ජීවිතයේ ශූන්‍යතාව අකුරු මත තවරන “ඔබට නොවේ බටිත්තන්ට”

 ඡායාරූපය:

ජීවිතයේ ශූන්‍යතාව අකුරු මත තවරන “ඔබට නොවේ බටිත්තන්ට”

ජීවිතය යනු ශූන්‍යත්වය පදනම් කර ගත් දෙයකි. එය අවසානයේ අළු දූවිලි බවට පත් වී විශ්වයට එකතු වී යයි. මේ නිසා ජීවිතයට විශාල බරක් හෝ තේරුමක් හෝ පැවැත්මක් තිබිය නොහැක. ජීවිතය තුළ ස්වභාවයෙන්ම පිහිටි අර්ථයක් හෝ අගයක් හෝ නැති බවත්, ජීවිතයට ඇත්තේ මිනිසා විසින්ම ඇති කර ගත් අරුතක් හෝ අගයක් බවත් බටහිර දර්ශනය තුළ මතු වන්නේ සාංදෘෂ්ටිකවාදී හා නාස්තිකවාදී චින්තනයන් හරහාය. ජීන් පෝල් සාත්‍රෙ මෙම දාර්ශනික මතවාදයේ පියා ලෙස සැලකේ. කෙසේ වෙතත් පසු කාලීනව මෙම දාර්ශනික මතවාදය සාහිත්‍ය කලා විෂයන් තුළ පවා නිර්මාණාත්මකව කතා බහට ලක් වන ආකාරය දැකිය හැකිය. මෙය යළි සිහිපත් වන්නේ මෑතකදී එළිදුටු කාව්‍ය ග්‍රන්ථයක් නිවිසැනසිල්ලේ කියවන විටය. ඒ සංජීව මූණමල්පේ ගේ “ඔබට නොවේ බටිත්තන්ට”කාව්‍ය සංග්‍රහයයි. සංජීව ගේ මෙම කාව්‍ය සංග්‍රහය තුළ දක්නට ලැබෙන නිර්මාණවල මේ ශූන්‍යත්වය තැවරී ඇති බව දැකිය හැකිය. එය ජීවිතය පිළිබඳ කලකිරීමක් නොවේ. ජීවිතය නිරීක්ෂණය කිරීමකි.

විලාපය නැගෙන්නේ

හදවතිනි

විලාපය ඇසෙන්නේ

වෙඩි හඬිනි

විලාපය නැසෙන්නේ

මරණයෙනි

විලාපය දරන්නේ

ප්‍රේමයෙනි

(මරාගෙන මැරෙන සහෝදරියකට, පිටුව 12)

ජීවිතය ඉදිරියට ගෙන යන ගාමක බලය වන්නේ ප්‍රේමයයි. ජීවිතයේ අනේකවිධ වේදනා දැරීමේ ශක්තිය ලැබෙන්නේ ප්‍රේමය නිසාය. ඒ වේදනා සියල්ල නිමා වන්නේ මරණයෙනි. මේ නිසා ජීවිතයට අනවශ්‍ය ලෙස බැඳී සිටීම පල රහිත දෙයකි. සංජීවගේ “ඔබට නොවේ බටිත්තන්ට” කාව්‍ය සංග්‍රහය තුළ ඔහු මේ ජීවන දහම කවි කිරිම සඳහා ජීවිතයේ ඉතා සියුම් තැන් ස්පර්ශ කරයි.

ඉදින්

සඳක කොහේදෝ එළියක්

මුඩු පැහැයම මිසක

තරුවල වුවත් කොහෙද දිදුලක්

නිවෙන දැල්වෙන මෙහෙවරක් මිස

හඬක වුව තිබෙන්නේ

හිත කීරි ගස්සන

එපාවීමක් ම ය.

