කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍ර අක්‍රීය බව කීම අසත්‍යයක්

 ඡායාරූපය:

කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍ර අක්‍රීය බව කීම අසත්‍යයක්

කටුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති ස්කෑන් යන්ත්‍ර හතරෙන් දෙකක් අක්‍රීය වී ඇති බවට වන වාර්තා හා ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැතැයි රජය පවසයි.

එම ස්කෑන් යන්ත්‍ර හතරෙන් තුනම නිසි ක්‍රියාකාරීත්වයෙන් පවතින බවත් හදිසි අවස්ථාවලදී භාවිත කිරීම සඳහා එක් ස්කෑන් යන්ත්‍රයක් වෙන් කර ඇති බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ 'ඇසිදිසි මැදුර' ශ්‍රවණාගාරයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

එම ස්කෑන් යන්ත්‍ර පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් සිටින බව කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන් දන්වා ඇති අතර චීනයෙන් කොරෝනා වෛරසය වාර්තා වූ වහාම එහි සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දීම සම්බන්ධයෙන් එතුමන්ට දෙස් විදෙස් ප්‍රශංසා හිමි වී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

කොරෝනා පැතිර යෑම වළක්වා ගැනීමට ජනතාවට මුඛ ආවරණ පැළඳීමට උපදෙස් ලබා දීමත් සමඟ එහි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ යම්කිසි රෝගී තත්ත්වයක් ඇති වූ විට එය විකුණන් කෑමට ඇතැම් පිරිස් උත්සාහ ගැනීම කනගාටුදායක තත්ත්වයක් බවයි. ධනවතුන් හා ව්‍යාපාරිකයන් මේ මොහොතේ කළ යුත්තේ එම මුඛ ආවරණ නොමිලේ බෙදා දීම යැයිද හෙතෙම පැවසීය.

කටුනායක ගුවන්තොටුපොළේ සවි කර ඇති ස්කෑන් යන්ත්‍රය ඉහළ මට්ටමේ පවතින බව තහවුරු වී තිබීම හේතුවෙන් කොරෝනා වෛරසය පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස රාජ්‍ය ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

[නුවන් කොඩිකාර]

News Order: 
7
මාතෘකා