නෝත්‍ර දාමය සිද්ධස්ථානයක්ද? කලාගාරයක්ද?

 ඡායාරූපය:

නෝත්‍ර දාමය සිද්ධස්ථානයක්ද? කලාගාරයක්ද?

ප්‍රංශයේ මතු නොව, මුළු මහත් ලෝකයේම සාහිත්‍ය, කලා හා සංස්කෘතික නිර්මාණ සඳහා විවිධාකාරයෙන් උපස්ථම්භක වූ දායකත්ව කාර්යභාරයක් ඉටු කළ නෝත්‍ර දාම දේවස්ථානය පසුගිය 15 වෙනි සඳුදා මහා ගින්නකට හසුවීම පිළිබඳ පුවත ලොව පුරා පැතිර ගියේ ලැව්ගින්නක් ලෙසය. වසරකට ලොව දස දෙසින් මිලියන 13ක පමණ විදේශික සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කරගත් එය මෙවැනි අනපේක්ෂිත ගින්නකට හසුවීම බොහෝ දෙනාට අදහාගත නොහැකි පුවතක් විය. ගින්නට හසු වීමෙන් එහි වහල සහ කැණිමඬල පිළිස්සී කඩා වැටී ඇති අතර, එයින් සිදුව ඇති හානියේ තරම කෙතරම්දැයි මේ වන විටත් මුළුමනින්ම අනාවරණය වී නැත. හානිය කෙතරම් විශාල වුවද, පැරිසියේ සුවිශේෂ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මේ දේවස්ථානය කෙසේ හෝ යළි පෙර පැවති තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමට පියවර ගන්නා බවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රතිඥා දී තිබේ. ඒ සඳහා අවශ්‍ය ආධාර ලෙස යුරෝ මිලියන 300ක් දැනටමත් ප්‍රංශ දානපතියන් දෙදෙනෙකු විසින් ලබා දී ඇති අතර, තවත් විශාල පිරිසක් මේ වන විටත් ඊට ඉදිරිපත්ව සිටිති.

ගින්නෙන් ගලවා ගත් දෑ

කෙසේ වුවද නෝත්‍ර දාම දේවස්ථානය තුළ වූ වටිනා කලා නිර්මාණ රැසක් ගින්නෙන් ආරක්ෂා කරගැනීමට හැකිව ඇතැයි වාර්තා වේ. දේවස්ථානයේ රෝස වර්ණ ගැන්වූ වීදුරු කවුළු, මධ්‍යතන යුගයට අයත් යැයි සැලකෙන දැැවැන්ත සංගීත භාණ්ඩ කිහිපයක් සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසූ අවස්ථාවේ පැළඳවූ කටු ඔටුන්න වැනි කෞතුක භාණ්ඩ රැසක් ඒ අතර ඇත. ඒ බොහෝ කලා කෘති මෙන්ම නෝත්‍ර දාම දේවස්ථානය පසුපස ඇති දීර්ඝ ඉතිහාසය ගින්නකින් දවා විනාශ කර දැමිය නොහැකි තරම් අතිසුවිශාලය.

ඉතිහාසය

නෝත්‍ර දාම වෙබ් අඩවියේ සඳහන් වන පරිදි හත්වැනි ලුවී රජුගේ පාලන සමයේ වර්ෂ 1163 දී තුන්වැනි ඇලෙක්සැන්ඩර් පාප්තුමන්ගේ සහභාගිත්වය සහිතව මේ දේවස්ථානය සඳහා මුල්ගල තබා ඇත. එහි අල්තාරය නිමවා ඇත්තේ එයින් වසර 20කට පසුවය. එහි කුළුණු දෙක ඉදිකරන ලද්දේ වර්ෂ 1225 සහ 1250 අතර කාලයේදීය. සම්පූර්ණ දේවස්ථානය ඉදිකිරීම නිම කරනු ලැබ ඇත්තේ 1345 වසරේදීය.

ලෝක ඉතිහාසයේ සටහන්ව ඇති ඉතා සුවිශේෂ වැදගත්කමකින් යුතු සිදුවීම් ගණනාවකට මේ දේවස්ථානය සම්බන්ධය. උදාහරණයකට එංගලන්තයේ හයවැනි හෙන්රි ප්‍රංශයේ රජු ලෙස කිරුළු පැළඳීම සහ නැපෝලියන් බොනපාට් 1804 වසරේදී ප්‍රංශ අධිරාජයකු ලෙස කිරුළු පැළඳීම වැනි ලෝක ඉතිහාසයේ වැදගත් ඓතිහාසික අවස්ථා ගණනාවක් සිදු වූයේ මේ දේවස්ථානය තුළය. එසේම, සියවස් ගණනාවක් පුරා ප්‍රංශයේ රජ පවුල්වල විවාහයන් සිදු වූයේද මේ දේවස්ථානයේදීය. චාල්ස් ඩි ගෝල් ප්‍රමුඛ පිරිසගේ ප්‍රධානත්වයෙන් යුතුව 1944 වසරේදී පැරිසිය විදෙස් පාලනයෙන් නිදහස් කරගැනීමෙන් පසු කෘතවේදීත්වය පළ කිරීම සඳහා අසිරිමත් උත්සවයක් පවත්වනු ලැබුවේද මේ දේවස්ථානය තුළදීය.