(වරෙල්ලා මාත් එක්කම විඳවන්න, පිටුව 16)

ජීවිතයට ඇත්තේ ඉටුකරන්නට මෙහෙවරකි. එය තරුඑළි නිවි නිවී දැල්වීම වැනි වූ ඒකාකාරී යාන්ත්‍රික ක්‍රියාවලියකි. ඉන් එහා ගිය වෙනත් වටිනාකමක් ජීවිතයට නැත.

එකක් පසුපස එකක් එක් වී

වර්ණ සිතුවිලි, සුවඳ ආවද

අදී පොළොවට සදාකල්හිම

නිමාවක් නැති මහා හිස්කම

(සුබ උපන්දිනයක් වේවා, පිටුව 18)

සංජීව ගේ නිර්මාණ දර්ශනය තුළ ඇත්තේ ජීවිතය පිළිබඳ නිස්සරණ බවයි. ජීවිතය යනු මහා ලෝභයකින් රැක ගත යුතු බැඳ තබා ගත යුතු දෙයක් නොව හුදු ජීවත්විම පමණක් බවට ඔහු තුළ ඇති විශ්වාසයයි. 'ලොකු අයියාට' කවිය ජීවත්වීම හා මරණය යන සංසිද්ධීන් දෙක තුළ ඇති උදාසීන (Neutral) කලාපය මනාව ස්පර්ශ කරන නිර්මාණයකි. මරණාසන්නව වැතිර සිටන ලොකු අයියාගේ මුවට නංවන වදන් ඇතුළේ ඇත්තේ මේ නිස්සරණ බවයි.

මේක මරණයක් නොවේ මල්ලී මෙමට

තවත් අත්හැරීමක් පමණි ගමනක

මටත් ඇතිවෙච්චි ඉඳීමක අවසන

වෙනස් ඇරඹුමක සුබ මොහොතකිය මෙය

කියයි නුඹෙ දෙනෙත් අදත් මට සිතේ එය.

(ලොකු අයියාට, පිටුව 22)

සංජීව ගේ කවි බස ද උපයුක්ත අත්දැකීමට සුදුසු ලෙස හසුරුවා ගන්නට සමත් වේ. ඔහු කිසි විටෙක වාග්කෝෂිය බසක් කවියට භාවිත නොකරයි. ඔහුගේ බස සරලය. එය භාවිත භාෂාවෙන් පොහොසත්ය. කතික භාෂාව මුසුය. මේ නිසා අත්දැකීම වඩාත් නිර්ව්‍යාජව කීමට ඔහු සමත් වේ. උදා. උඹේ ෂොට් එක, වින්ද අම්බානක දුකද, පිච්චේ නැති අපි, විටකුත් කටේ ඔබාගෙන...

සංජීව මූණෙමල්පේ ගේ “ඔබට නොවේ බටිත්තන්ට ” කාතිය පුරා ඇති නිර්මාණ වින්දනය කරන විට දැනෙන දෙය වන්නේ සාංදෘෂ්ටිකවාදින් පවසන ආකාරයටම “ජීවිතයේ ශූන්‍යභාවයට මුහුණ දිය හැක්කේ උදාසීන උපේක්ෂා සහගත ආකල්පයෙන් (Impassive Stoicism) බවයි.

සංජීව ගේ “ඔබට නොවේ බටිත්තන්ට” කෘතියේ එන ”සමනල්ලු මැරෙති හැපි හැපී වාහන වල” කවිය ඔහුගේ කවියේ රුව ගුණ කැටි කර දක්වන්නකි.

වගක්වත් නැතුව ඉගිලෙති

උන්

විටකුත් කටේ ඔබාගෙන

හරියටම සමනල්ලු වගේ

 

මැරෙන එක මහිමයක්

ජීවිතයට වඩා

සමනල්ලු කියති

 

ඉතින් මොකටද

මේ හද්දා පල්

ජීවිතය

 

මැරෙමු එකිනෙකා හැපී වියරුව

(පිටුව 28)

[කපිල එම්. ගමගේ]

මාතෘකා