වූහාන් සිට එන සිසුන් දියතලාව යුද හමුදා කඳවුරට

 ඡායාරූපය:

වූහාන් සිට එන සිසුන් දියතලාව යුද හමුදා කඳවුරට

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම අරමුණු කරගෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විශේෂ උපදෙස් මාලාවක් සහිත තාක්ෂණික චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් වෛරසය පැතිර යාම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පිටු 04කින් සමන්විත තවත් උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවත් නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවට ඊයේ (28) සහභාගි වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

දැනට ගුවන්තොටුපළට අනුයුක්ත කර ඇති විශේෂ වෛද්‍ය කණ්ඩායමටත්, සෞඛ්‍ය නිලධාරීන්ට මෙන්ම සියලු රෝහල් කාර්ය මණ්ඩලයටත් මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත්වැසුම් සහ හිස් ආවරණ ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

කොරෝනා වෛරස් උණ රෝගය තදින්ම ව්‍යාප්ත වී ඇති චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට පැමිණෙන සියලු ශ්‍රී ලාංකික සිසුන් දියතලාව යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ විශේෂ රැඳවුම් මධ්‍යස්ථානයක සති 02ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා රඳවා තැබීමට රජය කටයුතු යොදා ඇති බවත් චීනයේ සිට පැමිණෙන සෙසු ශ්‍රී ලාංකිකයින් සහ චීන ජාතිකයින් පිළිබඳව තොරතුරු ගුවන්තොටුපොළේදී ලබා ගැනීමෙන් පසුව ඔවුන් වාසය කරන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන බවත් එම මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට ශ්‍රී ලංකාවට පැමිණෙන චීන ජාතිකයන්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ඒ පිළිබඳව තමන් ආගමන විගමන පාලකට දැනුම් දුන් බවද ඇමතිනිය සඳහන් කළාය.

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩලවලට පෞද්ගලික ආරක්‍ෂිත උපකරණ ලබා දී ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කොට ඇති අතර ආසාදිතයන් හඳුනාගැනීමට හා එම රෝගය පැතිරී යාම වැළැක්වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැය 24 පුරා විමර්ශන කටයුතුද සිදු කෙරේ.

[ශ්‍යාමලී නිශාන්ති]

News Order: 
1
මාතෘකා