මධ්‍යකාලීන ගොතික් (Gothic) ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මෙම දේවස්ථානය ප්‍රංශ සාහිත්‍ය කලා ශිල්ප රැසකට මඟපෑදූ සුවිශේෂ සංස්කෘතික කේන්ද්‍රයක් ලෙසද පිළිගැනෙයි. වික්ටර් මාරි හියුගෝ, මාර්සල් පෲස්ට් සහ සිග්මන්ඞ් ෆ්‍රොයිඩ් ඇතුළු ලේඛකයින් විශාල පිරිසක් සිය නිර්මාණ සඳහා අභාසය ලබා ඇත්තේද මේ දේවස්ථානයේ ඇති ප්‍රංශ ගොතික් ගෘහනිර්මාණ ශිල්පය ඔස්සේ යැයි සැලකෙයි.

ගොතික් කලාව

වර්ෂ 1140 දී ප්‍රංශයේ බිහි වූ ගෘහනිර්මාණ ශෛලියක් වන ගොතික් කලාව 16 වැනි සියවසේ මැදභාගය දක්වා කැපීපෙනෙන ලෙස වර්ධනය වී ඇත. නෝත්‍ර දාම දේවස්ථානය, චාර්ට්රෙස් දේවස්ථානය සහ ඇමියෙන්ස් දේවස්ථානය වැනි සුවිශේෂ ගොඩනැඟිලි රැසක මේ සුවිශේෂ ගෘහනිර්මාණ රටාව දැකගත හැකිය. එහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ සිරස්කරණය හෙවත් උස සහ පියාසර ආරුක්කු නමැති විශේෂ උපක්‍රමය සහ සෙසු ගෘහනිර්මාණාත්මක උපක්‍රම නව්‍යකරණයෙන් යුතුව ඉදිරිපත් කරමින් ශෛලමය ව්‍යුහයන්වල බර තුලනය කරගැනීමය. එමඟින් සුවිසල් වර්ණමය වීදුරු සහිත ජනෙල් වැනි දැවැන්ත ව්‍යූහයන් ගොඩනැගිලිවලට එක්කර ගැනීමේ ඉඩ පහසුව සැලසිණි. ගොඩනැගිලි ඇතුළත අඳුරු ස්වභාවය දුරුකර ගත හැකි උපක්‍රමයක් ලෙස මෙවැනි විශාල වීදුරු ජනෙල් ගොඩනැගිලිවලට එක්කර ගැනීම වැදගත් විය. ප්‍රංශයේ බිහි වූ මේ නව ගෘහනිර්මාණ ශෛලිය පසුව උතුරු යුරෝපයේ ජර්මනිය සහ එංගලන්තය වැනි රටවලද ජනප්‍රිය විය.

ලෝක යුද්ධ හමුවේ නොසැලීම

ලෝක සංග්‍රාම දෙකක්, ප්‍රංශ විප්ලවය සහ පැරිස් කොමියුනය මෙන්ම නට්සි ප්‍රහාර හමුවේ බිඳ නොවැටී සියවස් ගණනක් පුරා නොසැලී පැවති නෝත්‍ර දාම දේවස්ථානයට හානි සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. ගෙවී ගිය වසර 856 ක කාලය ඇතුළත විවිධ බලපෑම් රැසකට එය ලක් විය. නිසි සැලසුමකින් තොරව සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුතු, කොල්ලකෑම් සහ පරිසර දූෂණය හේතු කොටගෙන සිදු වූ දිරායෑම් යනාදිය ඒ අතරින් කිහිපයකි. ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රමුඛ නට්සි හමුදා එක්තරා අවස්ථාවකදී එය සමතලා කර දැමීමටද උත්සාහ දරා ඇත.

