ලෝකය චක්‍රයක් නම් කවිය එහි නාභියේ සිට කරන විමසුමක්

 ඡායාරූපය:

ලෝකය චක්‍රයක් නම් කවිය එහි නාභියේ සිට කරන විමසුමක්

ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ

ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ රචනා කළ නවතම කාව්‍ය සංග්‍රහය ‘ක්ෂණ නියාම’ ඊයේ එළිදැක්විණි. අහස ප්‍රකාශනයක් ලෙස එළිදුටු එය පිළිබඳව නන්දන වීරසිංහ සමඟ අප කළ සම්මුඛ සාකච්ඡාවකි, මේ. ‘ක්ෂණ නියාම’

ඔහු වසර කිහිපයක නිහැඬියාවකින් පසු එළිදක්වන නවතම කාව්‍ය සංග්‍රහයයි.

ඔබේ නවතම කාව්‍ය සංග්‍රහය හඳුන්වා දිය හැක්කේ කුමන ආකරයටද?

මගේ ‘සහස් රැස් යට’ කෘතිය පළ වූයේ 2011 වසරේදීයි. එයින් වසර හයක් ගත වූවාට පසුව පළ වන මගේ නවතම කාව්‍ය සංග්‍රහය මෙයයි. මට වසර පහකට හෝ හයකට වරක් කවි එකතුවක් කරන්න ඕන කියන පෙළඹීම ඇතුළාන්තයෙන්ම එන දෙයක්. එහෙම නොකළොත් හිතට මොකක්දෝ අඩුවක් දැනෙනවා. ඒ වගේම අපේ අලුත් නිර්මාණ පිළිබඳව විමසිලිමත් වන සුළු හෝ රසික පිරිසකුත් සිටිනවා. ඒ නිසා මේ නිර්මාණ කෘතිය මේ වසරේ පළ කළ යුතුයි කියා මා අදහස් කළා. සාමාන්‍යයෙන් නම් අපි පොතක් පළ කරන්නේ වරින්වර ලිවීමෙන් එකතු වන නිර්මාණ ඇතුළත් කරලායි. එහෙත් මේ පොතට ඇතුළත් වුණේ අවුරුදු එක හමාරක් විතර මේ වෙනුවෙන්ම ලියාපු කවි සමූහයක්. ‘සහස් රැස් යට’ කෘතියේ තිබුණු ඇතැම් කවිවල වැඩී යෑම් මේ කෘතියට ඇතුළත්ව ඇති කවිවල තියෙනවා. භෞතික ජීවන ගැටලු, මිනිසුන්ගේ මහා ක්‍රියාත්මක ජීවිතය සහ දේශපාලන සංඝටන වගේ දේවල් මේ කවිවල මතු වෙනවා අඩුයි. මේ කවි එවැනි විෂය පෙදෙස් වෙත යොමු නොවීම අඩුවක් කියා යම් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා. නිශ්ඵල දේශපාලනයට එරෙහිව කරන හඬනැගීම් සහිත තියෙන නිර්මාණවලට බොහෝ දෙනෙක් කැමතියි. ඒත් මා විශ්වාස කරන ආකාරයට නම් කවියෙන් සිදු විය යුත්තේ ඒ දේශපාලන කලිකලය විෂය කරගැනීම පමණක්ම නෙවෙයි. කවිය කියන්නේ පොදු මහත් ජීවිතය පිළිබඳ කරන අවලෝකනයක්. කිසියම් චරිතයක් පිටු දෙන සංස්කෘතික සහ සමාජ මූලයන් තමයි කවියෙන් මතු වෙන්නේ.

මේ කාව්‍ය නිර්මාණ අද බොහෝ අය හඳුනාගෙන සිටින කවියට වඩා වෙනස්?

ඔව්. මේ කෘතියට ඇතුළත් වෙන්නේ බොහෝ අය අපේක්ෂා කරන ආකාරයේ කවි නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසාම මේ කවියා පවත්නා සමාජයට අයත් නැති හුදෙකලා කවියෙක්ය කියන චෝදනාවත් එල්ල වෙන්න පුළුවන්. මෙයට පෙර පළ වූ මගේ නිර්මාණ සම්බන්ධයෙනුත් එවැනි චෝදනා නැගුණා. ඒත් මේ තමයි මගේ කාව්‍ය මාර්ගය. එයින් බැහැර ජනප්‍රිය කාව්‍ය මාර්ගයකට යොමු වෙන්න මට අවශ්‍ය නැහැ. කවියා මධ්‍යයේ සිට කරන විශ්ලේෂණයක් කවියේ තිබිය යුතුයි. ලෝකය එක්තරා චක්‍රයක් නම් ඒ චක්‍රයේ නාභිය මත සිට කිසියම් සංසිඳූණු මනසකින් ලොව විමසීමක් තමයි කවියකු විසින් කළ යුතු වන්නේ.

