චක්ෂු, නයන නේත්‍ර හා ලෝචන

 ඡායාරූපය:

චක්ෂු, නයන නේත්‍ර හා ලෝචන

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

ඇස නමැති ඉන්ද්‍රිය හැඟවීමට යෙදෙන තවත් පද කීපයක් මෙහි ඉදිරිපත් කෙරේ.

චක්ෂු - 'චක්ෂු' යන පදය ද සංස්කෘත භාෂාවෙන් ගත් තත්සම පදයකි. එය පාලි බසෙහි යෙදෙන්නේ 'චක්ඛු' යනුවෙනි. එය සිංහලයට බිඳී එන්නේ 'සක්' යනුවෙනි.

සිංහලයෙන් බුදුන් වහන්සේට 'පස් ඇස්' යන විරුදාවලිය යෙදුණේ උන් වහන්සේ සතුව ඇස් පහක් තිබුණු හෙයිනි. මේ පසැස් පාලි භාෂාවෙන් හැදින්වෙන්නේ මෙසේය :

මංස චක්ඛු : මස් ඇස්

දිබ්බ චක්ඛු : දිව් ඇස්

පඤ්ඤා චක්ඛු : පැන ඇස්

බුද්ධ චක්ඛු : බුදු ඇස්

සමන්ත චක්ඛු : සමතැස්

සක් අට - ඇස් ඇඟවීමට පාලි භාෂාවෙන් යෙදෙන 'චක්ඛු' යන පදය සිංහලයට එන්නේ 'සක්' යනුවෙන් බැවින් ඇස් අටක් ඇති මහා බ්‍රහ්මයාට 'සක් අට' යන නම ද යෙදේ.

නයන - 'නයන' යන පදය සංස්කෘත භාෂාවෙන් ගත් තත්සම පදයකි. එය පාලි භාෂාවෙහි යෙදෙන්නේ ද 'නයන' යනුවෙන් ම ය. එය සිංහලයට බිඳී එන්නේ 'නුවන්' යනුවෙනි.

නයනාරෝග්‍ය - ඇස් රෝහල 'නයනාරෝග්‍ය ශාලාව' යි. එය සැදෙන්නේ 'නයන' හා 'ආරෝග්‍ය' යන පද දෙක සන්ධි වීමෙනි. මේ බව නොදන්නා ඇතැම් අවියත්තු එය 'නයනා රෝග්‍ය' යනුවෙන් විසන්ධි කොට දක්වති.

නයනානන්ද - ඇසට ආනන්දය ගෙන දෙන වස්තුව 'නයනානන්ද' වේ. එහි අර්ථය 'දැකුම්කලු' හෝ 'නෙත්කලු' වේ.

නයනාමෘත - අමෘතයක් සේ ඇස පිනවන දේ 'නයනාමෘත' ය.

නයන රසායන - දැකීමට ප්‍රිය උපදවන දේ 'නයන රසායන' ය.

නුවන් - 'නයන' යන සංස්කෘත තත්සමය සිංහලයට බිඳෙන්නේ 'නුවන්' යනුවෙනි. කාන්තාවකගේ රූප ලාවණ්‍යය වර්ණනා කරන එක් ගීත රචකයෙකු ඇගේ නිල්වන් දෑස් රූපකයකට නැගුවේ "නීල නුවන් - මානෙල් මල්" යනුවෙන් කීමෙනි.

නුවනග බැල්ම - තරුණයන්ගේ සිත් ඇදී යන්නේ තරුණියන්ගේ 'නුවනග බැල්මට' ය. 'නුවනග' යනු නුවන් කෙළවරින් බලන බැල්ම යි.

දෙනුවන් - ඇස් දෙක 'දෙනුවන්' ය.