වරින්වර සිදු වූ හානි

දහහතර වැනි ලුවී රජුගේ පාලන කාලය තුළදී (1643 - 1715) නෝත්‍ර දාම දේවස්ථානයේ සිදු නොකළ යුතු ආකාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් කර ඇත. එහිදී එහි වූ වර්ණගැන්වූ වීදුරු ඉවත් කොට ඒ වෙනුවට පාරදෘශ්‍ය වීදුරු සවි කරන ලද අතර, ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන යෑම සඳහා එක් කුළුණක් කඩාබිඳ දමනු ලැබිණි. එයින් අනතුරුව 1790 ගණන්වල ප්‍රංශ විප්ලවය සිදු වූ යුගයේදීද එයට බරපතළ හානි සිදු වී ඇත. ඒ අනුව විප්ලවකරුවන්ගේ ග්‍රහණයට නතු වීමෙන් අනතුරුව එහි වූ ප්‍රතිමා රැසක් විනාශ වී ඇත. එහි බිෂොප් මන්දිරය දවා අළු කර දමා ඇති අතර, එය නැවත ඉදිකරනු නොලැබිණි. දැඩි සුළඟට හසුව හානි සිදුව පැවති පියැස්ස මුදුනේ පිහිටි උල් වූ කොතද විනාශ කර දැමිණි. පියැස්ස ඉදිකිරීම සඳහා යොදාගෙන තිබුණු ඊයම් කොටස් වෙඩි උණ්ඩ සෑදීම සඳහා යොදාගනු ලැබ ඇති අතර, කාලතුවක්කු සඳහා යොදාගැනීමට ලෝකඩ ඝාංඨාර උණු කරනු ලැබ තිබේ. තවද, දේවස්ථානය වර්ෂ 1802දී කතෝලික පල්ලිය වෙත භාරදී ඇතත්, ඒ වන විට එහි සිදු වෙමින් පැවති දිරාපත්වීම් වළකාලීමට පියවර නොගැනිණි.

‘නෝත්‍ර දාමයේ කුදා’

පසු කලෙක වික්ටර් හියුගෝ නමැති ප්‍රංශ ලේඛකයා විසින් රචනා කරන ලදුව, වර්ෂ 1831 දී පළ වූ ‘ද හන්ච්බෑක් ඔෆ් නෝත්‍ර දාම්’ (The Hunchback of Notre Dame) නවකතාවේ මේ දේවස්ථානයට ඒ වන විටත් සිදු වෙමින් පැවති හානිය විස්තර කර තිබේ. ‘නෝත්‍ර දාමයේ කුදා’ යන නමින් සිංහල භාෂාවටද පරිවර්තනය වූ මේ කෘතියෙන් විස්තර කෙරෙන පරිදි කාලය සහ මිනිසුන් විසින් මේ අතිඋතුම් ස්මාරකයට හානි සිදු කරනු ලැබ තිබිණි. සුන්දර එස්මරාල්ඩා පිළිබඳ ප්‍රේමයෙන් උමතු වන දේවස්ථානයේ ඝාංඨාර නාද කරවන්නා වූ විරූපී ක්වාසිමෝඩෝ පිළිබඳ කතා පුවත රැගත් මේ නවකතාව ලියැවී ඇත්තේ නෝත්‍ර දාම දේවස්ථානය පාදක කරගෙනය. හියුගෝ සිය නවකතාවේ පරිච්ඡේද දෙකක් මුළුමනින්ම වෙන් කර ඇත්තේ දේවස්ථානය විස්තර කිරීම සඳහාය. ඔහු සිය නවකතාවට පාදක කරගෙන ඇත්තේ දේවස්ථානයේ ඉසුරුමත් යුගය ලෙස සැලකෙන 1400 ගණන්වලට අදාළ කාල වකවානුවය. පසු කලෙක සම්භාව්‍ය කෘතියක් ලෙස ලොව පුරා පාඨක පිරිස් අතර ඉහළම පිළිගැනීමට ලක් වූ මේ නවකතාව භාෂා ගණනාවකට පරිවර්තනය වූ අතර, එය ඇසුරු කරගනිමින් සිනමා හා රූපවාහිනී නිර්මාණ රැසක්ද බිහි විය. හියුගෝ මේ නවකතාව රචනා කිරීම අරඹා ඇත්තේ 1829 වසරේදීය. එය පළ කිරීම සඳහා ප්‍රකාශකයාද දැඩි නොඉවසිල්ලකින් පසුවූයේ යැයි කියැවේ. එහෙත් දේවස්ථානයේ ගෘහනිර්මාණ කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා හියුගෝ දීර්ඝ කාලයක් වැය කළ බැවින් නවකතාව රචනා කිරීම පමා වී තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අධ්‍යයනයන් ඔස්සේ ලේඛකයා විසින් රැස්කර ගන්නා ලද ගොතික් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ නිවැරදි තොරතුරු එම නවකතාවට ඇතුළත්ව ඇති නිසාම පසුකාලීන ලේඛක ලේඛිකාවන් රැසක් නෝත්‍ර දාම් දේවස්ථානය ඇසුරු කරගනිමින් සිය නිර්මාණ රචනා කිරීමට පෙළඹී ඇතැයිද සඳහන්ය.