මෙය ඔබ මෙතෙක් පැමිණි කවි මඟෙහිම දිගුවක් යැයි කිව හැකිද?

ඔව්. එසේ කියන්නත් පුළුවන්. එහෙත් යම් යම් අත්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා දරන ප්‍රයත්නයන් අනුව කලින් කලට ඒ ප්‍රකාශන වෙනස් වෙනවා. සමහර විට වචනයෙන්ම යම් යම් දේවල් ඇඟවීම් කළ අතීතයට වඩා බෙහෙවින් චිත්තරූපික වශයෙන් දරපු ප්‍රයත්න මේවායේ තියෙන්න පුළුවන්. සාහිත්‍යාංගයක් පිළිබඳ අවබෝධය යම් පමණකින් වර්ධනය වීමත් සමඟ කෙනෙකුගේ රීතීන් වෙනස් වෙනවා. ප්‍රකාශන ආකාර වෙනස් වෙනවා. ඒක සාහිත්‍ය සමාජයේ ඕනෑම කෙනෙකුට අදාළයි කියලා මම හිතනවා. කවියේදී මේ ප්‍රයත්න නිවැරදිව සනිටුහන් වෙන්න ඕන. විශේෂයෙන්ම ඒ ප්‍රයත්න මඟින් ස්වකීය භාෂාවේ සුක්ෂ්මාත්මතාව නොපිරිහෙළන්න ඕන. ඒ සූක්ෂමතාව පිරිහෙළනවා නම් අපේ ප්‍රයත්නවලින් වැඩක් නැහැ. භාෂාවේ තියෙන මහාත්වය සහ සූක්ෂමතාව රැකගැනීම ඉතා වැදගත්. අතිසියුම් දේ පවා හසු කරගත හැකි බසක් අප සතුයි කියන කාරණය සඳහා නිහඩ සාක්ෂිකරුවන් වන්නේත් අපමයි. බසෙහි තියෙන ව්‍යංජනා ගුණ මතු කරමින් බසට ජීවමානභාවයක් දෙන්න නම් අපි නිර්මාණ මාර්ගයෙන් බසේ ශක්තිය පෙන්වන්න ඕන. අන්න ඒ සඳහා තමයි මම ප්‍රයත්න දරන්නෙ. එහෙම නැතුව කවිය අවියක් කරගැනීමට නම් නෙවෙයි. කවිය අවියක් කරගෙන මේ සමාජ අවුල වෙනුවෙන් හඬ නගන්නෙක් වෙන්න, ධර්ම දේශකයෙක්, ප්‍රචාරකයෙක් හෝ ප්‍රතිසංස්කාරකයෙක් වීමේ අවශ්‍යතාවක් මට නැහැ.

මේ කවිවල තියෙන්නෙ අන්තරාවර්තී ස්වභාවයක්?

එහෙමමත් කියන්න බැහැ. කිසියම් අන්තරාවර්තී ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ අන්තරාවර්තී ස්වභාවය ඇතුළෙ නේද හැම ප්‍රකාශනයක්ම ලොවට එන්නෙ? අන්තරාවර්තී පුද්ගල මනස පසු අවස්ථාවකදි කිසියම් බාහිර ආවර්තී තත්ත්වයකට එනවා. ඒ කියන්නේ අන්තරාවර්තී ස්වභාවයෙන් පවා හසු කරගන්නේ බැහැර ලෝකයේ පිළිබිඹුවක්. ඒ පිළිබිඹුවට අන්තරාවර්තී කියලා කිසියම් නාමකරණයක් කරන්න පුළුවන්. නමුත් තවත් කෙනෙකුට ඒක අන්තරාවර්තී නොවෙන්න පුළුවන්.

මේ කාව්‍ය සංග්‍රහයට ‘ක්ෂණ නියාම’ වැනි නමක් යොදාගත්තේ ඇයි?

