එමිලි බ්‍රොන්ටේ ගැන නව චරිතාපදානයක්

 ඡායාරූපය:

එමිලි බ්‍රොන්ටේ ගැන නව චරිතාපදානයක්

ලොව විශිෂ්ටතම ඉංග්‍රීසි නවකතා අතරින් එකක් ලෙස සැලකෙන ‘වදරිං හයිට්ස්’ රචනා කළ එමිලි බ්‍රොන්ටේ පිළිබඳව පැතිර ගොස් ඇති වැරදි අදහස් නිවැරදි කරන ආකාරයේ අලුත් චරිතාපදාන කෘතියක් පසුගියදා පළ වුණා. ක්ලේයාර් ඕකැලෙගන් විසින් රචනා කරනු ලැබ ඇති මේ චරිතාපදානයෙන් පෙන්වා දෙන්නේ එමිලි බ්‍රොන්ටේ පිළිබඳ වැරදි ආකල්ප දුරු කගත යුතු බවයි. එමිලි බ්‍රොන්ටේ යනු මිනිසුන්ට වෛර කළ, නපුරු ගැහැනියකැයි අදහස මුළුමනින්ම වැරදි බවත්, ඇය ලැජ්ජාශීලී තැනැත්තියක වූ නමුදු කිසිසේත්ම අමුතු හැසිරීම් පළ කළ ලේඛිකාවක නොවන බවත් ඕකැලෙගන් සිය කෘතියෙන් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. එමිලි බ්‍රොන්ටේ පිළිබඳ බොහෝ දුර්මත පැතිර ගොස් ඇත්තේ අන්‍යයන් විසින් පදනම් විරහිතව පළ කරන ලද අදහස් නිසා බවත් ඕකැලෙගන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඛලීඩ් හුසේන්ගේ අලුත්ම කෘතිය අගෝස්තු මාසයේ එයි

‘ද කයිට් රනර්’ (The Kite Runner), ‘එ තව්සන්ඞ් ස්ප්ලෙන්ඩිඞ් සන්ස්’ (A Thousand Splendid Suns) සහ ‘ඇන්ඩ් ද මවුන්ටන්ස් එකෝඞ්’ (And the Mountains Echoed) වැනි කෘති ඔස්සේ මෑත කාලයේදී ලොව පුරා විශාල පාඨක පිරිසකගේ ඉහළ අවධානය දිනාගත් ඇෆ්ගන් ලේඛක ඛලීඞ් හුසේන් රචනා කළ අලුත්ම කෘතිය එළඹෙන අගෝස්තු මාසයේදී නිකුත් වීමට නියමිතයි. ‘සී ප්‍රේයර්’ (Sea Prayer) යන නමින් පළ කිරීමට කටයුතු සැලසුම් කෙරෙමින් පවතින මෙය සිරියාවේ සරණාගත අර්බුදය පාදක කරගනිමින් දිගු ලිපියක ස්වරූපයෙන් රචනා කර ඇති කෘතියක්. යුරෝපයේ සරණාගත අර්බුදය පැවැති සමයේදී යුරෝපයට පැමිණෙමින් සිටියදී දියේ ගිලී මියගිය ඇලන් කුර් ඩි නමැති තුන් හැවිිදි සිරියානු සරණාගත දරුවාගේ තෙවස් පූර්ණය යෙදෙන දිනයේදී මේ කෘතිය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙනවා. මේ කෘතියේ කර්තෘභාගය ලෙස ලැබෙන මුදල ලොව පුරා විසිරී සිටින සරණාගතයින්ගේ සුබසාධනය වෙනුවෙන් යෙදවීමට කතුවරයා තීරණය කර ඇති බවත් සඳහන්.

නයිජීරියානු ලේඛිකාවකට මුල් පෙළේ ජාත්‍යන්තර සම්මානයක්

ප්‍රකට නයිජීරියානු නවකතා රචිකාවක වන චිමාමන්දා න්ගොසි අඩිචි වෙත 2018 වසරේ පෙන් පින්ටර් ත්‍යාගය (PEN Pinter Prize) පිරිනැමෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙයට පෙරත් සිය කෘතීන් සඳහා විවිධ සාහිත්‍ය සමමාන ගණනාවක් හිමි කරගත් ඇය 2004 වසරේ පළ වූ ‘පර්පල් හයිබිස්කස්’ නමැති සිය ප්‍රථම නවකතාව සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේඛක ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. එයින් පසුව ඇය රචනා කළ ‘හාෆ් ඔෆ් එ යෙලෝ සන්’නමැති කවකතාවට 2006 වසරේදී ඔරේන්ජ් සාහිත්‍ය ත්‍යාගය හිමි වූ අතර, ඇගේ ‘ඇමෙරිකානාහ්’ නමැති කෘතියට 2014 වසරේදී ඇමෙරිකාවේ ජාතික ග්‍රන්ථ විචාරක සංසද ත්‍යාගයත් පිරිනැමුණා. මෙවර ඇයට හිමිව ඇති පෙන් පින්ටර් ත්‍යාගය එළඹෙන ඔක්තොබර් 09 වැනිදා පැවැත්වෙන විශේෂ සම්මාන උළෙලේදී ඇය වෙත පිරිනැමීමට නියමිතයි.

චීන සාහිත්‍යයේ දැවැන්තයෙක් මියයයි

චීනයේ හොංකොං නුවර පශ්චාත් යුද සාහිත්‍ය ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ ලේඛකයකු ලෙස සැලකෙන ලියු යිචෑන්ග් පසුගියදා මෙලොවින් සමුගත්තා. මියයන විට 99 හැවිරිදි වියේ පසු වූ ඔහු ඇතැම් පාඨක පිරිස් අතර වඩාත් ප්‍රකටව සිටියේ ලාවු යී චියුන්ග් යන නමින්. ෂැංහායි නුවර විද්වත් පවුලක උපත ලැබූ ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ විශාල ලේඛක පිරිසක් බිහි කළ සාන්ත ජෝන් විශ්වවිද්‍යාලයෙන්. විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව ෂැංහායි නුවර එවකට පැවැති සාහිත්‍ය සමාජය තුළ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කලක් කටයුතු කළ ඔහු චීනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟ ෂැංහයි නුවර ඇති වූ ව්‍යාකූල තත්ත්වය හමුවේ 1948 වසරේදී හොංකොං නුවරට සංක්‍රමණය වුණා. එහිදී සාහිත්‍ය කටයුතු සඳහා මුළුමනින්ම කැපවී කටයුතු කළ ඔහු ඉතා ඉහළ මටට්මේ සාහිත්‍ය කෘති ගණනාවක් රචනා කළා. ඒ කෘති අතරින් කිහිපයක් සිනමාවටත් නැගී තිබෙනවා.

[මේනුක විතාන]

මාතෘකා