‘පොඩි මල්ලියේ’ පද්‍ය සංග්‍රහය මා සසල කළා

 ඡායාරූපය:

‘පොඩි මල්ලියේ’ පද්‍ය සංග්‍රහය මා සසල කළා

සුනිල් ගුණවර්ධන

මගේ හදවත සසල කළ කෘතිය පරාක්‍රම කොඩිතුවක්කුගේ “ පොඩි මල්ලියේ ” පද්‍ය සංග්‍රහයයි. මම මේ කෘතියට දැඩි ඇල්මක් දක්වන්නේ මමත් කවියෙක් නිසා වෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි, පරාක්‍රම කොඩිතුවක්කුගේ පද්‍ය පංතිවල තියෙන අව්‍යාජ බව, ආකර්ෂණීය බව පුදුම සහගතයි. ඔහුගේ පද්‍ය සංකල්පනා හරහා කවි පරපුරේ පිබිදීමක් ඇති වුණා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම තුන්වන කවි පරපුරේ කවීන්ට ඔහු ආභාසයක් වුණා.

‘පොඩි මල්ලියේ’ රචනා වුණේ 1973 වසරේදි. 70 දශකයේ කවි උල්පත ලෙසත් මේ පද්‍ය සංග්‍රහය විරුදාවලි ලැබුවා. එහි පද්‍යවල ඇති භාෂාව වගේම එහි රිද්මයත් මොන තරම්ද කියනවා නම්, එහි එන පළමු වන කවිය කියෙව්වාම එක්වරකින් මතකයේ රැඳෙනවා. එහි එන ‘පොඩි මල්ලියේ’ පද්‍යය පුරා ශ්‍රමය කැප කරන්නෙකුට පරිසරය පවා ආශිර්වාදයක් සපයන බව ඒත්තු ගන්වනවා. විශේෂය ඒ ඒත්තු ගැන්වීමට කවියා යොදාගත් බස් වහර පුදුමාකාර සමීප බවක් දැනවීමයි. මට නම් ඒක දැනෙන්නේ මං බලා සිටිද්දී ඒ පුංචි කොලුවාට මම ඒ දේවල් කරන්න කියනවා වගේ. ඒ විතරක් නෙවෙයි, භාෂාව තුළ ළගන්නාසුලුභාවය ඇතිකරලන්නට යොදාගත් රූපකාර්ථවල තියෙන්නේ නව්‍ය බවක්. ඒවා මීට පෙර කිසිදු කවියෙකු තම කාව්‍ය අලංකරණය සඳහා යෙදාගෙන නැහැ. ‘ලිප් දාහේ ඉර ඇවිලි’, ‘ළාදලු චාමර සෙලවී’, ‘සීතල රැලි අත්සීයෙන්’, ‘දිය සුළියේ ඔඩොක්කුවේ’ ඒ අතරින් මගේ මතකයේ රැඳුණු අලංකාර කීපයක්. ඒ කවි බස මේ වගේ සුවිශේෂිතා නිසාවෙන්ම තදින්ම හදවතේ පැළපදියම් වුණා.

ඒවගේම මේ පද්‍ය සංග්‍රහයේ ඇතැම් නිර්මාණ ගීතයටත් ආභාසය ලබා දුන්නා. එකල ලියැවුණු ‘ඔබේ දියණිය මට එපා - ගමේ පෙම්වතිය මට ඉන්නවා’ වැනි ගීත ඊට උදාහරණ විධියට දක්වන්න පුළුවන්. පරාක්‍රමගේ බස් වහරට සාපේක්ෂව ගීතයේ යෙදාගෙන ඇත්තේ බාල බොළඳ බස් වහරක්. රස උත්පාදනය වගේම භාෂාවේ ගුණාත්මකභාවය රැකගැනීමත් මේ පද්‍ය හරහා සිදුවී තිබෙන තවත් මෙහෙයක්. ඒවගේම මේ හරහා පුද්ගල මනසේ යහපත් හැඟීම් ඇති කරන්නේ වඩාත් සූක්ෂම ආකාරයකින්.

මේ පද්‍ය පංතිය හරහා සමාජයට කිසියම් පණිවිඩද ලබා දෙනවා. එම පද්‍ය සංග්‍රහයේම එන ‘දේදුන්න පායාවී හෙටත් පාලම උඩින්’ නම් පද්‍යය අලුත්ම පෙම් කවියක්.

“නොවැලපෙමි ඔබ යන්න වැලප ඇති ඵල කිම්ද?

ජීවිතේ වැරදුණේ මෙතන විතරක් නොවේ

සූරලා ගෙනයන්න මා හදේ පිපුණු මල්

මල් නඟන වසන්තය ඔබට ගෙන යා හැකිද?’’

“ආදරය නින්දක්ද පිබිදිලා සිටින මට

දිනෙන් දින මගේ නෙත් පැහැදුල්ය සුවිපුල්ය

නින්ද තුළ නැති වුණේ එක දෙයයි වරදක්ද?

තව බොහෝ දේ තිබේ ජීවිතය ජය ගනිමි’’

බලන්න, මොන තරම් සංයමයකින් එය ගොඩනගා තියෙනවාද? මට හිතෙන විදියට පරාක්‍රම මේ අමතන්නේ වත්මන් යෞවනයට. ඔවුන්ගේ චින්තනය මේවා හරහා හෝ වෙනස් විය යුතුයි. එය වටහාගත් උසස් පෙළ සිංහල විෂය සඳහා අධ්‍යයන ග්‍රන්ථ නිර්ණය කරන මණ්ඩලය මේ පද්‍ය පංතියත් විෂය සඳහා නිර්දේශ කර තිබෙනවා. තවදුරටත් පද්‍ය සංග්‍රහය ගැන කියනවා නම් එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කවියට නිධානයක්.

සටහන [නිර්මාණි ඉගලහේවාගේ]

මාතෘකා