මේ නම කවි පොතකට ගැඹුරු වැඩියි කියලා මගේ හිතවතුන් පවා කියලා තියෙනවා. එහෙත් මේ ක්ෂණය සහ නියාමය කියන දේවල් අපට නුහුරු දේවල් නෙවෙයි. අද අපි ජීවත් වෙන්නේ බුදුසමයේ බොහොම ගැඹුරු දේවල් පවා දන්න කියන සමාජයකනෙ. බුදුන් වහන්සේගේ දහම වෙනුවෙන් වෙන කිසි කලකටත් වඩා වැඩි මහා පුදුමාකාර පෙනී සිටීමක් අද තියෙනවානෙ. එහෙම සමාජයකට ක්ෂණය සහ නියාමය ගැඹුරු හෝ නුහුරු වෙන්න බැහැ. මේ පැවැත්මේ මුල්ම කොන්දේසිය තමයි ක්ෂණය. පැවැත්ම සිද්ධ වෙන්නෙ ඒ ක්ෂණය ගෙවීමත් සමඟයි. සියල්ල ආරම්භ වන්නේත් එක් ක්ෂණයකින්. සැතපුම් ලක්ෂ ගණනාවක් යන්නත් මුල් ක්ෂණය හෙවත් මුල් පියවර තියන්න ඕන. උපත, පැවැත්ම සහ මරණය කියන මේ විවිධ අවස්ථා සඳහා ක්ෂණය පාදක වෙනවා. එතකොට ජීවිතය කියන්නේ මහා ක්ෂණ පරම්පරාවක්. අප එයට මුහුණ දිය යුතුමයි. ඒ නිසා මේක නියාමයක්. මේ කවිවලට ඇතුළත් වන සංසිද්ධීන් සියල්ල උපත, පැවැත්ම සහ මරණය යන අවස්ථා තුන පාදක කරගෙන තියෙන නිසා මම හිතුවා මෙවැනි නමක් පොතට දාන්න ඕන කියලා. හැබැයි ඒ නිසාම මේක කාටවත් නොතේරෙන කවි පොතක් කියලා හිතනවා නම් වැරදියි. අපේ බස වැටහෙන කෙනෙකුට මේ කවි තේරුම්ගන්න පුළුවන්. මේ සමාජයේ කවිය විඳින රසික පිරිස ටිකක් පුළුල් අධ්‍යාත්මයක් සහිත අද්විතීය මිනිස්සු විදියටයි මම සලකන්නෙ. ඔවුන්ට මේ භාෂාවේ මුල අකුර කියා දීලා ආපහු ඊළඟ අකුරු කියාදෙන්න වුවමනා නැහැ. කවියෙක් හෝ කලාකරුවෙක් තමා අභිමුව ඉන්න රසික ප්‍රජාව අවප්‍රමාණ නොකළ යුතුයි. පාඨකයා ඉතා දියුණුයි කියලා අපි හිතන්න ඕන. මා කළ නිර්මාණයේ වටිනාකම වැඩි වෙන්නේ එය පාඨකයා අතට පත් වුණාට පසුවයි.

කවිය ගැඹුරු දාර්ශනික තලයකට යොමු වීමත් සමඟ රසික ප්‍රජාව එයින් දුරස්ථ විය හැකියි?

ඇත්තෙන්ම ඔය දාර්ශනිකයි කියලා කරන නාමකරණය ඒ තරම් යුක්ති සහගත එකක් නෙවෙයි. අපි නිර්මාණයක් දිහා බලන්න ඕන නිදහස්ව. එහෙම නොබලා කිසියම් නාමකරණයක් කළොත් එතැන් පටන් ඒ නිර්මාණය පෙනෙන්නේ ඒ ආකාරයටමයි. ඇත්තටම මේ කවිවල කිසිම දාර්ශනිකත්වයක් නැහැ. හැබැයි අවසානයේ කවියා ලබාපු අත්දැකීම ඔස්සේ ඒ අත්දැකීමට එකතු වන යමක්. ඒ අත්දැකීමේ නොතිබුණු කිසියම් ගුණ සමූහයක් නැත්නම් ගුණයක් කවියක දකින්න ලැබෙන අවස්ථා තිබිය හැකියි. කවිය ඉදිරිපත් කරන ආකාරයේ තියෙන කිසියම් වෙනසක් නිසා ඇතැම් අය මේ විවිධ නාමකරණයන් කරනවා වෙන්නත් පුළුවන්. කවර නාමකරණයක් යටතේ වුවත් මේ කවි රසවිඳින කාව්‍ය සමාජය පුළුල් වීම වැදගත්. කවිය කියන්නේ කවදත් එතරම් විශාල රසික පිරිසක් අතරට යන සාහිත්‍යාංගයක් නෙවෙයි. “පෙදෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ” කියලානෙ කියන්නෙ. කවියේ රස භාව විඳින අය එදත් හිටියෙ හරි සුළු පිරිසක් පමණයි. කවිය මහ විශාල රසික ප්‍රජාවක් යොමු කරගන්නෙ නැහැ. ඒ කවියේ ස්වභාවයයි. කවිය සමාජයේ එක්තරා පරිධියකයි තියෙන්නෙ. විභාග සඳහා කවි අධ්‍යයනය කළ යුතු නිසා මිසක් අද පරපුරේ ළමයි ඕවා අල්ලන එකක්වත් නැහැ.