පෲස්ට් ලද ආභාසය

මාර්සෙල් පෲස්ට් යනු මේ දේවස්ථානයේ සුවිශේෂ ගොතික් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳව අවධානය යොමු කරමින් නිර්මාණකරණයේ යෙදුණු තවත් ලේඛකයෙකි. ඔහු රචනා කළ ‘ඉන් සර්ච් ඔෆ් ලොස්ට් ටයිම්’ (In Search of Lost Time) ඇතුළු කෘතීන් සඳහා මේ දේවස්ථානයේ ගෘහනිර්මාණ ශිල්පක්‍රම පිළිබඳ කරුණුවලින් ආභාසය ලබා ඇති බව සඳහන් වෙයි. ලිවීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබාගැනීමට ඔහු බොහෝ රාත්‍රී කාලවල සිය නිදන ඇඳුමට උඩින් ලොම් කබායක් හැඳගෙන මේ දේවස්ථානය ඉදිරිපිට පැය ගණන් එදෙස බලාගෙන සිට ඇතැයිද කියැවේ.

ෆ්‍රොයිඩ් ලද ආභාසය

ප්‍රංශ ලේඛකයින් පමණක් නොව, වෙනත් රටවල ලේඛක ලේඛිකාවන් රැසක්ද මේ දේවස්ථානයේ ගෘහනිර්මාණ ශිල්පයෙන් සිය ලේඛන කටයුතු සඳහා විශාල වශයෙන් ආභාසය ලබා ඇත. ජර්මානු මනෝවිද්‍යාඥයකු මෙන්ම ලේඛකයකුද වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයින් එක් අයෙකි. ප්‍රථම වරට 1885 වසරේදී නෝත්‍ර දාම දේවස්ථානය දුටු විට ෆ්‍රොයිඩ් පවසා ඇත්තේ තමන් එයට පෙර කිසිදු අවස්ථාවක නොලද ආකාරයේ හැඟීමක් එහිදී ඔහුට දැනුණු බවය. එයින් පසුව ඉඩ ලද සෑම විටෙකම නෝත්‍ර දාම දේවස්ථානය ඉදිරිපිටට ගොස් එදෙස බලා සිටීමේ පුරුද්දක් ඔහුට තිබී ඇත.

කලා රීතීන් රැසක මුල් බිම

පසුකාලීනව දැඩි අවධානයට ලක් වූ අධියථාර්ථවාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය සහ සමාජ සත්තා යථාර්ථවාදය වැනි විවිධ සාහිත්‍ය රීතීන් පවා මූලික ආභාසය ලබා ඇත්තේ මේ දේවස්ථානය ආශ්‍රිත ගොතික් රටා ඔස්සේ මතු කරන ලද නව චින්තන ධාරාවන්ගෙන් බව ඇතැමුන්ගේ අදහස වී තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙකී ගොතික් රටා ඔස්සේ හඳුන්වාදෙන ලද නව්‍යකරණය පිළිබඳ නව සංකල්ප මගින් ලද උත්තේජනාත්මක පෙළඹුම විය හැකිය.

මේ දේවස්ථානය සතුව ඇති ගොතික් ගෘහනිර්මාණ ශිල්පයේ සුවිශේෂත්වය නිසාම ඩිස්නි සිනමා කෘති ගණනාවකටද එය යොදාගනු ලැබ ඇත. මෙයට දෙවසරකට පෙර නව නිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන ලද ‘බියුටි ඇන්ඩ් ද බෙස්ට්’ (Beauty And The Beast) සිනමා කෘතිය සඳහා මෙන්ම, 2001 වසරේදී ප්‍රදර්ශනය වූ ‘අමෙලී’ (Amelie) නමැති ප්‍රංශ සිනමා කෘතිය සඳහාද මේ දේවස්ථානය යොදාගෙන ඇත. එසේම වර්ෂ 1951 දී තිරගත වූ ‘ඇන් ඇමෙරිකන් ඉන් පැරිස්’ (An American In Paris) නමැති සිනමා කෘතියේ ඇතැම් ජවනිකා රූපගත කර ඇත්තේ මේ දේවස්ථානය පසුබිම් කරගනිමිනි. ඇතැම් සිනමා කෘතිවල ප්‍රධාන චරිත නිරූපණය කරන චරිත ප්‍රේමයෙන් මුසපත් වන අයුරු දැක්වෙන හෝ ප්‍රේමණීය භාවයන් පළ කරන අවස්ථා ඉදිරිපත් කෙරෙන දර්ශන රූපගත කිරීම සඳහා බොහෝ විට නෝත්‍ර දාම දේවස්ථානය තෝරාගැනීමට සිනමාකරුවන් පෙලඹෙන්නේ එහි ඇති වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වන දර්ශනීය ගුණය නිසා යැයි කියැවෙයි. වුඩී ඇලන් විසින් 2011 වසරේදී නිර්මාණය කරන ලද, ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ ලැබූ ‘මිඩ්නයිට් ඉන් පැරිස්’ (Midnight In Paris) නමැති සිනමා කෘතිය සඳහාද නෝත්‍ර දාම තෝරාගනු ලැබුවේ ඒ නිසා යැයි කියැවේ.