නේත්‍ර - 'නේත්‍ර' යනු සංස්කෘත භාෂාවෙන් ගත් තත්සම පදයකි. එය පාලි භාෂාවෙහි යෙදෙන්නේ 'නෙත්ත' යනුවෙනි. එය සිංහලයට බිඳී එන්නේ 'නෙත්' යනුවෙනි. සිංහල ජන වහරෙහි 'නේත්තරා' යන පදය ද හමු වේ. බුදු පිළිමයකට ඇස් තැබීමේ මංගල්ලය හැඳින්වෙන්නේ 'නේත්තරා පිංකම' යනුවෙනි.

නේත්‍ර කාන්ති - ඇසටත් හිසටත් හොඳ එක්තරා තෙලක් සිංහල වෙද මහත්වරුන් නම් කොට ඇත්තේ 'නේත්‍රකාන්ති තෛලය' යනුවෙනි.

සුනේත්‍රා - ලස්සන ඇස් දෙකක් ඇත්තී 'සුනේත්‍රා' ය.

නෙත්කලු - සිත් ඇද ගන්නා දසුන 'නෙත්කලු' ය.

දෙනෙත් - මිනිසුන් වන අපට ඇත්තේ 'දෙනෙත්' හෝ 'දෑස්' ය.

තිනෙත් - මහ ඉසුරු හෙවත් මහේශ්වර නම් දෙවියාට ඇස් තුනක් ඇති හෙයින් 'තිනෙත්' නම් වේ.

අටනෙත් - මුහුණු හතරක් ඇති හෙයින් මහාබ්‍රහ්මයාට නෙත් අටකි. එබැවින් ඔහු 'අට නෙත්' නම් වේ.

බරනෙත් - කඳකුමරුන්ට හෙවත් කතරගම දෙවියන්ට ඇස් දොළොසකි. එබැවින් ඔහු 'බරනෙත්' යනුවෙන් හැඳින්වේ. 'බර' යනු දොළහ යි.

සහස් නෙත් - නෙත් දහසක් හෙවත් සහසක් ඇති නිසා සක් දෙවිඳු 'සහස් නෙත්' වේ.

ලෝචන - 'ලෝචන' යනු සංස්කෘත භාෂාවෙන් ගත් තත්සම පදයකි. එය පාලි භාෂාවෙහි ද එසේ ම යෙදේ. එය සිංහලයට බිඳී ආ බවක් නොපෙනේ.

අනිමිස ලෝචනය - ඇස මෙන් ම ඇසින් කෙරෙන බැලීම ද 'ලෝචන' නම් වේ. සිදුහත් කුමරු බුද්ධත්වය ලබා ගැනීමෙන් පසුව සතියක් මුළුල්ලේ බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙළා බලා සිටීම 'අනිමිස ලෝචන' පූජාව සේ සැලකේ. 'අනිමිස' යනු නිමේෂයක් නැති යනව අරුත් දෙයි.

සර්වශ්‍ය ලෝචනං ශාස්ත්‍රම් - පේරාදෙණියේ පිහිටි

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ "සර්වශ්‍ය ලෝචනං ශාස්ත්‍රම්" යන සංස්කෘත පාඨය යි. එහි අර්ථය ශාස්ත්‍රය සියලු දෙනාගේ ම ඇස බව යි.

ආලෝචනය - 'ආලෝචනය' යනු දැකීම හෙවත් ගුණාගුණ විමසා බැලීම යි.

සමාලෝචනය - යමක ගුණ දොස් පූර්ණ වශයෙන් විමසා බැලීම 'සමාලෝචනය' යි. එය සැදෙන්නේ 'සං' යන උපසර්ගයට පසුව 'ආලෝචනය' යන පදය යොදා සන්ධි කිරීමෙනි. 'ආලෝචනය' වැනි ස්වරයකින් ආරම්භ වන ප්‍රකෘතියකට මුලින් 'සං' යන උපසර්ගය යෙදෙන විට එය 'සම්' බවට පත් වී සන්ධි වේ:

සං-ආලෝචනය සම්-ආලෝචනය සමාලෝචනය

 

මාතෘකා