මා සසල කළේ එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාවයි

 ඡායාරූපය:

මා සසල කළේ එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාවයි

ප්‍රවීණ සාහිත්‍යවේදිනී ජයවතී ජයසිංහ

පොත්පත් කියවීම මට අරුම දෙයක් නෙවෙයි. යමක් කමක් කියවන්න ලියන්න පුළුවන් වූ දවසේ ඉඳලම මම පොත් කියෙව්වා. ඒවාට ඇලුම් කළා. එහෙම කියවූ පොත් අතර එදා වගේම අදත් නම ඇසූ සැණින් මගේ සිත සසල කරන පොතක් තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය ජාතික එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාව. බ්‍රිතාන්‍ය සමාජයේ එදා තිබුණු කළු සුදු භේදය ආදරයට බලපෑ ආකාරයයි ඉන් ප්‍රකාශ වෙන්නෙ.

‘වදරින් හයිට්ස්’ කළු පැහැ සමකට හා කළු බොකුටු කොණ්ඩයකට හිමිකම් කියන හීත්ක්ලිෆ් නම් තරුණයෙකු සහ ලස්සන ඉංග්‍රීසි ජාතික කැතරින් නම් තරුණියක වටා ගෙතුණු සුන්දර ආදර කතාවක්. වදරින් හයිට්ස් කියන්නේ ඔවුන් ජීවත් වූ ගෙදරයි. මෙනමින් නිතර සුළං හමන කුණාටු පරිසරයක් සහිත කඳු මුදුනක පිහිටි නිවසක් යන්නත් හැඟවෙනවා. නිවසේ හිමිකරුවා එන්ෂෝ නැමැති කෙනෙක්. ඔහු ඔහුගේ දරු පවුලත් සමග මේ නිවසේ ජීවත් වෙනවා. දවසක් උදේ කුස්සියේ දොර අරින විට කළු පැහැ කෙස් ඇති කළුම කළු කුඩා පිරිමි දරුවෙක් තමන්ගේ කුස්සියේ දොරකඩ ඉන්නවා ඔහු දකිනවා. ඔහු තමයි හීත්ක්ලිෆ්. එන්ෂෝ මහතා මේ දරුවා ගැන අනුකම්පා කරලා ඔහු ආදරයෙන් රැකබලා ගන්නවා. ඒ වුණාට මේ සුවිසල් ගෙදර ජීවත් වුණ අනෙක් අය මේ කුඩා හීත්ක්ලිෆ්ට එච්චර කැමැත්තක් දැක්වන්නේ නැහැ. ඔහුගේ සම කළු පැහැ වීමත් ඊට හේතුවක් වෙනවා.

හීත්ක්ලිෆ් කුඩා කාලයේ හැදී වැඩෙන්නේ එන්ෂෝගේ කුඩා දියණිය වන කැතරින් හා එකටයි. දෙන්නා සෙල්ලම් කරන්නේ එකටයි. දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ඔවුන් ළං වෙනවා. හීත්ක්ලිෆ් කැතරින්ට සම වයස් දරුවෙක්. කුඩා වයස ඉක්මවූවාට පස්සේ, ඒ කියන්නේ තරුණ වියට එළඹුණාම තමන්ගේ පවුලට ගැළපෙන තරුණයෙක් හා විවාහ විය යුතු බව කැතරින් තේරුම් ගන්නවා. කැතරින් මේ නිසා විවාහයට සුදුසු කෙනෙක් හැටියට එඩ්ගා ලින්ටන් නම් තරුණයකු තෝරා ගන්නවා. පසුව ඇය ඔහු හා විවාහ වෙනවා.

ඒත් කැතරින්ට වැඩි වැඩියෙන් හීත්ක්ලිෆ් ඕන වෙනවා. මේ වෙනකොට හීත්ක්ලිෆ්ටත් කැතරින් නැතිවම බැරි කෙනෙක් වෙලා. දෙදෙනා අතර මෙතෙක් කලක් සැඟව තිබූ ආදරය මේ වෙනකොට ගැඹුරු තලයකට ඇවිල්ලා. ඔවුන් ආලයෙන් බැදී අවසන්. මේ බව එඩ්ගා ලින්ටන්ටත් අවබෝධ වෙනවා. ඒත් ඔහු එයට විරුද්ධව මොකුත් කරන්නේ නැහැ. ඔහු සියල්ල මැදහත් සිතින් බලනවා. ලින්ටන් හරිම මෘදු කෙනෙක්. මේ අතර ලින්ටන්ගෙන් කැතරින්ට දරුවෙකු ලැබෙන්න ඉන්නවා. දරුවා ලැබෙන්න යන වෙලාවේ කැතරින් ප්‍රසූත වේදනාවෙන් මියයනවා. කැතරින්ගේ මරණයත් එක්ක හීත්ක්ලිෆ් හුඟක් අසරණ වෙනවා. විරහ වේදනාව ඔහුට දරාගන්න බැරි වෙනවා. කැතරින් භුමදානය කළ තැනට යන ඔහු ඇගේ මිනී වළ හාරමින් පස් උඩට අදිමින් වැලපෙනවා. ඒ විලාපය හරිම ශෝකාකූලයි. මොවුන්ගේ ආදරය සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු දක්වා ගලා ගිය ආදරයක්. හැඟීම්, ගැටුම් ආදී සියල්ලෙන් මේ නවකතාව සජ්ජිතයි.

මේ පොත මම කියවන්නේ 1979 වසරේ. අද වෙනකොට මම එය දෙතුන් පාරකට වඩා කියවලා තියෙනවා. මම උපන්නේ ගාලු දිස්ත්‍රික්කයේ කන්දවත්ත කියන ගමේ. මගේ අම්මා ගෘහණියක්. තාත්තා ජ්‍යෝතිෂ්‍යවේදියෙක්. තාත්තා පාළි, සංස්කෘත දැන උගත් අයෙක්. ඒ නිසා අපේ ගෙදර පොත්පත් තිබුණා. දරුවො නවදෙනෙකුගෙන් යුත් අපේ පවුලේ වැඩිමලා වුණේ මම. මම අධ්‍යාපනය ලැබුවේ මුලින් කොළඔ මාලිගාකන්ද මහා විද්‍යාලයෙන්. පස්සෙ දෙමටගොඩ රජයේ විද්‍යාලයෙන්. ඊටත් පස්සෙ කොළඹ දේවි බාලිකා විද්‍යාලයෙන්. දේවි බාලිකාවෙන් සරසවි වරම් ලබලා මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුල් වෙනවා. එහිදී මට මහාචාර්ය සරච්චන්ද්‍රයන් යටතේ අධ්‍යාපනය ලබන්න වගේම පේරාදෙණි පුස්තකාලයේ පහස ලබන්නත් පුළුවන් ෙවනවා. ඉතින් නිතර පොතපත ඇසුරු කළ මගේ සිත සසලම කළ කෘතිය වුණේ එමිලි බ්‍රොන්ටේගේ ‘වදරින් හයිට්ස්’ නවකතාවයි.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා