නව ගුණ හා නව ගුණ වැල

 ඡායාරූපය:

නව ගුණ හා නව ගුණ වැල

‍වෙසක් පුන් පෙහොය උදා වෙත් ම බෞද්ධයන්ගේ සිත් බුදුන් වහන්සේ කෙරේ ඇදී යයි. බුදුන් වහන්සේ ලෝකයෙහි පහළ වුණු පැරණිතම ආගමික ශාස්තෘවරයා සේ සැලකේ. ශ්‍රෙෂ්ඨ ඉන්දියානු පුත්‍රයෙකු වූ ජවහර්ලාල් නේරු විසින් 'ශ්‍රෙෂ්ඨතම ඉන්දියානු පුත්‍රයා' වශයෙන් හඳුන්වනු ලබන්නේ බුදුන් වහන්සේ ය.

බුදුන් වහන්සේගේ ධර්මය ඉතා පැහැදිලි බවත් සරල බවත් කියන එච්.ජී. වෙල්ස් ( H.G.Wells) නමැති සුප්‍රකට ඉංගිරිසි ඉතිහාසඥයා එය නූතන අදහස් සමග ඉතා හොඳින් පෑහෙන බව (Outline of Hiistory, 315 පිට) කියයි.

පෝය දාට පන්සල් යන උපාසික උපාසිකාවන්ගේ අතේ 'නව ගුණ වැලක්' ඇත. ඒ බුදුන් වහන්සේට සුවිශේෂ වූ ගුණ නවයක් සිහිපත් කරමින් භාවනා කිරීම පිණිස ය. මේ නව ගුණ දක්වා ඇත්තේ පාලි භාෂාවෙන් ලියවුණු ගාථාවක ය.

"ඉතිපි සෝ භගවා

අරහං

සම්මා සම්බුද්ධෝ

විජ්ජා චරණ සම්පන්නෝ

සුගතෝ

ලෝක විදූ

අනුත්තරෝ

පුරිස දම්ම සාරථි

සත්ථා දේව මනුස්සානං

බුද්ධෝ භගවාති"

මේ ගාථවෙන් කියවෙන්නේ බුදුන් වහන්සේ පහත දැක්වෙන නව ගුණ ඇත්තෙකැයි කියා ය.

1 අරහං

උන් වහන්සේ කෙලෙස් නැති කළ කෙනෙක්. රහසින් වත් පව් නොකළ කෙනෙක්. සංසාර චක්‍රය සමඟ ඇති සියලු සම්බන්ධතා නැති කළ කෙනෙක්. සියලු කෙලෙසුන් නැසූ පුද්ගලයාට 'අර්හත්' හෝ 'අරහන්ත' යන නාමය ද යෙදේ. සිංහලයා 'රහතන් වහන්සේ' යන නමින් හඳුන්වන්නේ උන් වහන්සේ ය. උන් වහන්සේලාට 'රහත් වීමේ' විශේෂ ශක්තිය ඇත.

2 සම්මා සම්බුද්ධෝ

චතුරාර්ය සත්‍යය තමන් ම අවබෝධ කොට ගත් කෙනෙක්. සම්බුදුවරයෙක්. තමන් අවබෝධ කොට ගත් සත්‍යය අනුන්ට ද පැහැදිලිව නිරවුල්ව කියා දිය හැකි කෙනෙක්. තමන් ලැබූ අවබෝධය අනුන්ට කියා දීමේ ශත්‍යතාවක් නැති බුදුවරයා 'පච්ඡෙක බුද්ධ' හෝ 'පසේ බුදු' යන නමින් හැදින්වේ.

3 විජ්ජා චරණ සම්පන්නෝ

විද්‍යා අටත් චරණ ධර්ම පහළොවත් දත් කෙනෙක්. මෙහි සඳහන් වන විද්‍යා අටත් චරණ ධර්ම පහළොවත් බුදු කෙනෙකුන් සතු එක්තරා ඥාන සම්භාරයක් සංකේතවත් කරයි.

4 සුගතෝ

ශෝභමාන ගමන් ඇති කෙනෙක්. නිවන නම් සුන්දර ස්ථානයට මනාව පැමිණි කෙනෙක්. යහපත් වචන කතා කරන කෙනෙක්.

5 ලෝක විදූ

තුන් ලෝකයෙහි සියල්ල ම දත් කෙනෙක්. තුන් ලෝකය යන්න කීප ආකාරයකින් විවරණය කෙරේ: කාම ලෝකය, රූප ලෝපය හා අරූප ලෝකය යනුවෙන් ද සත්ව ලෝකය, සංස්කාර ලෝකය හා ආකාශ ලෝකය යනුවෙන් ද දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය හා පාතාලය යනුවෙන් ද විවරණය කොට ඇත.

6 අනුත්තරෝ

සියල්ලන්ට ම වඩා උතුම් කෙනෙක්. බුදුන් වහන්සේට වඩා උතුම් කෙනෙකු නැතැයි බෞද්ධයෝ සිතති.

7 පුරිස දම්ම සාරථි

දමනය කිරීමට අමාරු මිනිසුන් දමනය කළ කෙනෙක්. ඇතැම් මිනිසුන් දමනය කිරීම හෝ හික්මවීම අතිශයින් දුෂ්කර ය. එවැන්නන් පවා දමනය කිරීමේ ශක්තියක් බුදුන් වහන්සේට ඇත.

8 සත්ථා දේව මනුස්සානං

දෙවියන්ටත් මිනිසුන්ටත් ශාස්තෘවරයෙක්. මෙහි 'සත්ථා' යන පාලි පදයේ අර්ථය ශාස්තෘවරයා යනු යි.

9 භගවාති

ඉතා භාග්‍යවන්ත කෙනෙක්. භාග්‍යය යනු වාසනාව යි.

අරහං

සිංහල ජන වහරෙහි ද 'අරහං' යනුවෙන් පදයක් දැන් යෙදේ. "මට ගෑනු අරහං", "මිනිහට සල්ලි අරහං" වහරක මෙනි. මේ පදය 'අරහං' යන පාලි පදයට සම්බන්ධ වූවක් නොවේ. සමහර විට අරාබි බසෙහි එන 'හරාම්' යන පදය ඊට මුල් වූවා විය හැකි ය. අරාබි බස කතා කරන මුස්ලිම්වරු සිය ආගමට කැප වූ දේ 'හලාල්' යනුවෙනුත් අකැප වූ දේ 'හරාම්' යනුවෙනුත් හඳුන්වති. කෑමට සුදුසු ආහාර 'හලාල්' වන අතර කෑමට නුසුදුසු ආහාර 'හරාම්' වන්නාක් මෙනි. සිංහලයා 'අරහං' සේ සලකන්නේ මේ 'හරාම්' වස්තු විය නොහැකි ද?

[ජේ.බී. දිසානායක]

මාතෘකා