අතිශයින් වාණිජකරණය වූ මෙවැනි සමාජයකට කවිය වැදගත් යැයි ඔබ විශ්වාස කරනවාද?

ඔව්. කවර සමාජ පසුබිමකදී වුවත් කවිය ඉතාම වැදගත්. එහෙත් මේ කුමන ආකාරයේ සමාජ තත්ත්වයන් පැවැතියත් කවිය පවතින්න නම් වෙනත් අරමුණුවලින් බැහැරව කවියට අවශ්‍ය රසික පිරිස හැදෙන්න ඕන. කවිය ඔස්සේ රසමනස හදන්න පුළුවන්. එය අන් කිසි මාධ්‍යයකින් කළ නොහැකි ආකාරයෙන් කළ හැකි වන්නේත් කවියටයි. ගද්‍යයෙන් අපේ අධ්‍යාත්මයේ සියුම් තැන් පාරවලා ගන්න අමාරුයි. ඒක නිසා අපට මොහොතකදි කවිය කියන දේ අවශ්‍ය වෙනවා. දුරාතීතයේ ඉඳලම ඒකයි සිද්ධ වුණේ. භාෂාවේ ද්විත්ව රූපයක් තියෙනවා. එකක් ගද්‍ය. අනෙත් එක පද්‍ය. පද්‍ය භාවිත කරන්නේ ඉතා සියුම්, මනුෂ්‍යයාට වෙනත් ආකාරයකින් කියාගන්න බැරි දේ කියාගන්නයි. එහෙත් ජනප්‍රිය ගීතය ගිහිල්ලා තියෙන වට මායිමෙන් එහාට අපට කවිය යවන්න බැහැ. එහෙමනං කවිය අත හැරලා ඒ වෙනුවට වෙන මොකක් හෝ කරන්න ඕන. කවිය ජනප්‍රිය කරන්න දරන වෑයමේදී වෙන්නෙ මෙය බාල්දුවීමයි. එතකොට කාව්‍යයට හිමි විශේෂ මූලිකාංග සහ මූලික කාව්‍ය උපක්‍රම ගිලිහෙනවා. ඒ එක්කම ඇතැමුන් බොහොම සෘජු වේගවත් ප්‍රකාශන සඳහා කවිය යොදාගනිමින් එය ජනප්‍රිය කරන්න වෙර දරනවා. පොදු ජනයා වෙතටත් කවිය ගෙන යා යුතුයි කියලා කවුරු හරි හිතනවා නම් ඒකකරන්න පුළුවන්. හැබැයි එතැනදි උත්තම කවිය කියන දේ අපට අහිමි වෙනවා. එවිට ගැඹුරක් තියෙන සහ ජීවිතය වෙනත් සුවිශේෂ ආකාරයකට ස්පර්ශ කරන කවියක් අපට ලැබෙන එකක් නැහැ.

නිවැරදි කවි මඟක් සකස් කරගැනීම සඳහා ඔබට මැදිහත් විය හැකියි?

