද්ද නිවැරදි කොට ගැනීමට ය.

 

4 රුවන්වැලි සෑය

දුටුගැමුණු රජතුමා කළ දෙවෙනි චෛත්‍යය අඩි 300 ක් පමණ උසැති රුවන්වැලි මහ සෑය යි. පාලි මහාවංසයෙහි 'මහා ථූප' යනුවෙන් හැඳින්වෙන මේ චෛත්‍යයට 'ස්වර්ණ මාලි', 'සොන්නමාලි', 'රත්න මාලි', 'රුවන් මැලි' හා 'රුවන් වැලි' යන නම් ද යෙදේ. මේ මහ සෑයට 'ස්වර්ණමාලි' යන නාම ලැබුණු සැටි 'රන්තෙලඹු කථාවෙහි' ඇතුළත් වේ.

 

5 ජේතවන ස්තූපය

තුන්වෙනි සියවසෙහි දී මහාසේන රජතුමා කළ ජේතවන චෛත්‍යය අනුරාධපුරයේ උස ම චෛත්‍ය ය යි. අඩි 400 ක් පමණ උස් වූ මේ චෛත්‍යයට 'දෙව්රම් වෙහෙර' යන නමත් යෙදේ. ඒ මුල් කොට බිහි වුණු භික්ෂු නිකාය 'දෙනා නක' නම් විණ.

 

6 අභයගිරි දාගැබ

'ගිරි' නමැති තවුසා ද 'අභය' නම් රජතුමා ද සිහිපත් කරනු පිණිස 'අභයගිරි' යන නම යොදා අනුරාධපුරයෙහි ඉදි කෙරුණු දෙවෙනි උස ම චෛත්‍යය 'අභයගිරි ස්තූපය' යි. අඩි 370 ක් පමණ උස් වූ මේ චෛත්‍යය සැදීමේ ගෞරවය හිමි වන්නේ පළමුවෙනි සියවසෙහි රජකම් කළ 'වට්ඨගාමණී අභය' හෙවත් 'වළගම්බා' රජතුමාට ය. මීට ම 'අබයතුරු මහ සෑ' යන නමත් යෙදිණ.

 

7 ලංකාරාමෙ

ථූපාරාමෙට සමාන තවත් කුඩා චෛත්‍යයක් අටමස්ථානෙට අයත් වේ. එය හැඳින්වෙන්නේ 'ලංකාරාමෙ' යන නමිනි. මුල දී 'ගල් හෙබ කඩ' යනුවෙන් හැඳින්වූ ස්ථානයෙහි වළගම්බා රජු විසින් ඉදි කෙරුණු මේ ස්ථානය 'මණි සෝමාරාමය' යන නමින් ද හැඳින්වුණු බව ජන ශ්‍රැතියෙහි එයි. මීට 'ලංකාරාමෙ' යන නම ලැබුණේ වළගම්බා රජතුමාගේ අගබිසෝ වූ සෝමා දේවියට 'ලංකා දේවි' යන නම ද යෙදුණු හෙයිනැයි කියවේ.

 

8 ලෝවා මා පාය

සිරි මා බෝ රුකත් රුවන්වැලියත් අතර පිහිටි 'ලෝවා මහ පාය' නම් ගොඩනැගිල්ල අටමස්ථානයට අයත් උපෝසථාගාරය හෙවත් පෝය ගෙය යි. ලෝහයෙන් කළ වහළයක් තිබූ නිසා 'ලෝහ මහා ප්‍රාසාද' යනුවෙන් නම් කෙරුණු මෙය මුල දී නව මහල් නවයකින් යුක්ත විය. භික්ෂූන්ගේ වාසය පිණිස කුටි දහසකින් යුක්ත වූ මෙය ද ඉදි කෙරුණේ දුටුගැමුණු රජතුමගේ අනුග්‍රහයෙන් බව කියවේ. අද මෙහි දක්නට ලැබෙන්නේ ගල් කණු 1600 ක් පමණකි. එක් පේළියකට කණු 40 බැගින් පේළි 40 ක් මෙහි දක්නට ලැබේ.

 

පැරණි අටමස්ථාන

අද අටමස්ථාන ලෙසින් සැලකෙන්නේ යට දැක්වුණු ස්ථාන අට වුවත් මේ නාමාවලිය කලින් කලට වෙනස් වී තිබේ. පූජාවලියෙහි මේ නාමාවලිය හමු වේ:

1 දක්ෂිණ චෛත්‍යය 2 ශ්‍රී මහා බෝධිය

3 ලෝවාමහපාය 4 පිරිත්ලාගෙය

5 ජන්තාඝර පොකුණ 6 ථූපාරාමය

7 රැවන්වැලි සෑය 8 මිහින්තලේ ශෛලචෛත්‍යය

සද්ධර්මාලංකාරයෙහි මේ නාමාවලිය හමු වේ:

1 මාලකසීමා 2 ජන්තාඝර පොකුණ

3 මහාබෝධිය 4 ලෝහප්‍රාසාදය

5 ලහබත්ගෙය 6 චතුශ්ශාලාව

7 මහාභෝජනශාලාව 8 රතනමාලි චෛත්‍යය

මාතෘකා