අවිශ්වාසය!

 ඡායාරූපය:

අවිශ්වාසය!

විශ්වාසය ලිවීමට අවශ්‍යම දේකි. එහෙත් ප්‍රබන්ධකරණයට විශ්වාසය හොඳ දෙයක් නොවේ. විශ්වාසය ලිවීමට ඉලක්කයක් සපයන නිසාය. ඉලක්කය ප්‍රබන්ධ නොවන රචනයට ගැටලුවක් නැත - විශ්වාසයක් නොමැතිව එවැනි දෙයක් ලිවිය නොහැකිය. එහෙත් ප්‍රබන්ධකරණයට ඕනෑ ඉලක්කයෙන් ගැලවීමය. මෙසේ කීමට සිතුණේ අද ප්‍රබන්ධකරුවන්, විචාරකයන්, සෙස්සන් ප්‍රබන්ධ ගැන කථා කරන හැම මොහොතකම මහත් විශ්වාසයෙන් අදහස් පළ කරන නිසාය.

සාහිත්‍යයට අලුත් චරිත ආ යුතුය. අලුත් අත්හදාබැලීම් විය යුතුය. අලුත් කතිකා ඇති විය යුතුය. එහෙත් ඒ විය යුත්තේ ගුණාත්මකවය. සාහිත්යික වශයෙන් අවර ගණයේ වූ දේ උසස් සාහිත්‍ය කෘති යැයි ඔසොවන, මෙන්න අලුත් සාහිත්‍යකාරයෙකැයි ඒ අවර සාහිත්‍යකරුවන් වණන අයගේ විශ්වාසනීය රචනාවලින් සිදු වන්නේ හානියකි. ඒ හානිය අද පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍ය බලන විට දැකගත හැකිය. එහි අද එය වංසගතයක් බවට පත්ව තිබේ. ඒ වසංගතයට මාධ්‍ය ක්ෂේත්‍රයේද සාහිත්‍ය ක්ෂේත්‍රයේද විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේද ප්‍රවීණයන් යැයි කියන අය සම්බන්ධ වීම අභාග්‍යයකි. මෙනිසා මට හැඟෙන ලෙස අද ඕනෑ කරන්නේ අවිශ්වාසවන්ත මිනිසුන්ය. අවිශ්වාසවන්ත මිතුරන්ය. විශ්වාසවන්ත අය වසංගත බෝ කරන නිසාය.

අවිශ්වාසය ප්‍රතිභාව හා යන්නක් වේ. විශ්වාසයෙන් ‘විචාර’ වල නියුතු වන පිරිසට නැත්තේ ප්‍රතිභාවය. මාරියෝ වර්ගාස් යෝසා පවසන ලෙස ගිලෝමේ අපොලිනයර් (Guillaume Apollinaire) බුද්ධිමත්ය. පිකාසෝ බුද්ධිමත් නැත. එහෙත් අපොලිනයර්ට නැති දෙයක් පිකාසෝට තිබේ. ඒ, ඉහළ ප්‍රතිභාවය. කලාව හා සාහිත්‍යකරණය සඳහා ඇවැසි වන්නේ ප්‍රතිභාවය. විචාර සඳහාත් ප්‍රතිභාව අත්‍යන්තයෙන් ඇවැසිය. ප්‍රතිභාව වෙනුවට දැනුම (ඔළුව) පමණක් පැවතියහොත් විචාරකයාගෙන් ලියවෙන දේ නීරසය. නොගැඹුරුය. පරණය.

අවිශ්වාසය කෙනෙකු අලුත් පාරකට කැඳවන්නකි. කලින් නොසිතූ තැනකට යෑමට දිරි දෙන්නකි. එනිසා සාහිත්‍යකරණය සාර්ථක වන්නේ අවිශ්වාසයෙන් ලිවීම ගැනීමෙනි. සාහිත්‍යකරණය අවිශ්වාසයෙන් විශ්වාසය ඇති වන දේකි. අඳුරින් එළියට යන දේකි. එය අඳුරේ යන ගමනක් නිසා සාර්ථක නිර්මාණයක් බිහි වන තෙක්ම ඔහුට ඒ ගැන කලින් පැවසිය නොහැකිය. එය සැබැවින්ම ආශ්චර්යමත් දේකි. සාහිත්‍ය නිර්මාණයට මූලික අදහස් මිස දේව වාක්‍ය නැත. ඒ එය අවිශ්වාසයේ වැඩක් නිසාය.