චිත්‍ර ශිල්පීන් ලද ආභාසය

නෝත්‍ර දාම දේවස්ථානයේ සුන්දරත්වය සිතුවමට නැඟූ චිත්‍ර ශිල්පීන් විශාල පිරිසක් ප්‍රංශයේ මෙන්ම ලොව පුරා වෙනත් රටවලද විසිරී සිටිති. පිකෑසෝ සහ මැටිසි වැනි ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන් පවා මේ දේවස්ථානයේ සුන්දරත්වයෙන් ආභාසය ලබා ඇති අතර, ඔවුන් විසින් නෝත්‍ර දාමය ඇසුරින් නිර්මාණය කරන ලද සිතුවම් ලොව පුරා පරම්පරා ගණනාවක චිත්‍ර ශිල්පීන්ට මඟ කියාදුන් නිර්මාණ ලෙස අදටත් සැලකේ. එසේම සංගීතය, වේදිකා නාට්‍ය සහ කවිය වැනි සෙසු කලා ශිල්ප ගණනාවකටද මේ දේවස්ථානයේ ආභාසය ලැබී ඇති බව ප්‍රකට කරුණකි.

ගින්නට පසු ප්‍රවණතා

පසුගියදා නෝත්‍ර දාම දේවස්ථානය ගින්නට හසුවීමෙන් පසුව එය පිළිබඳ තව තවත් අලුත් තොරතුරු සොයා යෑමේ උනන්දුවක්ද ලොව පුරා පැතිර යන බවක් දැකගත හැකිය. විශේෂයෙන්ම නෝත්‍ර දාම ඇසුරින් බිහි වී ඇති නිර්මාණ නැවත නැවතත් නැරඹීමේ ප්‍රවණතාවක්ද ඇති වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. වික්ටර් හියුගෝ රචනා කළ ‘ද හන්ච්බැක් ඔෆ් නෝත්‍ර දාම්’ කෘතිය සඳහා මේ වන විට විශාල ඉල්ලුමක් ඇති වෙමින් පවතී. පසුගිය බදාදා උදෑසන වන විට ප්‍රංශයේ වැඩියෙන්ම අලෙවි වන කෘතියක් බවට එය පත්ව තිබිණි. එහි විවිධ මුද්‍රණ වාර කිහිපයක් නැවත වෙළෙඳපොළට හඳුන්වාදීමටද ප්‍රකාශකයින් මේ වන විට පියවර ගෙන තිබේ. මෙයින් පෙනී යන්නේ ජාතික අර්බුදයක් හටගත් අවස්ථාවකදී ප්‍රංශ ජනතාව සාහිත්‍යය කෙරෙහි නැඹුරු වෙමින් සිත සනසා ගැනීමට ප්‍රයත්න දැරීම යැයි විචාරකයෝ පවසති. මෙයට පෙර 2015 වසරේ නොවැම්බර් මාසයේදී පැරිස් නගරයට ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදීද ඔවුන් මේ අයුරින්ම සාහිත්‍ය කෘති වෙත නැඹුරු වූ බවක් දැකගත හැකි වී ඇති අතර, අර්නස්ට් හෙමිංවේ 1920 ගණන්වලදී පැරිසියේ අවන්හල් ඇසුරින් ලැබූ අත්දැකීම් පාදක කරගනිමින් රචනා කළ ‘අ මූවබල් ෆීස්ට්’ (A Moveable Feast) නමැති කෘතිය ඒ කාලය තුළ ප්‍රංශයේ වැඩියෙන්ම අලෙවි වූ කෘතියක් බවට පත් වී ඇත.

[අජිත් නිශාන්ත]

මාතෘකා