කැනඩාව-ශ්‍රී ලංකාව අතර සංහිඳියාව ගැන සාකච්ඡා

 ඡායාරූපය:

කැනඩාව-ශ්‍රී ලංකාව අතර සංහිඳියාව ගැන සාකච්ඡා

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර සංහිඳියාව පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින දකුණු ආසියාවේ ගෝලීය කටයුතු පිළිබඳ කැනඩාවේ තානාපති ඩේවිඩ් හාර්ට්මන් මහතා සහ විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අතර ඊයේ (28) පැවැති සාකච්ඡාවකදී මේ කරුණ අවධානයට ගෙන ඇත.

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාව ඉදිරියට ගෙන යාමට කැනේඩියානු රජය දැඩි කැමැත්තෙන් පසු වන බව එහිදී අවධාරණය කෙරුණ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීම සඳහා කටයුතු කිරීමට එහිදී දෙපාර්ශ්වය එකඟ වී ඇති අතර එමඟින් ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය පිළිබඳව ව්‍යුහාත්මක සංවාදයක් සඳහා යාන්ත්‍රණයක් සැපයෙනු ඇත. තවද නිතිපතා උපදේශනය සඳහා පහසුකම්ද සැලසෙනු ඇත.

දීර්ඝකාලීන කැනේඩියානු සංවර්ධන ආධාර මෙන්ම ජාතික භාෂා වැඩසටහන්, කෘෂිකාර්මික සහාය හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආදිය සඳහා කැනඩාව දක්වන සහයෝගය මෙහිදී ඇගයීමට ලක් වී තිබෙන අතර වෙළඳ හා ආයෝජන සම්බන්ධයෙන් කැනඩාව සමඟ ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවද විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා අවධාරණය කර ඇත.

[චානක ඉනෝජ්]

News Order: 
5
මාතෘකා