ලිවියම් ෆෝක්නර් සම්මුඛ සාකච්ඡා සඳහා කැමති නැත. හේතුව ඔහු දැන් කියන දේ ඊළඟ මොහොතේ වෙනස් වීමය. අද මෙරට පොත් දොරට වැඩුම්, සාහිත්‍ය සම්භාෂණ බොහෝ දක්නට ලැබේ. එහෙත් පොත් දොරට වැඩුම් පවත්වන්නේ නැති කවියෙකු පසුගියදා මට හමු විය. ඒ, රත්න ශ්‍රී විජේසිංහය. ඔහු පොත් දොරට වැඩුම්වල ඕනෑ තරම් දෙසුම් ඉදිරිපත් කරයි. එහෙත් තමාට පොත් දොරට වැඩුම් ගන්නේ නැත. ඇයි? ඔහු කීවේ තමාට තමාගේ පොත් අගයා ගැනීමට වුවමනා නැති බවය. එහෙත් ඒවා නිශ්ඵල වීමට මුඛ්‍ය සාධකය එය නොවේ, පෙර කී සේ එහිදී පවසන දෑ ඒ මොහොතට පමණක් වලංගු වීමය. ෆෝක්නර් කී පරිදි එක් සම්මුඛ සාකච්ඡාවක ප්‍රශ්නයකට ඔහු දෙන පිළිතුර පසුදා සම්මුඛ සාකච්ඡාවකදී එම ප්‍රශ්නයම ඇසුවහොත් ඔහු දෙන පිළිතුරින් වෙනස් වේ. පොත් දොරට වැඩුම් ගැනත් තත්ත්වය එසේය. නිසැකවම දොරට වැඩුමකදී පොතක් ගැන ගුණ කථනයක් කරන ලේඛකයකු මඳ කලකින් ඒ පොත ගැනම දක්වන අදහස කලින් අදහසින් වෙනස් වනු ඇත. මා කියන්නේ මේ අවිශ්වාසය ලේඛකයකුට අවශ්‍ය බවය. කෙනෙකු පොතක් ගැන කලින් දරන අදහස පසු කාලයකද දැරිය යුතු නැත. එහෙත් අපේ පොත් ගැන කථා කරන්නන් දක්වන අදහස් දේවභාෂිත වැන්න.

සාමාන්‍යයෙන් නම් කෙනෙකු දැනුමට බිය විය යුතු වේ. තමන් නොකියවූ ලේඛකයකු ගැන කථා කිරීමට බිය විය යුතු වේ. එහෙත් වර්තමානයේ බිහි වී ඇති පිරිසට, වෙසෙසින් ෆේස්බුක් මාධ්‍යයෙන් ලේඛනකරණයට අවතීර්ණ වූ වඳපීදුණු පිරිසට පොතක් ගැන කථා කිරීමට කිසිදු බියක්, චකිතයක් නැත. පරණ තැටියක් සොයාගෙන මාර්ටින් වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර වැන්නන් සාහිත්‍ය දෙසුමකදී කථා කරන සැටි බලන්න. ඒ, කථා කරන්නේ ඉතා අවිශ්වාසයෙන් බව පැහැදිලි වනු ඇත. එහෙත් ඔවුන් තරම් කිසිදු කියවීමක් නැති, දැනමුත් නැති පිරිස් ඉතා විශ්වාසයෙන් අදහස් පළ කරති.

මා කියන්නේ සාහිත්‍ය සම්භාෂණයක් යනු සංස්කරණය වන දෙයක් බවය. සම්භාෂණයක් කෙළවර විය යුත්තේ කලින් දැරූ මතය අවසන සනාථ කර ගැනීමෙන් නොවේ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සමාජය අලළා සම්භාෂණ මාලාවක් පවත්වයි. එය හොඳය. එහෙත් එය හොඳ වන්නේ තමන්ගේ පූර්ව නිගමනය පොදු සමාජය පිළිගත යුතු යැයි අවධාරණයෙන් නොවේ. ආගම සමාජයකට අවශ්‍ය නොවේ යැයි ආචාර්ය සුනිල් අදහයි. එහි ගැටලුවක් නැත. ඒ ඔහුගේ අදහසය. එහෙත් ඒ පිළිබඳ සම්භාෂණයක් සාර්ථක වන්නේ ආගම සමාජයට අවශ්‍ය නොවේ යන ආස්ථානයේ සිට කතිකාවට එළඹීමෙන් නොවේ, එය ඒ දෙපසටම සිතීමට ඉඩකඩ සැලසෙන ලෙස කතිකාවට එළඹීමෙන්ය. එහෙත් සුනිල් විජේසිරිවර්ධනගේ සම්භාෂණ මාලාව හේතුවාදීන්ගේ සම්භාෂණවලින් වෙනස් නැත. අපට දේශපාලනඥයන් කරන කථා ඇසීමට බැරිය. දේශපාලනය ගැන න්‍යායධරයන් කරන කතාද ඇසීමට බැරිය. එහෙත් ප්‍රබන්ධකරුවකු, කවියකු දේශපාලනය ගැන කරන කථා ඇසීමට බැරිකමක් නැත. කුමක් නිසාද? ඒවා හැම මොහොතේම සංස්කරණය වන නිසාය. එහි අනෙකාගේ අදහසට ඉඩක් ඇති නිසාය. ප්‍රබන්ධකරුවාගේ/ කවියාගේ කතාව සාහිත්‍ය නිර්මාණයක් බඳුය. ඔහුගෙන් කියවෙන දේ - ලියවෙන දේ - ඔහු කලින් දන්නේ නැත.

