මා සසල කළේ සමර්සෙට් මෝම්ගේ ‘රේසර්ස් එජ්’ නවකතාවයි ගාමිණි වියන්ගොඩ

 ඡායාරූපය:

මා සසල කළේ සමර්සෙට් මෝම්ගේ ‘රේසර්ස් එජ්’ නවකතාවයි ගාමිණි වියන්ගොඩ

මම පාසල් යන කාල‍යේ මෝම්ගේ කෘති පාඨකයා අතර ඉතාමත් ජනප්‍රියයි. ඒ නිසාම මමත් ඔහුගේ කෘති කියවන්න පෙලඹුණා. ඒ කියවූ කෘති අතර The Razor's Edge (‘රේසර්ස් එජ්’) නම් කෘතියක් තිබුණා. ඒ කාලයේ මට ඒ කෘතිය ලොකු බලපෑමක් කළේ නෑ.

නමුත් 1980 අවුරුද්දෙ විතර මම එය ස්පාඤ්ඤයෙන් මිලදී ගෙන අායෙත් කියවන්න ගත්තා. එහිදී මට මෙය බොහොම සමීප බවක් දැනුණා. නැවත නැවතත් කෘතිය කියවද්දී එහි ආධ්‍යාත්මීය හා මානවීය කරුණු කාරණා ඉතා ප්‍රබල අයුරින් මගේ හදවතට දැනෙන්න ගත්තා. ඒ නිසා මගේ හද සසල කළේ සමර්සෙට් මෝම්ගේ ‘රේසර්ස් එජ්’ නවකතාවයි

මේ කෘතිය ඇත්තෙන්ම ප්‍රේම කතාවක්. නමුත් අපට සුලබව හමු වන ප්‍රේම කතා වගේ නෙවෙයි. කතාංගයට අනුව මෙහි ප්‍රධාන චරිතය ලැරී කියන තරුණයායි. ඔහු ඉසබෙල් නම් තරුණිය සමඟ ප්‍රේමයෙන් වෙලෙනවා. කාලයත් සමඟ ප්‍රේමයේ නිම්වළලු සොයා ගිය ඔවුන්ට නොයෙකුත් බාධක පැමිණෙනවා. ඒවාට පිළියම් සෙවීම එංගලන්තයේදී අසාර්ථක වූ නිසා මේ තරුණයා ඉන්දියාවට පළා යනවා.

ඔහු ඒ පළා යන්නේ මේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගෙන පෙරළා ඇය වෙත එන බවට ප්‍රතිඥා දෙමින්. කෙසේ හෝ භාරත දේශයට ගිය ලැරී විවිධ ශාස්ත්‍රෑවරුන්, යතිවරුන් යටතේ සත්‍යය, ජීවිතාවබෝධය, නිවැරදි මාර්ගය සොයා වසර කීපයක් ගත කරනවා. අනතුරුව ඔහු තමා ලබාගත් නව දැක්මද සමඟ පෙරළා මව් රටට පැමිණෙනවා. එවිට ඔහු දකින්නේ ඔහුගේ සියලු අපේක්ෂා බිඳවැටෙන සිදුවීමක්.

ඔහුගේ ආදරණීය පෙම්වතිය වෙනත් පුරුෂයෙක් හා විවාහ වෙලා. එයින් ඔහු කෙතරම් කම්පා වුවත් ලබාගත් ජීවිතාවබෝධය ඔහුව ශක්තිමත් කරනවා. එහිදී ඔහු කෙතරම් ශක්තිවන්තද කියනවා නම් කලකට පෙර තම පෙම්වතිය වූ, අද වෙනත් පුරුෂයෙකුට ආදරණීය බිරිඳ වූ ඉසබෙල්ට තමා ලබාගත් දැනුම, තමාගේ නව චින්තනය ආදිය ඉදිරිපත් කරනවා. එය ඔහු කරන්නේ දැඩි උපේක්ෂා සහගත මනසකිනුයි.

මේ ආකාරයට ගලා යන කෘතිය පුරා සුපුරුදු ජීවන අත්දැකීම් වෙනුවට විශේෂිත, විරල වූ මනුෂ්‍යභාවයන්, සුන්දර අත්දැකීම් විවරණය වෙනවා. එහිදී කෘතියේ ඇති හදවතට අමතන ගුණය මාව වශී කළා කිව්වොත් මා තවත් නිවැරදියි. එපමණක් නෙවෙයි, ආධ්‍යාත්මයේ සියුම් ඉම් ස්පර්ෂයටත් මේ කෘතිය සංවේදීයි.

අද ‍වෙන කොට ලාංකීය නවකතා ක්ෂේත්‍රයේ වැඩි වශයෙන්ම ප්‍රේම කතා තමයි ලියවෙන්නේ. නමුත් ඒ සෑම කතාවකම එකම කතාවකුයි ඉස්මතු වෙන්නේ. මේ නිසා පාඨකයාත් එකම ආකාරයේ කතා රටාවකට හුරු වෙලා. ආදර කතාවක් වුණත් ජීවිතයේ යථාරූපය දක්වනවා නම් එහි කිසිදු ගැටලුවක් නෑ.

නමුත් ‘රේසර්ස් එජ්’ කෘතිය අපිව වෙනත් වූ සිතුවිලි සමුදායකට ගෙනයනවා. ඒ විතරක් නෙවෙයි, අපට ජීවිතය ගැන අලුතෙන් හිතන්න, දකින්න දොරටු විවර කරනවා. මේ කෘතිය සිංහල භාෂාවටත් පරිවර්තනය වෙලා තියෙනවා.

මේ වගේ කෘති කියවීමට වත්මන් පරපුර යොමු වෙනවා නම් අද තරුණ පරපුරට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්න මාර්ගය එළිපෙහෙළි කරගන්න පුළුවන්. ඒ හරහා යෞවනයේ බොළඳ ප්‍රේමයන්ට ඇති වන ආකර්ෂණය අවම කරගන්නත්, ප්‍රේමයට නව අර්ථකථනයක් ලබාදෙන්නත් හැකියාවක් ලැබෙනවා.

සටහන [නිර්මාණි ඉගලහේවාගේ]

මාතෘකා