අපට කවිය සම්බන්ධයෙන් කිසියම් වගකීමක් තියෙන බව පිළිගත යුතුයි. එහෙත් නිවැරදි කවි මඟ මෙන්න මෙයයි කියමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් නැහැ. තරුණ පරපුර සහ අන් සියලු අය ඇතුළත් මේ සමාජය අපේ අදහස් පිළිගත යුතු යැයි යන විශ්වාසයෙන් විවිධ දේවල් දේශනා කරමින් මහා ප්‍රතිසංස්කරණයක යෙදෙන කෙනෙක් විදියට හැසිරෙන්න මම ඒ තරම් කැමති නැහැ. මගේ නිර්මාණ සහ වින්දන පරාසය තුළ කළ හැකි දෙයක් කරමින් ඒ ඔස්සේ මා කරන මැදිහත්වීම ප්‍රමාණවත් බවයි මගේ අදහස. මම වර්තමානයේ ලියැවෙන කවියක් පිළිබඳ යම්කිසි විඳීමක් කරන කෙනෙක්. මට ඒ විඳීම සමාජය තුළ සනිටුහන් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න කවි ලිවීම පිළිබඳව උපදෙස් ලබාදීම, මඟපෙන්වීම හෝ උගැන්වීම වැනි දේවල්වලට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නැහැ. අලුත් කවි පරපුර ඉදිරියේ ගුරු භූමිකාවක් රඟමින් මෙන්න මේ මඟ යන්න, මෙන්න මෙහෙමයි කවි ලියන්න ඕන වැනි දේවල් කියන ලොකු දේශකයෙක් වෙන්න මට අවශ්‍ය නැහැ. සමහර විට කවිය පිළිබඳ මහා ග්‍රන්ථ සම්පාදනයෙන් අත් නොවන මෙහෙයක් උසස් කවි තුන හතරක් අධ්‍යයනයෙන් සිද්ධ වෙන්න පුළුවන්. මා අන්න ඒ සඳහා නම් මැදිහත් වෙනවා. මා වටා සිටින මිතුරන්ටත්, මට හමු වන උසස් කවිය රස විඳින අයටත් මම ඒ සඳහා කිසියම් ඉඟි සපයනවා. අද වන විට අන්තර්ජාලය මාර්ගයෙන් ඕනෑම උසස් කවියක් විඳින්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඔස්සේ අද ලියැවෙන බොහෝ කවි රසවිඳින්න අපට පුළුවන්. මේ සියල්ල හරහා ඉතාම සාධාරණ විදියට අපි කවිය ගැන කරන වරනැගීම් සහ විවරණ ඔස්සේ තවත් කෙනෙක් ගොඩනැගෙනවා නම් ඒ ගැන අපට සතුටු විය හැකියි. අන් අයට සිය අභිමතය පරිදි නිවැරදි කවිය හොයාගන්න ඉඩ අවකාශ හිමි විය යුතුයි. අපි ඒකට මැදිහත් වෙන්න ඕන හරි ක්‍රමානුකූලව සහ සියුම්ව බවයි මගේ විශ්වාසය.

ඔබේ කාව්‍ය නිර්මාණ අතර වඩාත්ම අවධානයට ලක් වූ ‘දුම්මල ගලට ගිය අම්මා’ වැනි නිර්මාණයක් දෙස ආපසු හැරී බලන විට අද ඔබට දැනෙන හැඟීම කුමක්ද?

බොහෝ අය මාව නොදන්නවා වුණත් ඔය කවිය දන්නවා කියලා මම හිතනවා. මේ වන විට පරම්පරා දෙකක් විතර පෙළපොත් මඟින් ඔය කවිය කියවලා තියෙනවා. මගේ කවි සියල්ල අතර බොහෝ අය දන්න ප්‍රසිද්ධ කවියක් හැටියට එය සැලකෙනවා. එය වැඩි පිරිසකට සමීප වුණේ එහි තියෙන නිහතමානී ගුණය නිසා සහ එය ජන කවියට කිට්ටු වන සියලු උරුමයන් තියෙන නිර්මාණයක් නිසා වෙන්න ඇති. ඒ වගේම පාසල්වල දහය වසර පෙළපොතේ මුලින්ම ඒක යොදාගැනීම නිසාත් එය කිසියම් වැඩි අවධානයකට ලක් වුණා වෙන්නත් ඇති. නැවතත් ඒ වගේ කවි ලියන්න කියලා ඇතැම් රසික පිරිස් මට කියන අවස්ථාත් තියෙනවා. ඔවුන් එහෙම කියන්නේ ඒ නිර්මාණයට කැමති නිසා වෙන්න ඇති. එහෙත් එවැනි කවියක් නැවත මා අතින් ලියැවෙන්න ඉඩක් නැහැ කියලා මට හිතෙනවා. නැවත ඒ අතීතයටම ගිහිල්ලා ඒ කවිය ලියුවත් ඒ විදියටම ලියැවෙන එකක් නැහැ. මොකද ඒ අතීතයට හිමි බොහෝ හේතු ප්‍රත්‍ය මේ වන විට උදාසීනයි. අද වන විට මම වැඩ කරන්නේ අදට අවශ්‍ය හේතු ප්‍රත්‍ය සමුදායක් සමඟයි. මම විතරක් නෙවෙයි, අන් ඕනම කෙනෙක් එහෙමයි. මේ පුද්ගල සංකල්ප සියල්ල තීරණය කරන්නේ පවතින මොහොත විසින්.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

ඡායාරූප [සුදම් ගුණසිංහ]

මාතෘකා