අද පුවත්පත්වල, විද්‍යුත් මාධ්‍යවල කොතෙකුත් සම්මුඛ සාකච්ඡා පළ වේ. ඒ සියල්ල සාර්ථකද? සාර්ථක සම්මුඛ සාකච්ඡාවක් යනු සාකච්ඡාවට එක් වන විද්වතා නොහොත් සම්භාෂකයා සමඟ සම්මුඛ සාකච්ඡාකරුවා (මාධ්‍යවේදියා) එක්ව ලියන දේකි. එබඳු සම්මුඛ සාකච්ඡාවක් කෙළවර වන්නේ සාකච්ඡාකරුවාත්, ඊට එක් වන සම්භාෂකයාත් කලින් නොදැන සිටි යමක් සාකච්ඡාව අවසානයේ පිටතට ඒමෙනි. ඒ අනුව එය නිර්මාණාත්මක වැඩකි. ඒ නිර්මාණයේ අයිතිය සාකච්ඡාකරුවාටත් සම්භාෂකයාටත් යන දෙදෙනාටම තිබෙන අතර එක් කෙනෙකුට පමණක් එහි අයිතිය ගෙන පොත් ලෙස එම සම්මුඛ සාකච්ඡා පළ කළ නොහැකිය.

සාහිත්‍යය ගැන කෙතරම් කතා පැවැත්වූවත් කෙතරම් විචාර පොත් පළ කළත් අද කතිකාවල, දොරට වැඩුම්වල හඬ නඟන පිරිස සාහිත්‍ය කෘති කියවනවාදැයි සැකය. උසස් සාහිත්‍ය කෘතියක වෙසෙස එය පාඨකයා තුළ විනයක් ඇති කිරීමය. ශික්ෂණයක් ඇති කිරීමය. එහෙත් මේ කථා කරන පිරිස තුළ එම පොත් කියවීමෙන් (කියවූයේ යැයි සිතුවහොත්) ඇති වී ඇත්තේ විනයක් වෙනුවට ප්‍රචණ්ඩත්වයකි. ඔවුන්ගේ කතාවලට, විචාරවලට ප්‍රතිචාර පාන්නන්ට ඔවුන් ප්‍රතිචාර පාන්නේ ප්‍රචණ්ඩත්වයෙන් වීමෙන් ඒ බව අවබෝධ කට හැකිය.

පසුගියදා බෞද්ධාගමට අපහාස වන ලියවිල්ලක් ලියූ ලේඛකයකු අධිකරණයෙන් වරදකරු කරනු ලැබ සිරගත කෙරිණි. ඔහු මාස හතරක් පමණ කාලයක් සිර දඬුවමට යටත් කෙරිණි. ලේඛකයකුට ලිවීමට ඇති නිදහස ආගමකට හෝ කිසිවකුට අපහාස කිරීමට පාවිච්චි කළ නොහැකිය. එනිසා ඔහු අනිවාර්යෙන් තමා කළ දේට ලැබෙන ප්‍රතිචාරවලට මුහුණ දිය යුතුය. ප්‍රතිචාර ලැබෙන විට “මෙන්න කෙටිකතාවක් ලියූවාට හිරේ දමනවෝ! ”, “මෙන්න සිංහල බෞද්ධ ජාතිවාදියෝ!” යැයි හඬ ගෑ නොහැකිය - සිවිල් ජනයාගේ ආරක්ෂාව පිණිස වන පනතක් සිවිල් පුරවැසියකු සිරගත කිරීමට පාවිච්චි කිරීම වෙනුවෙන් විරෝධය පෑ යුතුය. එහෙත් එයත් මේ කියන ලේඛකයාගේ ලියවිල්ලත් දෙකකි. එසේ වුව මේ සිද්ධිය කර තබාගත් පිරිස ඊට ප්‍රතිචාර පෑවේ කෙසේද? ප්‍රචණ්ඩකාරී ලෙසය. ඔවුන්ගේ කතිකාවල, විරෝධතාවල අන් මතයකට ඉඩක් නොමැති විය. මා නම් දුටුවේ මෙරට සිටින තාක් එන්ජීඕකාරයන්, නිරාගමිකයන්, හීන රසිකයන්, දෙමළ ජාතිවාදීන් මේ වටා රොක් වූ බවය. අදාළ ලේඛකයා දැන් සිර දඬුවමින් නිදහස් වී (ඇප ලබා) ඇත. එහෙත් ඔහු සාහිත්‍යකරුවකු ගමනක් යෑමට අදහස් කරන්නේ නම් මා සිතන්නේ ඔහු නොපමාව මේ පිරිසෙන් බැහැර විය යුතු බවය. ඔවුන් සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටින අය නොවන නිසාය.

මෙසේ බැලූ විට අද දවසේ අපට වුවමනා වන්නේ විශ්වාසවන්තයන් නොව අවිශ්වාසී අය බව යළි යළි පැහැදිලි වනු ඇත. අවිශ්වාසය පොදු ජීවිතයට හානිකර වුවත් සාහිත්යික ජීවිතයට නම් අවශ්‍යමය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා